සාමය සඳහා මානවවාදය – බෞද්ධ දර්ශනයේ පර්යාලෝකය – මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

0
7




මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

(ගෝලීය සාමය, සමගිය හා සහජීවනය සඳහා සමයාන්තර කතිකාවත 2011 මැයි 16 දින එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතා කළ, වෙසක් සමරු දේශනයේ අනුවාදය[1] – දයාසිසිර හේවාගමගේ)

ජගත් සමරුවක් වෙනුවෙන් වූ ජගත් ප්‍රජාවගේ උත්කෘෂ්ඨ එකමුතුවක දී සාමය, සමගිය පිලිබඳව මගේ හැඟීම් බෙදාහදා ගැනීමට ලැබීම මට මහත් අභිමානයක්. මැදුම් පිළිවෙතට පිළිපන්, සම්බෝධියට පත් චින්තකයකුගේ මඟපෙන්වීම සහිත සංස්කෘතියක් දායාද කොට මම උපත ලද්දෙමි. බුද්ධිමය පෞරුෂත්ව සංවර්ධනය සඳහා දයාව, සමානත්වය, නිදහස් සිතිවිලි ලද දෙයින් තෘප්තිමත් වීම වැනි ගුණාංග ඇතුලත් කර ගත යුතු බවට බුදුන් දේශනා කළේ වසර දෙදහස් හයසියයකට පමණ පෙරයි. විමුක්තිය, සන්සුන් මනස ගැන සිද්ධාර්ථ ගෞතමයන් හෙවත් බුදුන්ගේ උදාර පණිවුඩය රැගත් නව සංස්කෘතික හා බුද්ධිමය ආචාර ධර්ම උප මහාද්වීපය තුළ හා ඉන් ඔබ්බට එකල පැතිර ගියේ ය. අප මෙහි ඒකරාශී වූයේ එම ශාන්තිනායකයන් ගැන මතකය ආවර්ජනය කිරීිමට පමණක් නොවේ. අයුක්තිය, වෙනස්කම්, විරෝධය, ගැටුම වෙනුවට සාමය, සමගිය හා සහජීවනයේ ආලෝක ධාරාව ලෝකය වෙත එල්ල කිරීමට ය. ශ්‍රී ලංකාවේත් සෙසු ලෝකයේත් නූතනයේ පැනනැඟ ඇති ගැටුම් සමනය සඳහා බුදුන් අනුදත් මඟ, දාර්ශනික හා සංස්කෘතික සම්ප්‍රදායන් ඔබ අබිමුව තැබීමට මම උත්සාහ කරමි. ගැටුම් සමනය සඳහා උරුමය, සාම අධ්‍යාපනය, සංස්කෘතික අන්‍යෝන්‍යතාව වැනි සංකල්ප යොදා ගැනීම අවැසි වෙයි. සමාජයේ විවිධ මට්ටම්වල තිබූ ගැටුම් වලට බුද්ධි සම්පන්න ලෙසත්, දයානුකම්පාවෙනුත් මැදිහත් වීමට තිබූ නම්‍යශීලී හැකියාව නිසා බුදුදහම සාර්ථක විය. එය පැවැත්ම හා නැවැත්මට අදාල මූලෝපායයන් පිළිබඳව දාර්ශනික විග්‍රහයක යෙදෙන දර්ශනයක් පමණක් ම නොවේ. ප්‍රායෝගිකව, ප්‍රවිෂ්ඨ වන ඕනෑම ස්ථානයක වෙසෙන ප්‍රාණීන් සියල්ල ඊට ආකර්ශනය කරගැනීමට සමත් දහමක් ද වෙයි. එය වෙනස්කම් නොසලකන සැමට සමව සළකන කරුණා ගුණයක් ද සහිත ය.

