සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද? – Sri News

0
11


සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන් ගත්තේම, අපේ අසල්වැසියා වන ඉන්දියාව හඳට ගොඩ බැසීමත් එක්ක. මොකද ඒකත් එක්ක ලංකාවේ ගොඩක් දෙනෙක්ට මතක් වුනා, ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් විසින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවටත් චන්ද්‍රිකාවක් කියලා, මුළු රටම අන්දපු අවස්ථාවක් ගැනත්. ඉතින් මේ කතාබහත් එක්ක අවබෝධ වෙන දෙයක් තමයි, ගොඩක් අයට මේ චන්ද්‍රිකා ගැන එහෙමට අදහසක් නැහැයි කියන එක. අන්න ඒ නිසා අපි හිතුවා, සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න.

01. කෘත්‍රිම චන්ද්‍රිකා සහ සොබාවික චන්ද්‍රිකා

Unbelievable satellite facts

චන්ද්‍රිකා කිව්වම තියෙන්නෙ මිනිස්සු අහසට අරින චන්ද්‍රිකා විතරක් නෙවෙයි කියලා දැනගෙන හිටියද? වෙන එකක් තියා, ඔය දැන් ඊයේ පෙරේදා ඉන්දියාවෙන් පය තියපු චන්ද්‍රයා කියන්නෙත් ස්වභාවික චන්ද්‍රිකාවක් කියලා දැනගෙන හිටියද? ස්වභාවික චන්ද්‍රිකාවක් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු නැති, යම් කිසි කක්ෂයක ගමන් කරන ආකාශ වස්තුවක් කියලා කියන්න පුළුවන්. දැන් අපේ සෞරග්‍රහමණ්ඩලය ගත්තත්, ඒකෙ තියෙන ගොඩක් ග්‍රහයන්ට තමන්ගේම කියලා චන්ද්‍රයන් ඉන්නවා කියලා ඕගොල්ලෝ අහල ඇතිනේ. ග්‍රහයන් වටේ කක්ෂගත වෙලා තියෙන සාම්ප්‍රදායික චන්ද්‍රයන් 290 ක් සහ කුඩා ප්‍රමාණයේ චන්ද්‍රයන් 462 ක්, ඒ කියන්නේ සමස්ත චන්ද්‍රයන් 752ක් වාර්තා වෙලා තියෙනවා. මේ කියන්නේ ඔක්කොම ස්වභාවික චන්ද්‍රිකා ගැන තමයි.

02. මිනිසා විසින් නිර්මාණය කළ කෘත්‍රිම චන්ද්‍රිකා

Unbelievable satellite factsUnbelievable satellite facts

කෘත්‍රිම චන්ද්‍රිකා කියන්නේ, මිනිසාගේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පෘථීවියෙන් ගුවන් ගත කරලා, පෘථිවියට එපිටින් කියන කක්ෂයක රඳවලා මිනිසාට සේවය ලබාගන්නා කෘත්‍රිම ආකාශ වස්තු කියලා කිව්වොත් හරි. බාහිර අභ්‍යවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOOSA) වාර්තාවන්ට අනුව, 2023 වසරේ ජූනි මාසයේ අග වන විට මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම චන්ද්‍රිකා 11,330 ක් පෘථිවියේ වටේ කක්ෂයන් තුළ ගමන් කරමින් තියනවා. ඒ වගේම මේ වාර්තාවලට අනුව 2022 වසර හැඳින්වෙනවා, වැඩිම කෘත්‍රිම වස්තු ප්‍රමාණයක් අභ්‍යවකාශයට දියත් කරපු වසර විදිහට. ඒ කියන්නේ ඊට කලින් වැඩිම වස්තු ප්‍රමාණයක් අභ්‍යවකාශයට දියත් කරපු වසර විදියට වාර්තාවක් තියලා තියෙන 2021 ට වඩා 36.68% ක වැඩිවීමක්. ඒ කියන්නේ තර්කානුකූලව හිතලා බැලුවොත්, මේ නිසා අභ්‍යවකාශයට දියත් කරන වස්තු ප්‍රමාණය වැඩිවෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ.

03. චන්ද්‍රිකා වලින් කරන්නේ මොනවාද?

