සම්මුඛ පරීක්ෂණයකට යන්න කලින් ගැහැණු ළමයෙක් හිතන්න ඕනි දේවල් – Sri News

0
5

දැන් ඉතින් කුස්සි පල්ලේ වැටීගෙන ළමයි හදන් ඒවාට විතරක්ම කැපවෙලා ගැහැණු උදවිය ජිවත් වුණ කාලේ ගියා නොවැ. වැඩ ලෝකෙදී පිරිමි උදවිය එක්ක කරට කර සටනක් දෙන්න, දැනටමත් ගොඩක් ක්ෂේත්‍රවල තමන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යන්න තරම් සාධනීය උණක් ගැහැණු උදවියටත් හැදිලා තියනවා. ඉතින් ඕක කරන්න කොතනින් හරි පටන්ගැන්මක් තියෙන්න එපැයි. ආයතනයකට බඳවා ගැනීමේදී අහන දේවල් නම් ගැහැණු පිරිමි මල් පළතුරු කියලා බෙදන්න අමාරුයි. ඒත් එතැනදී හිතන්න ඕනි දේවල්වලට එහෙම අර්ථකතනයක් දෙන්න පුළුවන්.

 

ශිෂ්ටාචාරේ පටන් ගත්ත මුල් කාලේදී ඉඳන් ඇඳුම් ආයිත්තම්වලට ගැහැණු අයගේ තිබුණ මනාපේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. හැබැයි ඉතින් සම්මුඛ පරීක්ෂණයකට යනකොට තොරොම්බල් කරත්ත වගේ ගිහින් හරියන්නෙත් නැහැ. ගැහැණු ළමයෙක් සම්මුඛ පරීක්ෂණයට යන්න පෙරාතුව තමන්ගේ ඇඳුම ගැන වෙනදාටත් වඩා සැලකිල්ලක් දෙන්න ඕනි. ඩෙනිම්, ත්‍රී ක්වාර්ටර්, සල්වාර් වගේ අරුමෝසම් මානසිකත්වයෙන් බැහැරවෙලා සාරියක්, ඔපීසිවලට අඳින පන්නයේ කලිසමක් සායක් ඇන්දාම හරි. ඊටම හරියන ආභරණ සහ සපත්තු භාවිතයත් වැදගත්. තියන තරමක් උරචක්‍රමාල බෙල්ලේ දාගන්නෙත් නැතුව, සම්මුඛ පරීක්ෂණයට යන්න කලින් කෙණ්ඩා පෙරළිලා මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙන්න ඉඩ නොදෙන සපත්තු දාගෙන යන්න වගබලාගන්න ඕනි.

 

මොන හත්තිලව්වක්වත් නෙවේ ඒ කියන්නේ Body Language කියන එක. දෛහික භාෂාව කියන්නෙත් ඕකටමයි. අපි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න අහවල් දොරෙන් ඇතුල් වුණා විතරයි එවෙලේ ඉඳන් අපිට ලකුණු ලැබෙනවා. පුරුද්දට කොයි වෙලෙත් කොණ්ඩේ හදන්න එහෙම ගත්තොත් වැඩේ වර්චස් වෙලාම යන්න පුළුවන්. නියම නෝනා කෙනෙක් වගේ පුටුවේ වාඩි වෙන්න. හෑන්ඩ්බෑග් එකක් අරන් යනවා නම් දෙයියන්ගේ නාමෙට ඒක මේසේ උඩින් තියන්න යන්නේ නැතුව පුටුවේ පැත්තකින් බිමින් තියන්න.

 

ගැහැණු ළමයි ගැන මොන විදියේ නිර්වචන සමාජයෙන් ලැබිලා තිබ්බත් ඒ එකක්වත් සම්මුඛ පරීක්ෂණයේදී අදාළ කරගන්න යන්න එපා. හරි හුරතල් කියලා කියන නිසා එතන ගිහින් තොදොල් වෙන්න එහෙම එපා. ඒ ඔක්කොම මායම් දාතහැකි පිළිගැනීමේ නිලධාරිනි තනතුරකට ගියා නම්. ඒත් අනික් රැකියා එක්ක නම් තමන්ට තියෙන්නේ මෙහෙම මානසිකත්වයක් කියලා කතාබහෙන් පෙන්නන්න යන්න එපා. තමන් අනික් අයට වඩා වෙනස් ශක්තිමත් අයෙක් කියලා පෙන්නන්න.

 

මේකප් එකක් ඕනි. හැබැයි එහෙමයි කියලා මස්කාරා බාල්දියක බැහැලා හිටපු, ලේ බොන, පාන් පිටි ගොඩක් අස්සේ ඔලුව ඔබාගෙන ඉඳන් ගියපු විදියට ඉන්නේ නැතුව බොහොම සැහැල්ලු මේකප් එකක් දාගෙන යන්න. ලස්සනට පේන්න කියලා බොරු ඇස්පිහාටු එහෙම අලවාගෙන යනවා එහෙම නෙවේ. නහය කඩාගෙන යන විදියේ සැන් පවුඩර් නම් ඕනිම නැහැ.

 

ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය පරීක්ෂණය තියෙන කාමරයට යන්න කලින් ඒ ආයතනයට යන අය කී දෙනෙක් නම් හම්බ වෙනවද? ඉස්සෙල්ලම එන්න කියලා කෝල් එක දෙන පුද්ගලයා, ආරක්ෂක නිලධාරි, පිළිගැනීමේ නිලධාරි, සුළු සේවකයන් යන හැම දෙනාගෙන්ම පස්සේ තමයි එතෙන්ට යන්නේ. ගොඩක් තැන්වල මේ හැම දෙනාගෙන්ම ඔයා ගැන අහනවා මොන වගේ කෙනෙක් ද කියලා. එක් අයෙක් හරි කීවොතින් එහෙම මහා නසරානියෙක් කියලා එතනින් ම වැඩේ හබක්. අන්න ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

 

ගැහැණු ළමයෙක් වෙන නිසා මේක නම් හරියන එකක් නැහැ වගේ ගොන් දේවල් හිතන්නේ නැතුව තමන් ගැන විශ්වාසය ඇති කරගන්න. සමහරවිට දක්ෂතාවලින් පිරුණ ඔයා ගැහැණු ළමයෙක් වෙන එකම ලකුණු වැඩියෙන් එකතු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. බයාදු විදියට කුලෑටි ලයින් එක දීගෙන හිටියොත් ඉවරම තමයි.

 

මාසික ආර්තවහරණය නිසා බඩ රිදෙන, වමනේ යන ස්වාභාවයක් ඔයාටත් තියෙනවා නම් වහාම වේදනා නාශක භාවිත කරන්න. නැත්නම් මේ සඳහා වෛද්‍ය සහය ලබාගන්න. මොකද අසනීප ගතියකින් ඉන්නවා නම් ඒක අපේ මූණෙන් පේනවා. මේ කිසිම දෙයක් නොදන්නා පරීක්ෂකයෝ හිතන්න පුළුවන් මේ කෙල්ල නම් ගෙදරින් එවපු නිසා ආපු, ජොබට ඒ තරම් මනාප නැති කෙනෙක් කියලා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here