සම සජලීයව තබා ගමු. – Sri News

0
22

ඔබට සමහර වෙලාවට ඔබේ සම අඳුරු , තද සහ වියළි ස්වභාවයක් ගෙන තිබෙනවා දැනී ඇති. එය බොහෝ දුරට සම විජලනය වීමේ ලක්ෂණයක්. නමුත් සම විජලනය වීම එතරම් හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම සමට අවශ්‍ය ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින අවස්ථාවල සහ අඩු වී තිබෙන අවස්ථාවල මෙවැනි ලක්ෂණ දැක ගන්නට පුළුවන්. ඔබේ සම විජලනය නොවී සජලීයව, එහෙමත් නැත්නම් Hydrated skin එකක් පවත්වා ගන්නේ කොහොමද ? ඒ ගැනයි මේ කියන්නට සූදානම් වෙන්නේ.

සජලනය වූ සමක් සිනිදු , දීප්තිමත් , නීරෝගී සහ ඒකාකාර ස්වභාවයක් ගන්නවා. සම සජලනය කිරීම යනු සරලවම එහි ජල අන්තර්ගතය වැඩි කිරීමයි. සමේ ජල අන්තර්ගතය අඩුවීම නිසා සම සම්බන්ධව බොහෝ ගැටලු ඇති වන්නට පුළුවන්. මේ නිසා සමේ තෙතමනය නිතරම ආරක්ෂා කර ගැනීම වැදගත්.

සම විජලනය වීමට හේතු මොනවද ?

අධික උෂ්ණත්වය

අධික උණුසුම් හෝ සීතල උෂ්ණත්වයන් ඔබේ සමේ ස්වභාවික බාධකයට හානි කළ හැකියි. අධික උෂ්ණත්වයන් වළක්වා ගැනීම අපහසු විය හැකි නමුත් ඔබේ සම එවැනි තත්ව වලට නිරාවරණය වීම සීමා කිරීමට හෝ වග බලා ගැනීම ඉතාම වැදගත්.

නිතර exfoliate කිරීම

සම exfoliate කිරීම සමෙහි පැවැත්ම සඳහා වැදගත් වන නමුත් මෙය ඕනෑවට වඩා සිදු කිරීම සමට හානි ගෙන දෙනවා. විශේෂයෙන්ම සමේ ස්වභාවික තෙතමනය ඉවත් වීම සිදු වීම නිසා exfoliate කිරීම නිසි පරිදි පමණක් කරන්න.

සැර පිරිසිදු කාරක

Face wash සහ face cleanser වර්ග වල අඩංගු වන සමහර අමුද්‍රව්‍ය ඔබේ සමට අහිතකර වීමේ හැකියාව පවතිනවා. එවැනි අමුද්‍රව්‍ය නිසා සම අධික ලෙස වියළීම සිදු වන්නට පුළුවන්. මේ නිසා ඔබ මෙවැනි පිරිසිදුකාරක තෝරාගන්නා විට ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳවත් සැලකිලිමත් වන්න.

වායු සමීකරණ

රැකියාවල නිරත වන බොහෝ දෙනා දවසේ බොහෝ වේලාවක් වායු සමීකරණ යටතේ ගත කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය සම විජලනය වීම සඳහා ප්‍රධාන හේතුවක් ලෙසද සැලකෙනවා.

ඔබේ සම විජලනය වීම වළක්වා සමෙහි තෙතමනය රැක ගන්නේ කොහොමද ?

ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න

ඔබේ සම සජලනය කිරීමේ පළමු පියවර වන්නේ ඔබේ ශරීරය සජලනය කිරීමයි. සාමාන්‍යයෙන් බොහෝ සෞඛ්‍යවේදීන් නිර්දේශ කරන්නේ දිනකට අවම වශයෙන් ජලය වීදුරු අටක්වත් පානය කළ යුතු බවයි. මීට අමතරව ජලය අඩංගු කොමඩු , පිපිඤ්ඤා වැනි දේවල් නිතර ආහාරයට ගැනීම , ස්වභාවික පලතුරු බීම පානය කිරීම වැනි පියවර වුණත් ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