සරල ගැමි සංස්කෘතීන් වඩාත් සංකීර්ණ නාගරික සංස්කෘතීන් බව පරිවර්තනය වෙමින් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ උතුරු ඉන්දියාවේ ඇති වූ සමාජ, ආර්ථික හා දේපාලනික වෙනස්කම්වලට ප්‍රතිචාරයක් ලෙස බුදුදහම පහල වෙයි. කොන්කිරීම, තරඟකාරිත්වය, විසංවාදය, ගැටුම මෙම වෙනස්කම් තුල මතුව පෙණින. බුදුන් වදාළ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අනුන්ගේ ධනය උදුරා ගැනීම නිසා දුප්පත්කම ඇති විය. ඒ නිසා සමාජ අසහනය ගැටුම් මෙන් ම විරෝධතාවන්, පරස්පරයන් නිසා මානසික හා කායික  සංකූලතාවන්  ඇති විය. කලින් පැවැති සමාජ ආර්ථික හා දේශපාලන සබඳතා යලි අර්ථකථනය කළ යුතු විය. පූර්ව නාගරික සරල ගැමි සමාජවල තිබුණ සමාජ වටිනාකම්, සබඳතා වෙනුවට නාගරික, සංකීර්ණ සබඳතා ආදේශ විය. එම සබඳතා අපෞද්ගලික ය. ප්‍රාදේශීය අධිකාරී බලය හා ආර්ථිකය රැක ගැනීමට තැත් කිරීමේ දී රාජ්‍යයන් මුදාහල ප්‍රචණ්ඩත්වය විනාශකාරී හා වේදනාකාරී විය. පුද්ගලවාදය ඉස්මතු වූ සමාජයක අධික සුඛවිහරණය හා අන්ත දුක්ඛිතභාවය යන අන්ත දෙක පවතියි. එම නිසා දුක, පරපීඩනය හා අනාරක්ෂිතභාවය එකල සමාජයේ යථාර්ථය විය. මෙම අන්ත දෙක අතර සිර වී තෙරපී පීඩනයට පත් ව සිටි පුද්ගලයා සහ සමාජයට සහනය ගෙන එන මධ්‍යස්ථ ජීවන පිළිවෙතක් ගෞතම බුදුන් ඉදිරිපත් කළේය. ගැටුම් සමථකරණය සඳහා වූ මුල්ම සමාජ ගිවිසුම ඉදිරිපත්ව ඇත්තේ අග්ගඤ්ඤ සූත්‍රයෙනි. ගැටුම් නිසා පීඩනය පත් වූ සමාජය තුළ ගැටුම් සමථකරණය සඳහා පුද්ගලයකු පත් කර ගැණුන අතර ඔහු ’මහා සම්මත’ නම් විය. නීතිය හා සාමය, සමාජ හිමිකම් රැකීම මහා සම්මතගේ කාර්යය යි. යහපාලනය, විනිවිදභාවය, වගවීම වැනි පාලන ධර්මයන් මහා සම්මත විසින් රැකිය යුතු බව අග්ගඤ්ඤ සූත්‍රය පෙන්වා දෙයි. මෙම යහපාලන මූලධර්මයන් මහාසුදස්සන හා චක්කවත්ති සීහනාද සූත්‍රයන් මඟින් තවදුරටත් පැහැදිලි කරයි. ජගත්පාලකයා හෙවත් චක්කවත්ති රජු විසින් අනුගමනය කළ යුතු රාජධර්ම දහයක් පෙන්වා දෙයි. රජු වගවිය යුත්තේ යටත්වැසියනට පමණක් නොවේ. තමනට නතු භෞමික පරිසරය ද රකිමින් සදාචාර සම්පන්න ගුණගරුක උසස් ජීවන තත්ත්වයකට පසුබිම සැකසිය යුතු ය. එම නිසා සමාජය හා ජීවන පරිසරය සමානාර්ථ වචන ලෙස සැළකෙයි. පරිසර සංරක්ෂණය සඳහා බෞද්ධ ව්‍යවස්ථාව ගිහිවිනයට මෙන් ම භික්ෂු විනයට ද ඇතුලත් විය.

මිනිසුන් සහ පරිසරය අතර මෙම සහජීවන සබඳතාව සහ අපගේ පැවැත්ම සඳහා එහි අන්තර් රඳා පැවැත්මේ වටිනාකම පැහැදිලිව පිළිබිඹු කරයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව කියන බෞද්ධයන්ගේ පූජනීය වෘක්ෂය හෙවත් Ficus religiosa තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය ආරක්ෂිත ජෛව ගෝලයේ සංකේතාත්මක නිරූපණයකි.

