සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා පේන කීමේ දී මිනිසුන්ට සහාය වන දහනක බණ්ඩාර දෙවියන්ගේ ඇත් පරපුරේ ද? | Sri News

0
12


ලෝක සම්මතය අනුව මිනිස්-අලි ගැටුම(Human-elephant conflict) ලෙස හඳුන්වන දුක්බර සංසිද්ධිය අපි කට පුරා සේම රට පුරා ද අලි මිනිස් ගැටුම ලෙස නම් කරමු.ඒ මෙම ගැටුමේ මූලාරම්හය වන අලින් නොව මිනිස් අපම බව ඉතා හොඳින් දන්නා පසුබිමක් යටතේ ය. වන අලින් ගේ ස්වභාවික වාස භූමි අවිචාරවත් ලෙස ඔවුන් ගෙන් පැහැර ගෙන අනේක විධ මානව අවශ්‍යතා උදෙසා යෙදවීම නිසා සළු පිළි අහිමි මිනිසුන් මෙන් වන අලි ද තමන්ගේ පාරම්පරික වාසභූමි අහිමිව වෙන කර කියා ගත හැකි කිසිවක් නොමැතිව ගම් වදිති.එහි අවසන් ප්‍රතිඵලය වනුයේ මෙම මිනිස් අලි ගැටුම මුල් කොට එක් මිනිස් ජීවිතයකට අලින් ගේ ජීවිත තුන බැගින් සදහටම අහිමි වීම ය.මෙම ඛේදනීය පසුබිම යටතේ වන අලින් බහුල ගල්ගමු ප්‍රදේශයේ දිවි ගෙවනු ලදුව වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම මත 2010 දී ඛේදනීය අකල් මරණයකට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ 2018 වසරේ ඇත් දළ සොරුන් විසින් කෲර ලෙස ඝාතනය කළ දළ පූට්ටුවා යන සද්දන්තයන්ගේ සජීවී ප්‍රමාණයේ පිළි රූ දෙකක් මේ වන විට පාදෙණිය හරහා වැටීගත් කොළඹ-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ (ඇල්ල පාර) ගල්ගමුව නගරයට මඳක් ඔබ්බෙන් පිහිටි සෙනරත්ගම පූලංචිය වැව ඉස්මත්තේ ඉදිකොට ඇත.

සත්ව ලෝලීන්ගේ සහ පරිසර හිතකාමීන්ගේ දැඩි සංවේගයටත් හේතු වූ මෙම අකල් මරණ දෙකෙන් පසු එතෙක් මෙම සතුන් සම්බන්ධයෙන් ගම්වාසීන් තුළ පැවැති ආදරය කරුණාව පසුව ගෞරවයකට හැරී තිබේ. ඒ ගෞරවය කෙතෙක් ද යත් එම ඛේදනීය මරණවලින් පසු ගල්ගමුව ප්‍රදේශය තුළ හටගත් විවිධ දේශගුණික විෂමතා ආදිය මුල් කොට මෙම සතුන් දෙදෙනා දේවත්වයට පත්ව තිබේද? යන කුකුස පවා ගම්වාසීන් තුළ ඇති වී තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. ඉකුත් සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ගල්ගමුව හා ඒ අවට පාරම්පරික ගැමියන් එම ඇතුන් දෙදෙනාගේ ස්මාරකය අබියසට ‘නෑගම්’ පැමිණි බව ද දැනගන්නට තිබේ. එකෙනෙහිම මගේ මතකයට පිවිසියේ දළ පූට්ටුවා ඇතාගේ මළ කඳ හමු වූ කහල්ල පල්ලෙකැලේ ප්‍රදේශය හා සම්බන්ධ දහනක බණ්ඩාර දේව විශ්වාසයයි. මෙහි වඩාත් අපූර්වත්වය වනුයේ දහනක බණ්ඩාර දෙවියන් ද අලි ඇතුන් හා ඍජුවම සම්බන්ධ දෙවි කෙනෙකු වීම ය. දහනක බණ්ඩාර දෙවියන්ගේ උප්පත්ති කතාවට අනුව එතුමා අතීතයේ කහල්ල වලව්වේ ප්‍රභූ පෙළපතට අයත් තරුණයෙකි. ඔවුන්ගේ පෙළපත් නාමය දහනායක බවත් අතීතයේ මහනුවර ප්‍රදේශයේ සිට කහල්ල ප්‍රදේශයට සංක්‍රමණය වී එහි ජන ප්‍රධානීන් ලෙස කටයුතු කළ බවත් කියනු ලැබේ. මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ආශ්‍රිතව කහල්ල සහ පල්ලෙකැලේ යනුවෙන් ගම්වර දෙකක් තිබීම ගැන ද අප මෙහි දී සැලකිලිමත් විය යුතු ය.නමුදු දහනක මුදියන්සේලාගේ සහ දහනක රාළලාගේ ආදී පෙළපත් නම් අදටත් භාවිතයේ තිබීම මත මෙම දහනක නාමය මුල් කොට වැඩිදුර විමර්ශන සිදු කළ යුතුව තිබේ.එමෙන්ම මෙම ප්‍රදේශයේ සුලබ පෙළපත් නාමයක් වන දසනායක මුදියන්සේලාගේ යන්න සමඟ ද මෙම දහනක බණ්ඩාර දෙවියන්ගේ ප්‍රවෘත්තිය කිසියම් ලෙසකින් සම්බන්ධ දැයි විමසා බලනු වටී.

