සැරට රස ගැළපෙන අමු මිරිස් හොද්දක් හදමු – Sri News

0
23

බත්, ඉඳි ආප්ප, පාන් කන්න අපි නිතරම හදන්නෙ පරිප්පු හොද්දක්, අල කිරි හොද්දක් එහෙමත් නැත්නම් මස් හරි මාළු හරි හොද්දක්නෙ නේද?

ඔන්න එහෙනම් කටට සැරට වගේම රසට කන්න අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න කැමති smart ඔබ වෙනුවෙන්ම බත්, පාන්, ඉඳි ආප්ප විතරක් නෙමෙයි තොසෙ, පරාටා, රොටී මේ කොයි කෑමටත් හොඳටම ගැළපෙන අමු මිරිස් හොද්දක් හදන විදිහ කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.

මුලින්ම, අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා පිරිසිදු කරගෙන දෙකට පලාගත් අමු මිරිස් කරල් 10 ක්

අටට පමණ පලාගත් තක්කලි ගෙඩි 02 ක්

දෙකට කපාගත් රතු ලූණු 100 g ක්

සිහින්ව ලියාගත් උම්බලකඩ මේස හැඳි 02 ක්

අඟලක පමණ රම්පෙ කැබැල්ලක්

කරපිංචා ඉත්තක කොළ

ලුණු කුඩු තේ හැඳි 01 ක්

බැඳපු තුනපහ කුඩු තේ හැඳි 01 ක්

කහ කුඩු තේ හැඳි ½ ක්

උළුහාල් තේ හැඳි ½ ක්

දෙකට තුනට කඩාගත් වියළි මිරිස් කරල් 02 ක් හෝ 03 ක් (අත්‍යාවශ්‍ය නැත)

පොල්කිරි (මිටිකිරි) අඬු කෝප්ප 01 ක්

දැන් අපි බලමු කොහොමද අමු මිරිස් මාළුව හදාගන්නෙ කියල

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් ගෙන එයට උළුහාල්, සිහින්ව ලියාගත් ලූණු, තක්කාලි, කරපිංචා සහ රම්පේ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.

දැන් එයට පොල්කිරි එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

භාජනය ලිපතබා අඩු ගින්දරේ හැඳි ගාමින් මද වේලාවක් තබා ගන්න.

දැන් එයට බැදපු තුනපහ, රස අනුව ලුණු කුඩු සහ කහ කුඩු එකතු කර නැවත හැඳි ගාමින් කලවම් කරගන්න.

එයට සිහින්ව ලියාගත් උම්බලකඩ කැබලිත් එකතු කර පොල්කිරි නටන තුරු තබාගන්න.

පොල්කිරි නටන්න ගත්තාට පසු දෙකට පලාගත් අමු මිරිස් එකතු කර අමු මිරිස් මැළවෙන තුරු හැඳි ගාමින් තබා ගන්න.

ඔබට කැමති නම් අමු මිරිස් තැම්බී කොළ පැහැයටම තිබෙන තුරු පමණක් තබා ලිපෙන් ඉවත් කරගන්නත් පුළුවන්.

උණුසුම්වම බත් හෝ පාන් සමඟ රසවිඳින්න පුළුවන් නම් වඩාත් රසවත් කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

හැබැයි ඔබට බඩ දැවිල්ලක්, මුත්‍රා දැවිල්ලක්, සමේ රෝග හෝ සිරුරේ උෂ්ණ ගතියක් තිබෙනවා නම් අමු මිරිස් හොඳි කන්න කලින් ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියල අපි ඔබට බොහොම ආදරෙන් මතක් කරන්න කැමතියි.

එහෙනම්, තවත් මේ වගේම රසම රස කෑමක් හදාගන්න විදිහ ඔබට කියල දෙන්න හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා.

රසට කන්න – සුවෙන් ඉන්න!

සටහන – දුලානි නවෝද්‍යා

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here