දැනුම හා ප්‍රඥාව සමඟ සත්‍යය සම්බන්ධ වන ආකාරය බුදුන් වහන්සේ සියුම් ලෙස පෙන්වා දී ඇත. පැවැත්මේ යථාර්තය සහ සියළුම භෞතික දේවල අනිත්‍ය ස්වභාවය සැබෑ දෘෂ්ටිකෝණයෙන් වටහා ගත යුතු ය. ධර්මය පැහැදිලිව ම, තමාම අවබෝධ කර ගත යුතුය. ස්වයං අවබෝධය, අකාලික බව හා විමර්ශනාත්මක චින්තනය (සංදිට්ඨික, අකාලික, ඒහිපස්සික) යන තුන්ගුණ දැනුම පිළිබඳ බෞද්ධ න්‍යායේ ආත්මයයි. කාලාමයන්ට බුදුන් පෙන්වා දුන්නේ දැනුම උඩින් පහලවන දෙයක් නොවන බවයි.  එය නිරෝධායනය වූ සිතකින් විමර්ශන ආත්මයකින් සාක්ෂාත් කරගත යුතුය. දැනුම සොයන අයට විලංගු හතරකි. පක්ෂග්‍රාහීත්වය, අගතිය, බිය සහ මුලාව ඇතිව දැනුම සොයා යන ගමන යා නොහැක. විමර්ශන හා චින්තන නිදහස නැති සමාජයක දැනුමට ඉඩක් නැත.  

බෞද්ධ භික්ෂු හා භික්ෂුණී ශාසනය මඟින් දැනුමේ සහ සාමයේ පණිවිඩය සමාජයට විශාල වශයෙන් බෙදා හරින ලදී. මිනිසුන්ට මිනිසුන්ව සම්බන්ධ කිරීමේ චේතාන්විත ව්‍යාපාරයක් බුදුසමය මඟින්  හඳුන්වාදුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමානාත්මතා පදනමකින් සාමූහිකයක් හෝ සංඝ-ගණයක් පිහිටුවා ගැණින. භික්ෂූන් හෝ භික්ෂුණීන් ලෙස එම සාමූහිකයේ සාමාජිකත්වය ගෙන ශාසනයට සම්බන්ධ වූ ගිහි සාමාජිකයින්ට ඔවුන්ගේ සමාජ අනන්‍යතාවය සහ එයට අනුබද්ධ තත්ත්වය අත්හැරීමට සිදු විය. නෙක නෙක දෙසින් ගලන අනේක ගංගාවන් ගේ ජලය සාගරයට එක්ව එකම ලුණු රසයක් ලබා ගන්නාක් මෙන් සසුනට සම්බන්ධ වූ අය සමානාත්මතා තත්ත්වයට පත් වේ. පෙර පැවති සමාජ තත්ත්වය හෝ තරාතිරම අහෝසි වෙයි. ඒ මත පදනම්ව කිසිවකුට වෙනස්කම් කළ නොහැක. බුදුන් වහන්සේ සමාජ වෙනස්කම් කිරීම පැහැදිලිව ම හෙළා දුටු අතර කොන්දේසි විරහිතව සමානාත්මතාවයේ වටිනාකම තහවුරු කළහ. ආර්ය යන පදය නැවත නිර්වචනය කරන ලදී. මානුෂීය හා සදාචාරාත්මක හැසිරීම් ඇති පුද්ගලයා ආර්ය වෙයි. උපතින් කිසිවකු උසස් හෝ පහත් නොවෙයි.

