සමහර මිනිස්සු ඇවිදින මළමිනී වගේ ජීවත්වෙන්නේ ඇයි?

0
7


“දැන් නම් මට මහන්සි.”

ඕක සමාජ මාධ්‍යවල අපි නිතරම දකින කතාවක්. ගොඩක් අයට ඔය වෙහෙස දැනෙන්නේ කායිකව නෙමෙයි මානසිකව. ඉස්සරහට අපේ රටේ ඇතිවෙන්න පුළුවන් කියලා හිතෙන අර්බුද එක්ක ඔය කියන මානසික මහන්සිය වැඩිවෙනවා මිසක අඩුවෙන්නේ නැහැ. අද මේ මාතෘකාව තෝරගන්න හේතුව වුණෙත් ඒකයි.

උදාහරණ කතාවකට මම දන්න පුද්ගලයෙක්ට වුණු ඇබැද්දියක් කියන්නම්. මේ කියන පුද්ගලයා උපතින්ම යමක්කමක් තිබුණු කෙනෙක්. විවාහ වෙනකොටත් ඔහුට හොඳ දෑවැද්දක් ලැබුණා. රැකියාවක් විදියට කළේ විවිධ දේට මුදල් ආයෝජනය කරාපු එක. සල්ලිවලින් ඔහු කළේ ලෝකෙට පෙන්නන්න ගෙවල්, යානවාහන මාරු කළ එක. කාලයක් යද්දි ඔහුගේ ආයෝජන අසාර්ථක වුණා. ඒ වෙලත් ඔහු ණය වෙවී කාර් මාරු කළා. කාලයක් යද්දි ණය ගෙවාගන්න බැරිව ඒ පවුල සෑහෙන්න හිරවුණා. පස්සේ ගෙවල්දොරවල් පවා සින්න වෙලා මේ පුද්ගලයා ඇවිදින මළමිනියක් වගේ වුණා. පෙනුම ආදිය මළානික වෙලා ක්‍රියාකාරිත්වය එහෙමත් අඩුවුණා. පස්සේ ඔහුගේ බිරිඳ ණය ගෙවන්න රට ගියා. ණය ගෙවාගෙන හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත්වේගෙන ආවත් ඔහු සාමාන්‍ය වුණේ නැහැ. ලොකු ඇගෑලුම්කමක් නැතත් මම මේ පුද්ගලයත් එක්ක කතා කරන්න උත්සාහ කළා. හැබැයි ඔහුගේ පවුලේ අයවත් ඒ ගැන ලොකු අවධානයක් දැක්වුවේ නැහැ. ඊට ටික දවසකට පස්සේ ඔහු සියදිවිහානිකරගෙන කියලා මට ආරංචි වුණා.

මට තේරුණු විදියට ඔහුට තිබුණේ මානසික වෙහෙසක්. (Mental Exhaustion) මම අර මුලින්ම කිව්වේ මානසික වෙහෙස කියලා වචනයක්. අද සමාජයේ ඉන්න ගොඩක් උදවියට මේ කියන තත්ත්වය තියෙනවා. මේක මානසික ලෙඩක් නෙමෙයි ඕනම සාමාන්‍ය මනුස්සයෙක්ගේ මනසේ ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්.

මේ කියන තත්ත්වය ඇතිවෙන්නෙ කොහොම කියන එක මම මුලින්ම පැහැදිලි කරන්නම්කෝ. යුරෝපේ එක පරීක්ෂණ කණ්ඩායමක් මිනිස්සු  40 දෙනෙක් යොදාගෙන එක්තරා පරීක්ෂණයක් කළා. මේකෙන් 20 දෙනෙක්ට මනස වෙහෙසලා එක දිගටම කරන්න වෙන බරසාර ක්‍රියාකාරකම් වාගයක් බාරදුන්නා. අනිත් 20 දෙනාට දුන්නේ සරළ වැඩ ටිකක්. මාස ගාණකට පස්සේ මේ අයගේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක මට්ටම් මැන්නා. අර සරළ වැඩ කළ අයගේ මොළයේ එහෙමට වෙනසක් වෙලා තිබුණේ නෑ. හැබැයි මොළය එකදිගටම වෙහෙසාපු අයව මානසිකව තෙහෙට්ටුවට පත්වෙලා තිබුණා. මේකේ තේරුම එකදිගටම මොළය වෙහෙසන එකෙන් මනස තෙහෙට්ටුවට පත්වෙනවා කියන එකයි. එකදිගට අභියෝග එනකොට මොළයේ කෝටිසෝල් (ආතතිය ඇති කරවන හෝර්මෝනයකි) මට්ටම ඉහළ යනවා. මේ ඉහළ යාම දිගින් දිගටම තිබුණාහම තමයි ඔය කිව්ව විදියට මොළේ තෙහෙට්ටු වෙන්නේ.

