සියල්ලන් අතර ගෞරවනීයව හිඳින්නට නම් – Sri News

0
3


අවිදු අඳුර දුරලනු වස් දහම් පහන් දල්වා ලූ භාග්යවත් බුදුරජාණන් වහන්සේ තරම් දෙවි මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගත් අන් කිසිවෙක් ලොව තුල ඔබ මා දන්නා අයෙක් නැත.

දයා බවින් , මෙත් කරුණාවෙන් අග තැන් වූ හදවතක් ඇතිව සියල් සතුනට යහපත සැලසූ ඒ ධර්ම රාජයාණෝ මානව වංශයේ යහපැවැත්ම හා විමුක්තිය උදෙසා මුඵ ජීවිතය ම කැප කළහ. අපමණ සත්වගකට නිවන් අමාවේ රස පොවා කිසිදා නොමැකෙන කිත් පැසසුම් ගුණ ඝෝෂා ඇති ව සංසාර ගිරි දුර්ගය තරණය කළ මහා වීරයාණෝ වූ හ.

පුහුදුන් මිනිසා ප්රභූත්වය, ප්රධානත්වය, ගෞරවය, ලාභ සත්කාර හා කීර්තිය ලැබීමට ඉඳුරා ම කැමැති ය. එහෙත් ඒවා ලැබෙන ප්රතිපදාව ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වයි.

 

අසත්පුරුෂ ධර්මයන්ගෙන් යුක්තව කල් ගෙවමින් අන්යයන්ගේ ගරු සැලකුම් අපේක්ෂා කොට නොලැබෙන කල්හි තමා ඇසුරු කරන සමස්ත සමාජයට ම ගර්හා නංවයි. එමඟින් ඔහු තව තවත් අපකීර්තියට පත් වී කිසිදු ආනුභාවයක් නැති අසරණයෙක් බවට පත් වේ.

මිනිස් සමාජයෙන් පමණක් නොව දෙවි බඹුන්ගෙන් පවා අපරිමිත පැසසුම් ලද අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ප්රියවීමට, ගෞරවයන් ලැබීමට හා සමගියෙන් සතුටින් කල් ගෙවීමට හේතුවන මනෝභාවයන් හෙවත් යහපත් චිත්තන මාර්ගයක් පෙන්වා වදාළහ. ඒ අනුව සිතන, ක්රියා කරන පුද්ගලයා මිනිසුන් ගේ පමණක් නොව දෙව් ලොව දෙවියන්ගේ ද නමස්කාරයට පාත්රවන ආකාරය නිදර්ශනයෙන් ම තහවුරු කළහ.

අංගුත්තර නිකායේ අධිකරණික සූත්රයට අනුව යම් පුද්ගලයෙක් භාවනීයයෙක් වීමට බලාපොරොත්තු වේ නම් තමා අධිකරණකාරකයෙකු නොවිය යුතු ය.

 

ගිහියෙක් හෝ පැවිද්දෙක් තමා ජීවත් වන සමාජයේ සහචරයන් අතර ආරවුල්, මත ගැටුම්, දෘෂ්ටිවාද, අරගල හා කෝලාහල ඇතිවන ආකාරයෙන් කටයුතු නොකරන තාක් අධිකරණයන් දුරදිග නොයවා ඒ ඒ තැන ම සමථයකට පත් කිරීමට කටයුතු කිරීම මඟින් ගෞරවනීය පුද්ගලයකු බවට පත් වේ.

 

මේ සඳහා පළමු ව ඉවසන්නකු හා දරාගන්නකු විය යුතු ය. එකට එක නොකර අවමන්, ගැරහුම්, හානි පැමිණවීම් ආදියෙන් කම්පිත නොවී වෛර නොබැඳ සිටින පුද්ගලයා දෙවි මිනිසුන් අතර කීර්තිධරයෙක් වේ.