බුදුරදුන් තම ප්‍රථම ශ්‍රාවකයන්ට පැවසුවේ ගම් නියම්ගම්වල සැරිසරා බහුතර ජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන ලෙසයි. භික්ෂූන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට ස්වභාෂාවෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ සන්නිවේදනය කරන ලෙස උපදෙස් දෙන ලද අතර එමඟින් අධිපතිවාදී පූජනීය භාෂාව ප්‍රතික්ෂේප විය. වාචික සම්ප්‍රදායේ පැවැති ප්‍රාදේශීය ජනප්‍රවාද උකහා ගෙන ජාතක ආඛ්‍යාන ආකාරයෙන් නැවත ප්‍රකාශ කරන ලදී. මෙම සරල කථා මඟින් ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත දැහැමි, අධ්‍යාත්මික, යුතුකම් සහ බැඳීම් සහිත ජීවිතයක වටිනාකම් සහ කුසලතා ගෙන ගියේය. මිනිසුන් අතර සම්බන්ධතාව වැඩිදියුණු කළ සන්නිවේදන මාර්ගයක් ලෙස ද මෙම ආඛ්‍යාන කලාව වැදගත් විය. පංච ශීලය හෙවත් මූලික ගිහි ආචාර ධර්ම මඟින් පුද්ගලයා සමාජයට වගකියන අයකු ලෙස ගොඩනඟන නිසා එමඟින් සමාජයේ ආතතිය සහ ගැටුම් අවම කරයි. ජනතාව වෙත ළඟාවීමට දේශීය ව්‍යවහාර භාවිතා කිරීම බුදුන් වහන්සේගේ විශේෂ ගුණයකි.

බුදු දහම කිසි විටෙකත් මහාද්වීප පුරා බලහත්කාරයෙන් බෙදා හරිනු ලැබුවේ නැත. අවශෝෂණය කර ගැනීම, උකහා ගැනීම මඟින් සාමකාමී ව්‍යාපාරයක් ලෙස එය ව්‍යාප්ත විය. එය ධර්මය ලෙස පමණක් නොව සදාචාරාත්මක හැසිරීම්, භාෂාව සහ අක්ෂර, කලාකෘති සහ ගෘහ නිර්මාණ ශිල්පය යන සමාජ සම්මතයන් නියෝජනය කරන උසස් සංස්කෘතියක් ලෙස ව්‍යාප්ත විය. බෞද්ධ ආරාම සමාජ සංස්කෘතික ආකර්ශන මධ්‍යස්ථාන විය. බුද්ධිමය ක්‍රියාකාරකම් මෙන් ම විශිෂ්ටත්වයේ ප්‍රකාශිත මධ්‍යස්ථාන විය. සමාජ හිතකාමී ජීවන කුසලතා සහ ශාස්ත්‍රීය විෂය මාලා අධ්‍යයන කේන්ද්‍රයන් වූයේ ය. මෙය එකල සමාජය අගය කරන ලද දැනුමේ ස්වභාවයට හා සමාජ ප්‍රවේශයන්ට සාක්ෂියකි. පළමු සහශ්‍රකය වන විට එවැනි මධ්‍යස්ථාන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ලෙස දියුණු විය. තක්ෂිලා, නාලන්දා, ඹ්දන්තපුරි, වික්‍රමශිලා අනුරාධපුර (අභයගිරිය හා මහාවිහාර) යන ස්ථාන විශ්වවිද්‍යාල විද්‍යායතන විය. මෙම මධ්‍යස්ථානවලින් සමහරක ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව, පර්සියාව, තුර්කිය සහ තවත් රටවල් කිහිපයකින් සම්බන්ධ වූ විදේශීය සිසුන් සිටියේය. මෙම ආරාම සහ ඒවා පිහිටි නාගරික මධ්‍යස්ථාන සම්භාව්‍ය ලෝකයේ බහු සංස්කෘතික දොරටු විය. විවිධ සංස්කෘතීන් සහ විශ්වාස පද්ධතිවල පුද්ගලයින් කිසිදු බාධාවකින් තොරව මිශ්‍ර ව එක්ව කටයුතු කළ බව පෙනෙයි. බුදුදහම සැබවින්ම දේශසීමා ඉක්මවා ගිය සහ වාර්ගික, භාෂා, සංස්කෘතික සහ ආගමික බාධක පවා ඉක්මවා ගිය බුද්ධියේ සහ උසස් සංස්කෘතියේ ධර්මයකි. බෞද්ධ සංස්කෘතිය අත්‍යවශ්‍යයෙන්ම ජාත්‍යන්තර ස්වභාවයෙන් යුක්ත විය.

වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව, විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අභිසාරී ස්ථානයක් විය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී පමණ බුද්ධාගම සහ ජෛන ආගම හා උතුරු ඉන්දියානු සමාජ මතවාදයන්ගේ ආගමනය මඟින් මෙම දූපත් සමාජයට සුවිශේෂී අනන්‍යතාවයක් ලබා දුන්නේය. එය ශිෂ්ටාචාරයේ ආරම්භය යි. විශ්ව සංස්කෘතිය හා එක්වීමේ ප්‍රකාශනය යි. ඉන් පසුව බුද්ධ ධර්මය සහ පැවිදි සමාජය මඟින් ශ්‍රී ලංකාවේ බුද්ධිමය, අධ්‍යාත්මික සහ සංස්කෘතික පෞරුෂය හැඩගස්වා ඇත. මෙම දූපත් සමාජය ධනාත්මකව අන්තර් ක්‍රියා කරමින් තම අනන්‍යතාවය පවත්වා ගෙන ගිය විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් ගැවසුණු දේශයක් විය.

යුනෙස්කෝව විසින් ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. එය විවිධත්වය සඳහා අවකාශය දුන් බලවේගයක් ලෙස බුදුදහමේ දායකත්වය පෙන්වන ජීවමාන සාක්ෂි වෙයි. එම පුරාණ ආරාම මඟින් ඉන්දියාව, අග්නිදිග ආසියාව, චීනය, බටහිර ආසියාව සමඟ පවත්වාගෙන ගිය ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා නිදසුනකි. අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ලෝක උරුම ස්ථාන සහ තිස්සමහාරාමයේ ප්‍රාථමික ජනාවාස මධ්‍යස්ථානවලින් පවා බෞද්ධ, චීන, බටහිර ආසියානු, හින්දු, ඉන්දියානු සහ ඉස්ලාම් සම්භවයක් ඇති කෞතුක වස්තු හමු වී ඇත.

මෙම බහුසාමයික එකමුතුව වර්තමානයේ පවා පවතී. ලෝක ප්‍රකට ශ්‍රී පාදය හෙවත් ආදම්ගේ කඳු මුදුන යනු සියලුම ප්‍රධාන ඇදහිලි බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය කන්දකි. පොළොන්නරුවේ යුනෙස්කෝ ලෝක උරුම නගරයේ බෞද්ධ ආරාම තුළ හින්දු සිද්ධස්ථාන රාශියක් ඇත. කතරගම දේවාලය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයකි. සුප්‍රසිද්ධ වන්දනාකරුවන්ගේ මාර්ගය නොහොත් වාර්ෂික පාද යාත්‍රාව උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගම දී අවසන් වෙයි. එයට හින්දු, බෞද්ධ සහ ඉස්ලාම් බැතිමතුන් එකතු වෙයි. එබැවින් හවුල් උරුමය යනු ඓතිහාසික උරුමයක් මෙන් ම ජීවමාන යථාර්ථයකි.

පශ්චාත් යටත් විජිත උපාය මාර්ග මඟින් වසර පනහකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මත පටවන ලද ගැටුම් තත්ත්වයන් ශ්‍රී ලංකා සමාජය වියවුල් කර ඇත. පශ්චාත් ගැටුම් යුගයක, ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම්වලින් එතෙර වීමට උත්සාහ ගනියි. එමඟින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා සම්බන්ධතා පාලම් ගොඩනඟමින් සිටී. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකාවේ බහුවිධ සංස්කෘතික චිත්‍රයක් පෙන්වන දූපත් සමාජයකි. අතීතයෙන් උරුම වූ පොහොසත් සහ හවුල් සංස්කෘතික උරුමයක් මඟින් ශ්‍රී ලංකාව පෝෂණය වේ. විවිධත්වය පිළිගැනීම හා වෙනස් කොට නොසැලකීම මඟින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා අනාගත මාර්ග සිතියම සකස් කර ගත හැක. බිම් මට්ටමේ මහජනතාවගේ සහාය මෙම ප්‍රයත්නයට අත්‍යවශ්‍ය ය. මෙම පූජනීය වගකීම නොසලකා හැරීම යනු දශක ගණනක් තිස්සේ අප අත්විඳින ලද සංහාරය ජාතික ඛේදවාචකයක් ලෙස  නැවත මතුවීමයි. එවිට අහිමි වූ අවස්ථාවන් ගැන පසුතැවිල්ල පමණක් ඉතිරි වනු ඇත.

