ස්වභාවිකව දීප්තිමත් සමක් පවත්වාගන්න උපදෙස් – Sri News

0
7


සුදු පැහැය කියල කියන්නෙ අපේ හමට නුහුරු පැහැයක්. හැමෝම සුදු වෙන්න උත්සාහ කළාට අපේ ආසියාතික සමට ආවේණික පැහැය පිරිසිඳු තලෙළු පැහැයක්. ඒ නිසා සුදුවෙන්න ආලේපන භාවිතය ඒ කියන්නෙ බ්ලීචින් අඩංගු ආලේපන භාවිතය පසුකාලීනව සමට අහිතකර වෙන්න පුළුවන්. හැබැයි සුදු නොවී හමේ පැහැය පැහැපත්ව, දීප්තිමත්ව තියාගන්න අපි කාටත් පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නෙ සම ගැන හොඳින් අවධානය යොමු කිරීම. මල් පැළයක් වුණත් හරියට හැදෙන්න ජලය, පොහොර නිසි වෙලාවට ලැබෙන්න ඕනනේ.  ඒ වගේම තමයි අපේ සමත්. නිසි රැකවරණයක් ලැබුණොත් ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු සෞඛ්‍යයට අහිතකර විවිධ ආලේපන වර්ග භාවිතා නොකර ස්වභාවිකව පැහැපත්, දීප්තිමත් සමක් පවත්වාගෙන යන්න අනුගමනය කරන්න පුළුවන් පුරුදු මොනවද කියල. 

 

 

1. නිවැරදි ලෙස පිරිසිදු කරන්න 

සම පිරිසිදුව තියාගන්න කියල නිරන්තරයෙන් සේදීම අනවශ්‍ය දෙයක්. නිතර නිතර හෝදන එකෙන් වෙන්නෙ සම මත තියෙන ස්වභාවික තෙතමන (moisture) ගතිය නැතිවෙලා වියලි හමක් ඇතිවෙන එකයි. උදේ අවදිවීමෙන් පසුව සහ රාත්‍රී නින්දට යන කාලය අතරතුර අධික ලෙස දහදිය දමන ක්‍රියාවක නිරත වුණෝතින් පමණක් ඇඟ සේදීම ප්‍රමාණවත්. එහෙම නැතුව වරින් වර පිරිසිදු කිරීමෙන් සමට සිදුවෙන්නේ හානියක්.

ඊට අමතරව මුහුණේ සම මත තියෙන අනවශ්‍ය කුණු දුහුවිලි ඉවත් කරන විවිධ ක්‍රම ගැන අපි මීට කලින් කතා කළා. නමුත් ඒ ස්ක්‍රබ්, ක්ලීනප් වුණත් දිනපතා කරන්න අවශ්‍ය නැහැ. 

 

 

2. හොඳ නින්දක් ලබාගන්න

නින්ද කියන්නෙ ශරීර සෞඛ්‍යයට වගේම සමේ පෙනුමටත් ඉතාම හිතකර දෙයක්. හරිහැටි නින්දක් නොලැබීමෙන් ඇස යට අඳුරු පැහැය වගේම ඇස වටේ ඉදිමුණු ස්වභාවයකුත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සම අවපැහැ වෙන්නත් සම මත අඳුරු ලප ඇතිවෙන්නත් හරි නින්දක් නොලැබීම හේතුවෙනවා. රාත්‍රියට අවම පැය 7ක සුවදායී, බාධාවන් රහිත නින්දක් ලබාගන්න. රෑ වෙනකං සමාජ මාධ්‍ය ජාලාවන් වල නිදිමරල, සුදු වෙන්න එක එක ආලේපන, බෙහෙත් වර්ග භාවිතය කිසිම තේරුමක් නැහැ. 

 

 

3. තද අව්වෙන් වළකින්න 

අව්ව සමේ පැහැයට අහිතකර බව අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නවනේ. අව්වට සම අවපැහැ වෙනව වගේම හිරු එළියේ තියෙන අහිතකර කිරණ වර්ග සමේ සෞඛ්‍යයටත් තර්ජනයක්. ඒ නිසා තද අව්වේ ගමන් බිමන් වලින් වළකින්න. ශරීරයට හිතකර උදේ 10ට කලින් තියෙන ලා අව්ව විතරයි. දවල් වරුවේ ගමන් බිමන් යන්නම ඕනනම් හොඳ sunscreen එකක් භාවිතා කරන්න වෙනවා. හැබැයි ඒ sunscreen වුණත් ස්වභාවික නැති නිසා හොඳම ක්‍රමය තමයි දවල් තද අව්වේ ගමන් බිමන් අඩු කරන එක. යන තැනක සම ආවරණය වෙන්න ඇඳුම්, කුඩයක් භාවිතා කරන එක. 