යුක්තියේ නාමයෙන් වූව ද සමාජය කෝප ගන්වන ප්රකාශයන් හා ක්රියාවන් නොකළ යුතුය. ඤාණගෝචර හා දූරදර්ශී විසඳුම් හඳුනා ගැනීම ගෞරවනීය පුද්ගලයන් ගේ භාවප්රකුර්තිය යි.

තමා ශික්ෂාකාමියකු වීම හා ශික්ෂා සමාදානයෙහි වටිනාකම පෙන්වා දී ඇසුරු කරන්නන් සීලවන්තයින් බවට පත්කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කිරීම ප්රියභාවයට, ගෞරවයට හා සමගියට හේතු වන තවත් කාරණය යි.

සිල්වතාට දෙවි මිනිසුන් පමණක් නොව යක්ෂ ප්රේතයින් ද හිස නමන ආකාරය ධර්මයේ සඳහන් ය. එබැවින් ඔබ පළමු ව සිල්වතකු වී, දෙවනුව ඔබේ පවුලේ කිහිප දෙනාවත් සිල්වතුන් කිරීම සඳහා හැකි සෑම උත්සාහයක් ම ගත යුතු ය.

සිල්වතා හැඟීම් පාලනයක් සහිත හැසිරීමක් ඇත්තෙක් බැවින් ඔහු කෙරෙන් කිසිවකුටත් අනතුරක් නොවන අතර, අගතිගාමීත්වයෙන් තොරව කටයුතු කරයි.

 

ගරු බුහුමන් ලැබීමට හේතුවන තවත් කාරණයක් නම්, අල්පේච්ඡ භාවය යි. එනම් ලද දෙයින් සතුටු වීම යි. ගිහි පැවිදි කාටත් එක සේ වැදගත් වන මෙම කාරණය සිත් හි පිහිටුවා ගැනීම මඟින් පරිභෝගකාමීත්වය විෂයයෙහි කෑදරකම දුරු වේ. කොතෙක් ලැබුණත් තුටු නොවන මිනිසා කිසිවකින් සතුටු නොවන අතර, කෘතවේදිත්වය නැමති උදාර ගුණය ඔහු කෙරෙන් ගිලිහී යයි. තමාට කරන ලද ස්වල්ප වූ ත් උපකාරය සිහි කරන්නා අල්පේච්ඡතාවයෙන් යුක්ත වන්නෙකි. මහිච්ඡතාවයට ගිය ගිහියා ද ,පැවිද්දා ද ජන සමාජයේ තදින් ම පිළිකුලට භාජනය වේ.

 

ගිහි අපටවත් නොමැති තෘෂ්ණාවක් මේ හාමුදුරුවන්ට ඇතැයි ඇතැම් පැවිද්දන්ට අවමන් ලැබීමට සිදු වන්නේ අල්පේච්ඡ නොවීම හේතුවෙනි. අල්පේච්ඡ භාවයෙන් යුතු පැවිද්දා සැමකල් හි ජනාදරයට පත්වන සැටි කස්සප සංයුක්තයෙන් පිළිබිඹු වේ.

ගින්නත්, සාගරයත්, මහිච්ඡ පුද්ගලයාත් කොතෙක් ප්රත්ය ලද මුත් පුරවාලිය නොහැකි බව බණ පොතේ සඳහන් වේ.

අවම අවශ්යතා ප්රමාණයකින් සෑහී දිවි ගෙවන තැනැත්තා සැමකල් හි පැසසුමට ලක්වන අතර, ඔහු සමඟ ජීවිත කාලය ම වූව ද සමඟියෙන් වාසය කළ හැකි ය. තමා අල්පේච්ඡ වී, අන්යයන් ද අල්පේච්ඡයන් කිරීම පිණිස කටයුතු කිරීම මගින් ජන සමාජය තුළ සාමය හා සමගිය ආරක්ෂා වනු ඇත.