හවුල් උරුමය බහුවිධ උත්ප්‍රේරකයක් ලෙසත් මිනිසුන්ට මිනිසුන් යා කිරීමේ  සම්බන්ධ වීමේ සහ ගැටුම් නිරාකරණයේ මෙවලමක් ලෙසත් වැදගත් ය. බහුත්වවාදයට ගරු කරන පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මත බහුවිධ අනන්‍යතාව ආරක්ෂා වෙයි. මේ සඳහා ජනප්‍රිය සංස්කෘතියේ අවශ්‍යතා සීමාවෙන් ඔබ්බට උරුමය යළි නිර්වචනය කිරීම සඳහා සුසමාදර්ශී පියවරක් ගැනීම අවශ්‍ය වේ. පරිසරය, සංස්කෘතිය, අතීතයේ සහ අලුත් පරම්පරාවේ දැනුම අපි දැන් උරුමයේ අනිවාර්ය අංග ලෙස හඳුනාගනිමු. යුනෙස්කෝව විසින් නියම කරන ලද ගැටුම් නිරාකරණයේ වැදගත් අංගයක් ලෙස අධ්‍යාපනය මානවකරණය කිරීමේ අවශ්‍යතාවය ද අප හඳුනාගත යුතු ය.

අපගේ හවුල් උරුමයන් ප්‍රදර්ශනය කරනු ලබන නව බහු සංස්කෘතික කෞතුකාගාර නිර්මාණය, සංස්කෘතික සිතියම්ගත කිරීම, ජාතික භාෂා තුනෙන්ම ප්‍රකාශන නිකුත් කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් අවශ්‍ය වෙයි.

අද අපි ආක්‍රමණශීලී ගෝලීයකරණය විසින් මෙහෙයවනු ලබන දේශපාලන හැසිරීම් වල ගොදුරු බවට පත්ව සිටිමු. මෙයින් ලෝක ප්‍රජාව කිව නොහැකි තරම් දුක්ඛිත තත්ත්වයකට පත් කර ඇත. ජීවිත හා  දේපළ විනාශයන් පමණක් නොව සමාජයේ හා සදාචාරයේ ඉරිතලා යාම් ද බිඳ වැටීම් ද සිදුවෙමින් පවතියි. එවැනි විනාශකාරී වර්ධනයන්ට විකල්පයක් ලෙස තිරසාර පරිසරයක් තුළ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අන්තර් ක්‍රියා මානුෂීයකරණය කිරීම අත්‍යවශ්‍ය ය.

වර්තමානයේ මිනිසා විසින් ම නිර්මාණය කරන ලද ප්‍රතිවිරෝධතා නිසා ගැටුම් හා විනාශයන් තීව්‍ර වී තිබේ. සාමය හා සහජීවනය සඳහා වූ බුදුන් වහන්සේගේ විශ්වීය පණිවිඩය අනුව සියලු සත්ත්වයන් වෙත කරුණාව දැක්විය යුතු ය. විශ්වීය ආශිර්වාදයක් සමඟින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කිරීමට කැමැත්තෙමි.

දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතු ච

පීතො භවතු ලොකෝ ච – රාජා භවතු ධම්මිකෝ

 [The writer was Director General of the Central Cultural Fund (2007 to 2010) & Senior Advisor (Culture) to the Ministry of Foreign Affairs].


[1] Humanism for Peace: A Buddhist Perspective

Professor of Archaeology, University of Peradeniya, and Cornell Visiting Professor, Swarthmore College, Pennsylvania, Sudharshan Seneviratne delivered a speech on ‘Humanism for Peace: A Buddhist Perspective’ at the Inter Faith Dialogue on International Peace, Harmony and Co-existence celebrating Vesak at the UN General Assembly on May 16.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ගේ ආදාහනය සිදු කෙරුණ 2024. 01.19 දින මෙම අනුවාදය සැකසිණ. 2011 ට අදාල නමුත් අදට  අදාල නොවන වැකි කීපයක් අත්හළෙමි.- දයාසිසිර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here