ස්නානය කිරීම සඳහා සීතල වතුර භාවිතා කරන්න

ඔබ දිනපතා ස්නානය කරන කෙනෙක්ද ? ඇත්තෙන්ම එය ඉතා හොඳ දෙයක්. නමුත් ඔබ ස්නානය කරන්නේ උණුසුම් වතුරෙන් නම් එය එතරම් හොඳ දෙයක් නොවෙයි. උණුසුම් වතුරෙන් ස්නානය කිරීම ඔබේ හිස කෙස් වලට වගේම සමටත් අහිතකර ප්‍රතිඵල ලබා දෙනවා. සමය ස්වාභාවික තෙතමනය ඉවත් කිරීමට උණුසුම් වතුරට හැකියාව තිබෙන නිසා ස්නානය කිරීම සඳහා නිතරම සීතල වතුර භාවිතා කරන්න.

Face moisturiser භාවිතා කරන්න

ඔබට විජලනය වූ සමක් ඇත්නම් හෝ ඔබට ඔබේ සම විජලනය වීමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය නම් ඔබට දිනපතා ඉතා හොඳ moisturiser එකක් භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම සමේ තෙතමනය ආරක්ෂා කරන අමුද්‍රව්‍ය වන Hyloronic acid , ග්ලිසරින් වැනි අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.

Face mask වර්ග භාවිතා කරන්න

සතියකට වරක් වත් ෆේස් මාස්ක් එකක් භාවිතා කිරීම මගින් ඔබේ සමේ තෙතමනය රැක ගැනීම වගේම තවත් බොහෝ වාසි ලබා ගන්නට පුළුවන්. සමට හොඳ තෙතමනයක් ලබා දෙන ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කර ඔබට නිවසේදීම මෙවැනි ෆේස් මාස්ක් සකස් කරගෙන භාවිතා කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

Sunscreen භාවිතා කරන්න

ඔබ දිවා කාලයේ පිටතට යන සෑම අවස්ථාවකදීම හිරු ආවරණ නිෂ්පාදනයක් , එහෙමත් නැත්නම් හොඳ Sunscreen එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. එමගින් ඔබේ සමට හිරු කිරණින් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම හිරු කිරණ , උෂ්ණත්වය සහ වෙනත් පාරිසරික හේතු නිසා සම වියලීම සහ සමට හානි සිදුවීම වළක්වා ගන්නට පුලුවන් .

ජලය බහුල ආහාර පරිභෝජනය කරන්න

ජලය වැඩි ප්‍රමාණයක් අන්තර්ගතවන එළවළු සහ පළතුරු වර්ග පරිභෝජනය කිරීම ඔබේ සමට බොහෝ ආකාර වලින් ප්‍රයෝජනවත් වෙනවා. දොඩම් සහ ලෙමන් වැනි පැඟිරි මත පදනම් වූ පලතුරු යුෂ වලින් පිරී ඇති අතර ඒවා විටමින් C වලින්ද පොහොසත් වන නිසා එය ඔබේ සමේ වර්ණය පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කර ගැනීමට උපකාරී වනවා. ඒ වගේම විටමින් A සහ ​​B3 ඔබේ සමස්ත සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නිසා ඒවා අඩංගු ආහාරද පරිභෝජනය කිරීම වැදගත්.

කැෆේන් පරිභෝජනය අඩු කරන්න

කැෆේන් මගින් ඔබේ සමේ ජල ප්‍රමාණය අඩු කිරීම සිදුකරනවා. මෙය සමේ තද බව සහ වියළි බව ඇති කරනවා. එවැනි බලපෑම් ඇතිවීම අඩුකර ගැනීම සඳහා ඔබ දිනකට ලබා ගන්නා කැෆේන් ප්‍රමාණය බොහෝ දුරට සීමා කිරීම සිදු කළ යුතුයි.

ඔබේ සම නීරෝගීව පවත්වාගෙන යාම සඳහා එහි තෙතමනය රැක ගැනීම අතිශයින්ම වැදගත්. යම් හේතූන් නිසා ඔබේ සම විජලනයට ලක් වෙනවා නම් එය තවත් ගැටලු වලට මූලාරම්භයක් වීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබේ සමේ තෙතමනය පවත්වාගෙන සජලීයව තබා ගත හැකි ක්‍රම ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here