 

ක්රෝධ නොකිරීම ගරු බුහුමන් ලැබීමට හේතුවන ඊලඟ කරුණ ලෙස දක්වමු. බුරා නැගෙන ගින්නක් බඳු ක්රෝධය නිසා පළමු ව තම හදවත ඇවිල යන අතර ,දෙවනු ව අන්යයන් ගේ සිත් අවුලුවා, දා ගිය වනයක් සේ බොහෝ දෙනා ගේ ජීවිත පුලුස්සා නිශ්රීක කරයි.

ද්වේශ සහගත වචන හා ක්රියාවන් බහුල පුද්ගලයා ආනන්තරිය මට්ටමේ පාපයකට වූව ද මොහොතකින් නැඹුරු වේ. යක්ෂාවේශයෙන් මෙන් හැසිරෙමින් ජනයා අතර බලවත් අපකීර්තියට පත්වන්නේ සද්ධර්මය නොදත්, සිතිවිලි මාත්රයක මෛත්රියක් නොමැති අසත්පුරුෂයෝ ය.

 

මෛත්රිය නැමති සිසිල් දියෙන් දන මන නිවූ මහා ගෞතම දම්රාජයාණන් ගේ ශ්රාවකයෝ සත්ය වශයෙන්ම මෙත් සිත් ඇතියයන් විය යුතු ය.

මෛත්රී සහගත කාය-වාග්-මනෝ කර්මයන් ඇති හැකි සෑම තැනක ම පැමිණවීම මඟින් දෙවියන්ට පවා ප්රියමනාප පුද්ගලයකු වේ.

අන්යයන් ගේ ගුණ නොමකනා ස්වභාවය හා යථාභූත ගුණයන් නොමසුරු ව ප්රකාශ කිරිම ගරු බුහුමන් ලැබීමට හා සමගියට හේතුවන තවත් කාරනයක්.

 

ගුණමකු පුද්ගලයා කිසිකෙනකු ගේ යහපත් ක්රියාවක් අනුමෝදන් නොවේ. සෑම විට ම අනුන් ගේ නුගුණ හා අඩුපාඩු සොයමින් තම සිත දූෂ්ය කර ගනී. එම ස්වභාවය උත්සන්න වූ විට මානසික රෝගී තත්වයක් නිර්මාණය වී විරාගී ආර්යයන්ට පවා උපවාද කිරීමට තරම් සැහැසි වේ.

අව්යාජ ඇවතුම් පැවතුම් ඇති ව ජීවිතය සකසා ගැනීම ගිහි පැවිදි කාටත් සතුටට හා සමගියට හේතු වේ. ගිහි ගෙවල ඇති වන බොහෝමයක් ප්රශ්නවලට ප්රධාන හේතුවක් වන්නේ ද සත්භාවය යි. සුදුසු තැන විවෘත වීම හා සත්ය ප්රකාශ කිරීම මඟින් පුද්ගලයා භාවනීයයෙක් වේ.

 

මධුර මනෝහර සදහම් පිළිසඳර ඇති බව සමගියට හා සාමයටත්, ගෞරවයට හා පැසසුමටත් ඍජුව ම හේතු වන තවත් කාරණයක් ලෙස භාග්යවතුන් වහන්සේ විසින් වදාරා ඇත.

සිල්වත්, ප්රියශීලි, දහම් කතා ඇති ව අව්යාජ සිනාවකින් මුව සරසා ගත් පැවිද්දා ද , අවංක, නිහතමානී හා සීලාචාර සම්පන්න ගිහියා ද යන දෙදෙනා හේතුවෙන් ගෞතම බුදුසසුන තවත් බොහෝ කලකට ආයු ශ්රී ලබනු ඇත. ඔබත් එම මහාර්ඝ සත් ක්රියාවේ සාමාජිකයෙක් වීමට බලාපොරොත්තු වේ නම් ඉහත කී සත්පුරුෂ ධර්මයන් ජිවිතයට ගළපා ගන්න.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here