මෙහෙම වෙන්න බලපාන හේතූ කාරණා මොනවද? මූලිකම හේතුව මූල්‍ය ආතතිය. ගෙදරදොරේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනකොට මිනිස්සු දිගින් දිගටම “දැන් ඉතින් ජීවත්වෙන්නේ කොහොමද” කියන එක ගැන හිතන්න පටන්ගන්නවා. ඒකත් එක්කම මනස ඉබේම වෙහෙසට පත්වෙන එක සාමාන්‍යයි. ඉස්සරහට අපේ රටේ මානසිකව තෙහෙට්ටු මිනිස්සු වැඩිවෙනවා කියලා මම කිව්වේ ඒකයි.

තව පිරිසක් ඉන්නවා කොච්චර දේවල් තිබ්බත් සෑහීමකට පත්වෙන්නේ නැති. අර මම උදාහරණයට ගත්තු මනුස්සයා වගේ. තියෙන දෙයින් සෑහීමකට පත් නොවෙද්දි ඒ ගැනම හිතලා මනස වෙහෙසෙන්න පුළුවන්.

ඊගාව කාරණාව පීඩාකාරී රැකියා. පෞද්ගලික ජීවිතේ ගැන නොහිතා එකදිගට රස්සාවටම මනස යොමු කරන මිනිස්සු ඉන්නවා. සමහර රැකියා ස්ථානවලිනුත් මිනිස්සුන්ට දරාගන්න බැරි තරමට වැඩ දෙනවා. ඕව​යේ අවසාන ප්‍රතිඵලය වෙන්නේත් කෙනෙක් මානසිකව තෙහෙට්ටුවට පත්වෙන එක.

තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?

විභාග කරද්දිත් මනසට මේ කියන තෙහෙට්ටුව දැනෙනවා. පාසල් කාලේ මම දන්න මිතුරෙක් විවේක නොගෙන එකදිගටම පාඩම් කළා. ඔහුට ඕන වුණේ දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න. හැබැයි අවසානෙදි එකදිගට පාඩම් කරලා මොළය වෙහෙසිලා වැඩිකමට ඔහු අසනීප වුණා. අදාළ අවුරුද්දෙ විභාගයට වාඩිවෙන්න ලැබුණෙත් නැහැ.

එතකොට තව හේතුක් තමයි ජීවත්වෙන පළාත, ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට ඉස්සර මහවැලි යෝජනා ක්‍රමයෙන් කොළඹ පළාත්වල ජීවත්වෙච්චි මිනිස්සුන්ට අනුරාධපුර වගේ මහවැලි ප්‍රදේශවල වගා කරන්න ඉඩම් දීලා එහේ නතර කළා. පරිසර මාරුව එක්ක මේ අයට සැලකිය යුතු මානසික ආතතියක් ඇතිවෙලා තිබුණා.

මනස වෙහෙසෙන කාලය එක්ක කෙනෙක්ට මේ කියන තෙහෙට්ටුව සති ගාණකට මාස ගාණකට විතරක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි විවේකයක් නැතිව එකදිගටම මනස වෙහෙසෙනවා නම් මේ තත්ත්වය දිගින් දිගටම තිබිලා විශාදය, කාංසාව වගේ තත්ත්වයන් දක්වා දුරදිග යන්න්ත පුළුවන්. ඒ නිසා මේ කියන තත්ත්වය අඳුනගන්න එක වැදගත්.

කෙනෙක් මානසිව තෙහෙට්ටු වෙලාද කියලා දැනගන්නේ කොහොමද? පළවැනිම දේ මේ කෙනාගේ මනසේ තෙහෙට්ටුව බැලූ බැල්මට මුණෙන් පේනවා. බොහොම මළානික විදියට කළකිරිලා වාගේ උදාසීනව ඉන්නවා නම් ඒ කෙනා ඉන්නේ ලොකු මානසික මහන්සියක වෙන්න පුළුවන්. හැසිරීමෙන්ම මේ උදවිය සතුටින් නෙමෙයි ඉන්නේ කියන එක හොයාගන්න පුළුවන්. පාරකතොටක ගියත් ඔහේ යනවා මොකට ජීවත්වෙනවද මැරිලා ගියත් කමක් නෑ වගේ සිතුවිල්ලක් තමයි මෙයාලට තියෙන්නේ. ලස්සනට, පිළිවෙලට අඳින්න හිතෙන්නේ නැහැ. මේ කියපු දේවල්වලට අමතරව තරහා යාම, ඊර්ෂ්‍යාව, නුරුස්සන බව වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. නින්ද නොයාමේ ගැටලු වගේම වැඩිපුර නින්ද යාම වගේ ගැටලුත් ඇතිවෙනවා. 