ඒ කෙසේ හෝ කහල්ල වලව්වේ මෙම තරුණයා තම පරපුරේ ධන බලය, නිල බලය, පිරිස් බලය සේම තමන්ගේ සුවිශේෂ කාය බලය ද යොදා ගනිමින් ගම්වැසියන් තළන්නට පෙළන්නට පටන් ගත් බව පැවසෙයි. අවසානයේ මෙම දහනක තරුණයාගෙන් ගම්වැසියන්ට වන පීඩාව දරාගත නොහැකි ගම්වැසි තරුණ පිරිසක් මෙම තරුණයා කැබැල්ලෑ දඩයමට කැඳවාගෙන යන මුවාවෙන් මහ වනයට කැඳවා ගෙන ගොස් ඔහු කැබැල්ලෑ ලෙනකට රිංගූ සැණින් එම ගල් ලෙනේ කට වැසෙන සේ ගිනි දල්වා ඒ ගිනි නිවෙන්නට පෙර තරමක ගල් පර්වතවලින් ඒ කට වසා පුර දින හතක් ඒ ලෙන් දොර අබියස ගිනිමැල දැල්වූ බවට ජන කතා තිබේ.

කෙසේ හෝ පසුව නිරාහාරව හිඳීම නිසා මෙම ගල් ලෙනෙන් පිටවීමට තරම් කාය ශක්තියක් නොවූ මෙම දහනායක තරුණයා එතුළ දී මියගොස් යක්ෂාත්ම භාවයක් ලැබ ඒ ගල්ලෙනින් පිටතට විත් හාත්පස ගම්මාන හතක් වැනසූ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ. මින් බියට පත් ඒ ගම්වැසියන් තම උපන් ගම්වලින් පිටමන්ව කතරගම දෙවියන්ට මෙම දුක් ගැනවිල්ල සැල කොට සිටි බවත් කියනු ලැබේ. පසුව ඒ ගම්වැසියන් කෙරෙහි අනුකම්පා කළ කතරගම දෙවියන් මෙම බලගතු යක්ෂයා අල්ලා දමනය කොට යළි පෙර වැරදි නොකරන ලෙසට පොරොන්දු කරවාගෙන තම දේව මණ්ඩලයට පිවිසුවා ගත් බවත් කියනු ලැබේ. පසුව කහල්ල, පරවාගම, පල්ලේකැලේ යන ප්‍රදේශවල වනගහණයටත් එහි වෙසෙන අලි ඇතුන්ටත් ආරක්ෂාව දීම කතරගම දෙවියන් වෙතින් භාර ගත් එම අලුත් දෙවියන් ‘දහනක බණ්ඩාර’ ලෙසින් ජන සම්මත වූ බවට ජනප්‍රවාදයක් ඇත.මේ වන විට උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයත් අතර පවතින කහල්ල පලෙකැලේ වන රක්ෂිතය අතීත මානව ජනාවාසයක් ව පැවති බවට ද තොරතුරු තිබේ.එම ප්‍රදේශය ජන ශූන්‍ය වී ඇත්තේ දහනක බණ්ඩාර දෙවියන් යක්ෂාත්ම භාවය තුළ සිදු කළ දරුණු ක්‍රියාවන් නිසා බව ජන විශ්වාසයයි.
පසුව කතරගම දෙවියන්ගේ අණසකට යටත් සියලු දේවාලවල දිය කැපීමේ මංගල්‍යයන් සඳහා පෙරහර සඳහා අලි ඇතුන් සැපයීම භාරගත් දහනක බණ්ඩාර දෙවියන්ට ඒ වන විට කහල්ල, පොරවගම, පල්ලෙකැලේ වන ගහණය තුළින් එකම අලියකු හෝ ඇතකු හමු වී නැත. එහෙත්, වනයේ තවදුරටත් සැරිසරන අතරේ වනය මැද තිබූ ඇතින්නකගේ මළකුණක් දැක තම දේව බලයෙන් හෙණ්ඩුවෙන් ඇන ඇයට පණ පිහිටුවා ඇගෙන් තුන්සිය පනස් තුනකගෙන් යුත් අලි ඇතුන් රංචුවක් තනා ගත් බව කියනු ලැබේ. මෙම පුරාවෘත්තය මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙණිය යන විද්වතුන් ලියූ “සිංහල දේව පුරාණය” නම් කෘතියෙහි සඳහන් වෙයි.එමෙන්ම මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය වන හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ දැක්වෙන අන්දමට දහනක බණ්ඩාර දෙවියන්ගේ ආයුධ රන් හෙණ්ඩුවක් සහ රන් කැත්තකි.අතීතයේ එතුමන් එම ප්‍රදේශ වල ජනතාව සමඟ කෙතරම් සමීපව සිටියේ ද යන්නට හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ එන දැහැනක දෙවියන්ගේ කවි පන්තියේ එන මෙම කවිය කදිම නිදසුනකි.

