සමරිසි ලිංගික නැඹුරුව තියෙන අයව පේන්න බැරි හෝ​මොෆෝබියාවෙන් මිදෙන්නේ මෙහෙමයි! – Sri News

0
6

දැන් ඔය එක එක ෆෝබියා වර්ග තියෙනවනේ ලෝකේ ගත්තහම. ඒ කියන්නේ භීතිකා. කුකුළන්ට තියෙන භීතිකාව, සංවෘත අවකාශ වල ඉන්න තියෙන භීතිකාව වගේ එක එක ඒවා. හැබැයි හෝ​මොෆෝබියා කියන්නේ ඇත්තටම එහෙම භීතිකාවක්ම කියන්න බෑ. හෝ​මොෆෝබියා කියන්නේ ඊට වඩා සමරිසි එහෙම නැතිනම් හෝමෝසෙක්ෂුවල් ලිංගික නැඹුරුතාවයෙන් යුතු අය ගැන තියෙන අප්පිරියාව, අකමැත්‍ත නැතිනම් ඒ අයව පේන්න බැරි කම තමයි. ඒක ඇත්තටම ගේ හෝ ලෙස්බියන් අය වෙනුවෙන් විතරක් නෙවෙයි. LGBTQ ඕනම කෙනෙක් ගැන ඔය අවුල තියෙන්න පුළුවන්.

හෝ​මොෆෝබියාව නැති අය සහ තියෙන අය වෙනස් වෙන්නේ මෙහෙමයි. අපි කියමු හෝ​මොෆෝබියාවක් නැති, ඒත් හෝමෝසෙක්ෂුවල් නැති මනුස්සයෙක් කියලා. එයාට තව කෙනෙක් හෝමෝසෙක්ෂුවල් කියලා ගැටළුවක් නෑ. හැබැයි හෝමොෆෝබියාවක් තියෙන කෙනෙක් සෑහෙන්න හෝමෝසෙක්ෂුවල් මිනිස්සුන්ට ද්වේෂසහගත මට්ටමකින් එරෙහි වෙනවා. බොහොම අවිචාරාත්මක විදියට හිතලා ඒ අයව කොන් කරනවා, හිංසා කරනවා. ඇත්තටම හෝ​මොෆෝබියා කියන්නේ තමන්ගේ ගැටළුවක්. තමන්ට හෝමෝසෙක්ෂුවල් නැඹුරුතාවයක් තිබුණා හෝ නොතිබුණා හෝ, තමන්ගේ හෝ​මොෆෝබියාව සුවකරගන්න පුළුවන් නම්, වඩාත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

 

ඉතින් කොහොමද ඕක සුව කරගන්නේ? ඒක කරන්නේ මෙහෙමයි.

 

ප්‍රශ්නයක් විසඳන්න නම් මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න වෙනවනේ. හෝ​මොෆෝබික් තත්ත්වයන් සම්බන්ධයෙන් වුණත් එහෙම තමයි. මුලින්ම කරන්න ඕන තමන්‍ට එහෙම ගැටළුවක් තියෙනවා කියලා පිළිගන්න එක. ඇත්‍තටම කවුරු හරි මනුස්සයෙක්ට තියෙන හෝ​මොෆෝබියා තත්ත්වය නිසා ගැටළු ඇතිවෙන්නේ බාහිර සමාජයේ ඉන්න සමරිසි මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඒ මනුස්සයාටමත් තමන්ගේ හෝ​මොෆෝබියා තත්ත්වය වදයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා, තමන්ගේ ඒ ගැටළුව මුලින් අවබෝධ කරගන්න එක හොඳයි. ඊට පස්සේ පුළුවන් ඒ ගැටළුවට විසඳුමක් හොයන්න යොමු වෙන්න.

 

දැන් අපි ඔය ගේද ලෙස්බියන්ද ට්‍රාන්ස් ද වගේ කතන්දර අතඇරලා වෙන දෙයක් හිතමු. අපි ගමු කවුරුහරි කෙනෙක්, අමුවෙන් මාළු කන්න කැමති. වෙන රටක මනුස්සයෙක් කියලා හිතමු. දැන් අපි අමු මාළු කන්නෙ නෑ. හැබැයි අර මනුස්සයා අමුවෙන් මාළු කෑවා කියලා අපිට අවුලක් තියෙන්න විදියක් නෑ නේද? කොහොමත් අමු මාළු කන එකනේ සුෂී කියලා ෆුඩ් ආට් එකක් වෙන්නේ. ඉතින් අපිට ඇයි බැරි අමු මාළු කන මනුස්සයාවත්, උයලා මාළු කන මනුස්සයාවත් එක වගේම පිළිගන්න? ඕන නම් තව උදාහරණයකට යමු. අපිට සමහර වෙලාවකට, එකම රටේ ජීවත් වෙන, ඒත් වෙනස් ජනවර්ගයකට අයත් වෙන මනුස්සයෙක්ව පිළිගන්න බැහැ. හැබැයි අපිට බැරිද වෙන ජනවර්ගයකට, වෙන ජාතියකට, වෙන ආගමකට අයිති, අපිට වඩා වෙනස් මනුස්සයෙක්ව වුණත්, ‘මනුස්සයෙක්’ විදියට පිළිගන්න?

 

හෝ​මොෆෝබික් හැඟීම් වලින් මිදෙන්න කරන්න පුළුවන් තවත් දෙයක් තමයි, LGBTQ කාණ්ඩ වලට අයත් පුද්ගලයන් ගැන සමාජේ තියෙන එක එක විදියේ ඒකාකෘතික කිරීම් වලින් මිදෙන්න උත්සාහ කිරීම. ඒ කියන්නේ සමහරු කියනවා සමරිසි මිනිස්සු නිසා බාලාපරාධ වැඩි වෙනවා කියලා. ඒක ඇත්තද? උත්තරේ නැහැ කියන එක තමයි. බාලඅපරාධ සිද්ධ කරන්නේත් මිනිස්සු. එතකොට ඒකට සමරිසිද විසමරිසිද කියලා භේදයක් නෑ. එහෙම සමරිසි ප්‍රජාව අතින් වැඩිපුර බාලඅපරාධ සිද්ධ වෙනවා කියලා කියන්න කිසිම පදනමකුත් නැහැ. ඇත්තටම ගත්තොත්, සමරිසි විසමරිසි කණ්ඩායම් වල අනුපාතයට අරගෙන බැලුවත්, සමහර විට වැඩියෙන් බාලඅපචාර සිද්ධ වෙන්නේ විසමරිසි කණ්ඩායමේ ඉන්න අයගෙන් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ, අපි එරෙහි වෙන්න ඕන බාලඅපචාරයන්ට මිසක්, සමරිසි අයට හෝ විසමරිසි අයට නෙවෙයි කියන එක. මේක ඇත්තටම සමලිංගික නැඹුරුතාවයන් තියෙන අය සම්බන්ධයෙන් තියෙන එක ස්ටීරියෝටයිප් එකක්. මෙන්න මේ ස්ටීරියෝටයිප් ගැන තාර්කිකව හිතලා අතඇර ගන්න පුළුවන් වුණොත්, හෝ​මොෆෝබියාවෙන් මිදෙන්නත් ඒක උදවුවක් වෙයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here