මේ කියන ලක්ෂණ ඔබට නැත්නම් ළඟම කෙනෙක්ට තියෙනවා නම් මනෝ උපදේශනයට යොමුවෙන්න ඕනේ. බොහොම  සුළු චිකිත්සක, ප්‍රතිකාර ක්‍රමවලින් මේ තත්ත්වය නැති කරන්න පුළුවන්.

මෙහෙම තත්ත්වයක් නැති කෙනෙක් වුණත් මානසික තෙහෙට්ටුව ඇති නොවෙන විදියට වැඩ කරන එක වැදගත්. අද සමාජය ගොඩක් දියුණු වුණාට ඉස්සර මිනිස්සු ගාව තිබුණු සතුට අද කාලේ මිනිස්සු ගාව නැහැ. සතුටින් ඉන්න මිනිස්සු ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් කියන එකයි ඇත්තම කතාව. හැබැයි ඉතින් තමන්ගේ මානසික සතුට හොයාගන්න එක තමන්ගේ වගකීමක්. ඒ සතුටත් එක්ක මනසට ඔය කියන තෙහෙට්ටුව දැනෙන්නේ නැහැ. 

ගෙදරදොරේ ආර්ථිකය වෙනදට වඩා කළමනාකරණය කරගන්න. අමතර ආදායම්වලට යොමුවෙන්න. එතකොට මුදල් නිසා ඇතිවෙන මානසික තෙහෙට්ටු අවම කරගන්න පුළුවන්.

රැකියාවක් කරන කෙනෙක් වුණත් රැකියාවේ දේවල් ගෙදරට අරගෙන යන්න එපා. ගෙදර ගියාම තමන් වෙනුවෙන් වෙලාව දෙන්න. ආදරණීයයන් එක්ක සතුටින් ඉන්න. මාස දෙකක් මහන්සි වෙලා වැඩ කළොත් ඊළඟ මාසේ අනිවාර්යයෙන්ම නිවාඩුවක් අරන් නිදහසේ ඉන්න. පාඩම් කරද්දි වුණත් කඩින් කඩ විවේක ගන්න එක කරන්නම ඕනේ. නැත්නම් මනස ඉක්මනට තෙහෙට්ටු වෙනවා. ඊගාව දේ පැය 8ක් දිනාගන්න. නින්ද කියන්නේ මනසේ ක්‍රියාකාරිත්වය වැඩි කරවන බේතක්. පුළුවන් නම් ගෙදර සුරතල් සතෙක් හදන්න. සතුට බෙදන මිනිස්සු ආශ්‍රය කරන්න. ඉඳලා හිටලා රස කෑමක් හදලා කන්න. විනෝද ගමනක් යන්න. භාවනා, යෝගා, ව්‍යායම වගේ දේවල් ජීවිතේ කොටසක් කරගන්න. ගොඩක් තෙහෙට්ටුව දැනෙන වෙලාවට උණුවතුරින් ටික වෙලාවක් නාන්න. තමන්ගේ හිතට දැනෙන දේවල් ජර්නල් එකක් විදියට ලියන්න. ඔය වගේ දේවල්වලින් මනසට දැනෙන පීඩනය, තෙහෙට්ටුව අඩු කරගන්න පුළුවන්. මනස කියන්නේ මැෂින් එකක් වගේ දෙයක්. මැෂින් එකක් වුණත් එකදිගට වැඩ කළොත් ඉක්මනට කැඩිලා යනවනේ. ආන්න ඒ වගේ තමයි අපේ මනසත්. විවේකය අවශ්‍ය වෙලාවට මනසට විවේකය දෙන්නම ඕනේ. නැත්නම් වෙන්නේ රට පුරා මානසිකව තෙහෙට්ටුවට පත්වුණු ඇවිදින මළමිනී වගේ මිනිස්සු බිහිවෙන එකයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here