Unbelievable satellite factsUnbelievable satellite facts

දැන් අපි කිව්වට කෘත්‍රිම චන්ද්‍රිකා 11,330 ක් පෘථිවියේ වටේ කක්ෂයන් තුළ ගමන් කරමින් තියනවා කියලා, ඒ හැම චන්ද්‍රිකාවක්ම මේ වෙලාවේ සක්‍රීය තත්වය පවතින්නේ නැහැ. දැන් එතකොට සක්‍රීය තත්ත්වයේ පවතින චන්ද්‍රිකා වලින් සිද්ධ වෙන්නේ මොනවාද? මුලින්ම කියනවා නම්, දැන් ඔය අපි පාරවල් හොයාගන්න එහෙම GPS ඔන් කරලා මැප් එක බලනවානේ. ඉතින් ඔන්න ඔය GPS තාක්ෂණය වැඩ කරන්නේ චන්ද්‍රිකා නිසා තමයි. ඒ විතරක් නෙවෙයි, ගුවන්විදුලි, රූපවාහිනී දත්ත සම්ප්‍රේෂණ යන්ත්‍ර වගේම, ජංගම දුරකථන ක්‍රියාත්මක වීම සඳහාත්, පොදුවේ තියෙනවනම් විදුලි සංදේශ කටයුතු සඳහා අද දවස වෙනකොට චන්ද්‍රිකා නැතුවම බැහැ. එතකොට පොළොව, සමුද්‍රය වගේම අභ්‍යවකාශයේ නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා උපයෝගී වෙනවා. එතකොට සිතියම් විද්‍යාව තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ, කාලගුණ විද්‍යා පර්යේෂණ ඇතුළු නොයෙකුත් විද්‍යාත්මක කටයුතු සඳහාත් මේ පෘථිවිය වටා කක්ෂගත කරලා තියන චන්ද්‍රිකා අවශ්‍ය වෙනවා. කාලගුණ විද්‍යා පුරෝකථනයන් සඳහාත්, පෘථිවියේ දේශගුණය සම්බන්ධ විවිධ විද්‍යාත්මක කටයුතු සඳහාත් චන්ද්‍රිකා වලින් සැලසෙන මෙහෙය කියලා නිම කරන්න බැහැ. ඒ වගේම ඔත්තු බැලීමේ කටයුතු සහ යුද කටයුතු සඳහා චන්ද්‍රිකා උපයෝගී වෙනවා.

04. අභ්‍යවකාශ කැලිකසල සහ චන්ද්‍රිකා

Unbelievable satellite factsUnbelievable satellite facts

1950 ඉඳන් මේ වෙනකල් මිනිස් වර්ගයා අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා දහස් ගණනක් උඩු ගුවනට මුදා හැරලා තියෙනවා. මේවා එහෙම උඩුගුවනට යවන්න රොකට් අවශ්‍ය වෙනවා. එකකොට ඒවලින් ආයෙමත් එකතු කරගන්න බැරි වුණු රොකට්ටු, මේ අභ්‍යවකාශ මෙහෙයුම් වල දී මුදාහැරෙන කැබලි සහ සුන්බුන්, භාවිතයේ නොපවතින අක්‍රීය චන්ද්‍රිකා වල කොටස් වගේ හැම දෙයක්ම එකතුවෙලා, අභ්‍යවකාශ කැලිකසල නැතිනම් අභ්‍යවකාශ සුන්බුන් පෘථිවියේ වටේ කක්ෂ ගත වෙලා තියෙනවා. මේ විදියට කක්ෂගත වෙලා තියෙන අභ්‍යවකාශ කැලිකසල කොටස් 27,000 කට වඩා පෘථිවිය වටේ තියනවා කියලා නාසා එක කියනවා. මේ අභ්‍යවකාශ කැලිකසල, පෘථිවියෙන් අභ්‍යවකාශයට දියත් කරන චන්ද්‍රිකා වලට වගේම ෂටල යානා වලටත් තර්ජන එල්ල කරන්න පුළුවන්.ඒ නිසාම මෙය අභ්‍යවකාශ කැලිකසල විනාශ කරන්න පුළුවන් ක්‍රම ගැනත් විද්‍යාඥයෝ අවධානය යොමු කරමින් තියෙනවා. ඒ වගේම මේ අභ්‍යවකාශ කැලිකසල වලට විසඳුමක් විදියට 2023 අවුරුද්ද වන විට දැවයෙන් නිපදවන පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පවා ජපන් සමාගමක් ආරම්භ කරලා තියෙනවා කියලා අහන්න ලැබෙනවා.

05. චන්ද්‍රිකා වල ප්‍රබල කැමරා

Unbelievable satellite factsUnbelievable satellite facts

නවීන චන්ද්‍රිකාවල තියෙන කැමරා උපකරණ අති ප්‍රබලයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොයි තරම් ප්‍රබල ද කියනවා නම් මේ පෘතිවිය වටා යන කක්ෂයක තියෙන චන්ද්‍රිකාවක තියෙන කැමරාවකින්, ඔබේ ගෙවත්තේ තියෙන ටෙනිස් බෝලයක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ හැම චන්ද්‍රිකාව ක්‍රම තියෙන හැම කැමරාවකින්ම ඒ තරම් කුඩා ප්‍රමාණයේ දේවල් දක්වා දකින්න පුළුවන් කියන එක නෙවෙයි. අපි මුලිනුත් කිව්වානේ ලෝකයේ විවිධ චන්ද්‍රිකා වර්ග නිපදවලා තියෙන්නෙ විවිධ වැඩ කටයුතු කරගන්න කියලා. එතකොට ඒ විදිහෙ සියුම් තොරතුරු පවා ග්‍රහණය කරගන්න පුළුවන් කැමරා උපාංග තියෙන්නේ, මිලිටරි චන්ද්‍රිකා වගේ ඒ අවශ්‍යතාවය තියෙන චන්ද්‍රිකා වර්ග වලට විතරයි.