 

 

4. දුම් පානයෙන් වළකින්න 

දුම් පානය කියන්නෙත් ශරීර සෞඛ්‍යයට වගේම සමේ සෞඛ්‍යයටත් අහිතකර පුරුද්දක්. මේ දුම්පානය කියන කාරණයට සෘජුව දුම් පානය කිරීම වගේම වක්‍රාකාරව සිගරට් දුමට නිරාවරණය වීමත් ඇතුළත්. ඒ දෙකෙන්ම වෙන්නෙ සම මත අහිතකර රසායනික ද්‍රව්‍ය තැන්පත් වීම. මේ මඟින් සම ඉක්මනින් වයස්ගතවීම සිදුවෙනවා. ඒ නිසා සමට ආදරේ, නිරෝගී පැහැපත් සමක් පවත්වාගෙන යන්න කැමති කෙනෙක්නම් දුම් පානය කිරීම හෝ දුමට නිරාවරණය වීම ඉක්මනින්ම නවත්වන්න ඕන. 

 

5. හැකිතරම් වතුර බොන්න

මේ ගැන අපි වෙනම ලිපියකිනුත් කතා කළා. ඒ ලිපිය මෙතනින් කියවන්න පුළුවන්.

වතුර බොන එකෙන් ශරීරයට තියෙන වාසි ගැන දැනගන්​න

 

මේ කියල තියෙන කාරණා වලට අමතරව සම මත තියෙන සෛල නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න ජලය අත්‍යවශ්‍යයි. ජලය වැඩිපුර පානය කරනව කියන්නෙ හමේ  නිරෝගීකම වැඩිවෙනවා කියන එක. ඒ වගේම හමේ තෙතමනය නිවැරදිව පවාත්වාගෙන යන්නත් ජලය අත්‍යාවශ්‍යයි. ඒ නිසා දවස ඇතුළත හැකිතරම් ජලය පානය කරන්න. වෛද්‍යවරු අනුමත කරන විදිහට බර වැඩ වල නොයෙදෙන, නිතර දහදිය නොදමන වගේම රස්නය අඩු ප්‍රදේශයක ජීවත්වෙන කෙනෙක්නම් අඩුම දවසකට වතුර වීදුරු 8ක්වත් පානය කරන්න අවශ්‍යයි. ඒ කාරණා වෙනස් වෙනවනම් ඊටත් වඩා බොන්න ඕන. 

 

 

6. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

සමේ පැහැයට වගේම සෞඛ්‍යයටත් ඉතාම වැදගත් කාරණයක් මේක. අධික මේදය, කාබෝහයිඩ්රේට අඩංගු ආහාර වෙනුවට නැවුම් එළවලු, පළතුරු ප්‍රධාන ආහාරවේල් වලට එකතු කරගන්න අවශ්‍යයි. ඒවාගේ අඩංගු විටමින් වර්ග සහ ප්‍රතිඔක්සිකාරක වර්ග සමට හිතකරයි. ඒ වගේම ඔමේගා 3 වගේ හිතකර මේද අඩංගු මුහුදු ආහාර වර්ගත් සමේ නිරෝගීකමට අත්‍යාවශ්‍යයි. ඒ වගේම අධික සීනි හෝ පැණිරස ආහාර භාවිතයත් සම ඉක්මනින් වයස්ගත වෙන්න බලපාන හේතුවක්. ඒ නිසා සීනි සහ පැණිරස කෑමත් හැකිතරම් අඩුකරන්න ඕන. 

 

 

7. ස්වභාවික ආලේපන වර්ග

මේ ගැන අපි විවිධ ලිපි කිහිපයකින්ම පහුගිය දවස්වල කතා කළා. මුහුණට හිතකර ස්වභාවික ටෝනර් සහ මාස්ක් මේ ලිපි වලින් දැනගන්න පුළුවන්.

මුහුණට ආලේප කරන්න ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් ටෝනර් වර්ග 7ක්

 

ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් (Face Packs) 7ක්

 

මිට අමතරව නිතර භාවිතා කරන්න කෝමාරිකා ඉතාම හොඳ දෙයක්. ඒ මඟින් සමේ තෙතමනය ආරක්ෂා කෙරෙනවා වගේම සම මත අලුත් සෛල වර්ධනයටත් උපකාරී වෙනවා. මුහුණේ විතරක් නෙමෙයි, ශරීරයේ ඕනෑම තැනක  ආලේප කරන්න පුළුවන් අතුරු ආබාධ නැති ස්වභාවික ආලේපයක් මේ. ඒ වගේම ශරීරයේ අඳුරු පැහැ වෙලා තියෙන ස්ථාන, ස්ට්‍රෙච් මාර්ක් වගේ දේවල් වලට ඉතාම හිතකරයි ස්වභාවික පිරිසිදු පොල්තෙල්. 

 

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here