උඩුවේරිය රට අල්ලා කහල්ල පියසට වඩින්ඩ

මියෙච්චි මළ කඳ ඇතින්න හෙණ්ඩුව දී නැඟිටුවන්ඩ

රජ මුදලිත් අය සිට ගෙන නමස්කාර කර සිටින්ඩ

දහනක දෙව් උතුමාණෙනි සැනෙකින් පේනෙට වඩින්ඩ

ඉහත සඳහන් අවිය ඇතුළු එම කවි පන්තියේ එන තවත් කවි වලින් දහනක බණ්ඩාර දෙවියන් පේන කීම සඳහා වැඩම කරවා ගත් බව පැවසෙයි.එම පැදි පෙළ මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන් විසින් නෙවිල් කාව්‍ය සමුච්චය උපුටා දක්වමින් සම්පාදිත “සිරිලක දෙවිවරු” කෘතියේ තිබේ.

ඉහත සඳහන් පුරාවෘත්තය මුල් කොට සුනිල් කහගල්ල සූරීන් විසින් 1990 දෙසැම්බර් 20 වැනි දා ‘දිවයින’ පුවත්පතට ‘දහනක බණ්ඩාර දෙවියෝ’ නමින් සම්පාදනය කරන ලද ලිපියෙහි සඳහන් මතු දැක්වෙන යාදිනි කවි මගින් ඒ සම්බන්ධව ඔබට තවදුරටත් පැහැදිලි වනු ඇත.

කහලු කන්දවද ? ඔබ වැඩ ඉන්නේ?

දාමළුවටමයි බැල්ම හෙළන්නේ

එතැන සිටින මළ ඇතිනි දකින්නේ

හෙණ්ඩුව දී ඇත් කඳ නැගිටින්නේ

 

කසලු යැයි යන නමක් සැදෙන්නේ

එතැන් පටන් ඇත් රළ බෝ වන්නේ

ඇත් වාහනයට බැල්ම හෙළන්නේ

ඇතා පිටින් දෙවි වැඩම කරන්නේ

 

ඇත් රළ බෝ වෙනා

තුන්සිය පනස් තුන් දෙනා

පෙරහර ද කරමිනා

මෙසේ දහනක සුරිඳු වඩිනා

ඉහත සඳහන් ජන හා ලේඛනගත මූලාශ්‍ර අනුව වර්තමාන කහල්ල පල්ලෙකැලේ රක්ෂිත වනය ආශ්‍රිතව සැරිසරන වන ඇතුන් දහනක බණ්ඩාර දෙවියන්ගේ දේවානුභාවයෙන් මවන ලද්දවුන් බවට ඇති විශ්වාසය මානව විද්‍යාත්මක වශයෙන් නොවැදගත් යැයි බැහැර කිරීමට අපට නොපුළුවන.ඒ අනුව ඉහත සඳහන් ස්මාරකයේ පිළිරූ වශයෙන් ඉදිකොට ඇති සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙදෙනාම කහල්ල, පොරවගම, පල්ලෙකැලේ ඇත් පරපුරට අයත් නොවන්නේ යැයි කීමට ද අපට නොපුළුවන. ඉන් දළ පූට්ටුවා ඇත් රජු කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය තුළදීම ඇත් දළ සොරුන් විසින් ඝාතනයට ලක් වීම එම ඝාතකයන් දේව ශාපයකට ලක් වන බව අනියමින් කියා පාන්නකැයි ද සිතීමට පුළුවන. එමෙන්ම දැනට පිළිරූ දෙකක් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින ඒ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් මතු ජන සමාජය හමුවේ දේවත්වයට පත් වීමට ඇති ඉඩකඩ ද සපුරා බැහැර කිරීමට ද අපට කෙසේ වත් නොපුළුවන.

තිලක් සේනාසිංහ





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here