06. වේගවත් චන්ද්‍රිකා

Unbelievable satellite factsUnbelievable satellite facts

දැන් රොකට් එකකින් අභ්‍යවකාශයට යවලා හරියට කක්ෂ ගත කරපු චන්ද්‍රිකාවක්, ආයෙමත් පෘථිවියට කඩා වැටෙන්නේ නැතුව කක්ෂයේ හරියට රැඳිලා ඉන්න නම් අඩු ගානේ පැයට සැතපුම් 17,450ක වේගයෙන් කක්ෂයේ ගමන් කරන්න ඕන. ඒ කියන්නේ චන්ද්‍රිකාවක් හරියට කක්ෂයක රැඳිලා සිටින්න නම්, චන්ද්‍රිකාව ගමන් කරන වේගය සහ පෘථීවියෙන් චන්ද්‍රිකාව මත වැඩ කරන ගුරුත්වාකර්ෂණ බලය කියන දෙකම වැදගත් වෙනවා. දැන් එහෙම කියනකොට තේරුම් ගන්න පුළුවන්, චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරනවා කියන එක සහ, චන්ද්‍රිකාවක් පවත්වාගෙන යනවා කියන එක කොයි තරම් බැරෑරුම්, සියුම් වැඩක්ද කියන එක. දැනට අහන්න ලැබෙන විදියට පෘථිවියට ඉහලින් කක්ෂගත වෙලා තියෙන වේගවත්ම චන්ද්‍රිකා දෙක තමයි, Helios A සහ Helios B කියන චන්ද්‍රිකා දෙක. ඇත්තටම මේ චන්ද්‍රිකා කක්ෂගත වෙලා තියෙන්නෙ සූර්යයා වටේ. පැයට සැතපුම් 157,000 ක වේගයෙන් මේ චන්ද්‍රිකා ගමන් කරනවා.

07. චන්ද්‍රිකා වලට බලය ලැබෙන්නේ කොහොමද

Unbelievable satellite factsUnbelievable satellite facts

දැන් ඔය විදුලි බල අර්බුදය එහෙම මතු උන අවස්ථාවේ ලංකාවේ ගොඩක් අය සූර්ය බලශක්තිය වෙතට හැරුණා නේ. දැන් අභ්‍යවකාශයේ කක්ෂගත වෙලා තියෙන චන්ද්‍රිකා වලට, අපි ගෙදර වහලේ හයි කරන සූර්ය පැනල් එකෙන් ගන්නවාට වඩා ලේසියෙන් සූර්ය බල ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ගොඩක් චන්ද්‍රිකා බලගැන්වෙන්නේ සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින්. හැබැයි හැම චන්ද්‍රිකාවක්ම සූර්ය බලශක්තියෙන් බලගැන්වෙන්නේ නැහැ. සමහර චන්ද්‍රිකා, බලය ගබඩා කරලා තියෙන බැටරි වලින් බල ගැන්වෙනවා. හැබැයි ඉතින් ඒ වගේ බලශක්ති විසඳුමක් තිරසාර නැහැ. තවත් බලශක්ති විසඳුමක් තමයි රේඩියෝ අයිසටෝප් බලශක්ති පද්ධති. හැබැයි ඔය මොකක් වුණත් මේ මොහොතේ චන්ද්‍රිකා බලගැන්වෙන ප්‍රධානම බලශක්ති විසඳුම තමයි සූර්ය බලශක්තිය.

08. ටොම් සහ ජෙරී

Unbelievable satellite factsUnbelievable satellite facts

නාසා ආයතනයෙන් ගුවන් ගත කරලා තියෙන චන්ද්‍රිකා දෙකක් තියෙනවා, ඒ චන්ද්‍රිකා දෙක කොච්චරවත් එකිනෙකා පසුපස දුවන ගමන් තමයි ඉන්නේ. වෙන එකක් තියා නාසා ආයතනයෙන් ඒ චන්ද්‍රිකා දෙක නම් කරලා තියෙන්නෙත් ටොම් සහ ජෙරී කියලා. ඇත්තටම නාසා ආයතනය මේ චන්ද්‍රිකා දෙක මේ විදියට සැලසුම් කරලා කක්ෂ ගත කරලා තියෙන්නේ, ගුරුත්වාකර්ෂණයේ අනියමයන් සහ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් වඩා හොදින් හොයාගන්න පුළුවන් වෙන්න.

දැන් එතකොට අහන්න හිතනවද ශ්‍රී ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ කියලා? ගොඩක් අය හිතන්නේ, ශ්‍රී ලංකාවෙන් චන්ද්‍රිකාවක් යවනවා කියලා බොරුවක් කරලා නිකන් හිටියා කියලා. නෑ එහෙම දෙයක් නෙවෙයි උනේ. චීනෙන් යවපු චන්ද්‍රිකාවකට ලංකාවේ කොඩියක් ගහල බොරුවක් කරලා රටේ මිනිස්සුන්ව අන්දපු එක තමයි පේන විදියට වෙලා තියෙන්නේ. ඒකට කීයක් වැය උනාද, ඒ සල්ලි කාටද ගියේ වගේ ප්‍රශ්න නම් අපෙන් අහන්න එපා.





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here