සනත් නිශාන්තගේ රිය අනතුර ගැන පොලිස් ප්‍රවීනයෙකුගේ සටහනක්… – Sri News

0
10


මේ මොහොතේ මියගිය සනත් නිශාන්ත පාර්ලිමේන්තු මංත්‍රීවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයන්හී පැතිරෙමින් ඇත.ඒ අතරින් ඔහු ඉරාජ් වීරරත්න සමඟ කරන වීඩියෝවකදී පවසන්නේ තමන්ට හෝ මහින්ද රාජපක්ෂට කිසිවෙකු හෝ අත තිබ්බේනම් 50 ක් හෝ සියයක් තමන් සතුව ඇති බලපත්‍ර සහිත පිස්තෝල දෙකෙන් වෙඩි තබා ඝාතනය කරන බව හැඟවෙන කතාවකි.

ලෝකයේ පරමාදර්ශි දේශපාලකයන්ගේ චරිත අධ්‍යයනයේදී අපට හමුවන්නේ පක්ෂ – විපක්ෂ ලෙස නොබෙදී,සමස්ත පුරවැසියන්ට ආදරය කරන සහ ගරු කරන චරිතය.ජනතා පරමාධිපත්‍යයට අවනතව බලය රකින හෝ බලයෙන් ඉවත්වන චරිතය.නමුත් සනත් නිශාන්ත පවසන්නේ ජනතා නැගී සිටීමකදී ඊට අවනත වීම ගැන නොව, බලයේ රැදී සිටීම සහ ඒ රැදී සිටීම වෙනුවෙන් ඝාතනය කිරීම ද සාධාරණීයකරණය කරන බවය.

ඒ දේශපාලනය සනත් නිශාන්තට සීමා නොවුණු,ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දේශපාලකයාගේ ව්‍යවහාරය ලෙස ගත හැකි අවස්ථා කොතෙකුත් සොයා ගැනීම අපහසු නැත. එවැනි තත්ත්වයක ඒ හැඩේට ගැලපෙන අයෙකු තමන්ගේ සඟයන් කර ගැනීම මිස වගකීම් පැවරීමේදී වෘත්තීයභාවය සැළකීම දේශපාලකයාගේ ස්වභාවය නොවන බව ද තේරුම් ගැනීමට හැකියාව ඇත.ඊට උදාහරණ ලෙස පවුලේ සාමාජිකයන්ගේ සියලුම වෘත්තීන් පුරවා ඒවාට වැටුප් ලබා ගන්නා පවුල් දේශපාලන ගස් අප තොතෙකුත් දැක ඇත.

පහත ලිපියෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තබන සටහනේ, මෙවැනි අනතුරු සඳහා බලපාන තාක්ෂණික කාරණ ඇතුළත ඉතා සියුම් ලෙස රියැදුරු සමීපතමයෙක් වීම මිස වෘත්තීමය වශයෙන් නොසළකා හැරීම ගැන ද යම් ඉඟියක් මතු වන්නට ඉඩ හැර ඇත.මේවා ඉතා දැඩිව අවධානය යොමු කළ යුතු රිය ධාවනයේදී මෙන්ම,පෞද්ගලිකව රියදුරුන් තෝරා ගැනීමේදී ද වැදගත් කාරණාවන් විය හැකි බැවින්,ඔහුගේ අවසරය ඇතුළු මෙහි පළ කරන්නට තීරණය කළෙමු.පහතින් දක්වා ඇත්තේ ඔහු තැබූ සටහනයි.

රියදුරැ විඩාව ((Driving Fatigue ) සහ මාරක රිය අනතුරැ – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – ප්‍රියන්ත ජයකොඩි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මුහුණ දුන් බිහිසුණු මාරක රිය අනතුරු සම්බන්ධව විවිධ අය විවිධ ප්‍රකාශ නිකුත් කරනු ලබනවා.මෙම රිය අනතුරට හේතු වූ කරුණු අතර තාක්ෂණික කරුණු මෙන්ම මානව දුර්වලතාවයන්ද ඇති බවයි මට නම් හැඟෙන්නේ.


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන (Inter change stations) හැර අනික් සියලුම ප්‍රදේශ දැඩි අඳුරක පැවතීම මෙම අනතුරට මුල්වු එක් තාක්ෂණික හේතුවක් හැටියටයි මා දකින්නේ.මේ දැඩි අඳුර හේතුවෙන් ඉදිරියෙන් යන වාහනයක් හරියාකාරව දැකීමට බොහෝ රියදුරන්ගේ දර්ශන පරාසය (Driving visinity) අපොහොසත් වීම හේතුවෙන් අනතුරු සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩියි. විශේෂයෙන්ම කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක සහ ජාඇල අතරත් ජාඇල සහ කෙරවලපිටිය අතරත් මාර්ගයේ දෙපස ඇති කලපුව සහ වගුරු බිම් මාර්ගයේ මෙම අඳුරු ස්වභාවය වඩාත් තිවුර කිරීමට සමත් වනවා.විදුලි අර්බුදය පැවති වකවානුවේ මෙම අධිවේගී මාර්ගයේ සවිකර තිබූ විදුලි පහන් කනු සම්බන්ධ කිරීමට යොදා තිබූ වටිනා තඹ කේබලය සංවිධානාත්මක පිරිසක් විසින් සොරකම් කරගෙන යාම මෙයට ප්‍රධාන හේතුවක් හැටියටයි වාර්තා වෙන්නේ. වේග සීමා ඉක්මවා විශේෂයෙන්ම රාත්‍රී කාලයේ රියදුරන් අධික වේගයෙන් වාහනය පැදවීම සහ එම වේගයට සරිලන ලෙස වාහන පාලනය රියදුරා අතින් ගිලිහී යාම මෙවැනි අනතුරුවලට මුල්වන තවත් හේතුවක්. විශේෂයෙන්ම ප්‍රභූ රථ මෙරට පවත්නා වේග සීමාවන් කිසිවක් තඹ සතයකට මායිම් නොකරන අතර එවැනි රථවාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය සමත් වන්නේත් නැහැ ඉහතින් සඳහන් කළ කරුණු මෙම මාර්ක රිය අනතුරට මුල් වූ ප්‍රධානම තාක්ෂණික කරුණු හැටියට සලකන්න පුළුවන්.

දැන් අපි බලමු මෙම අනතුර සිදුවීමට මුල් විය හැකි මානව දුර්වලතා මොනවද කියලා
අමාත්‍යවරයා ගමන් ගත් වාහනය පැදවූ රියදුරාගේ අනතුරු සිදුවූ දිනයේ උදෑසන සිට මෙම අනතුර සිදුවන වේලාව දක්වා අඛණ්ඩව සේවයේ යෙදීම මෙම තත්වය ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැකියි. මෙම රියැදුර අමාත්‍යවරයාගේ ගම් ප්‍රදේශයේම පදිංචි පෞද්ගලික රියදුරුවෙකු හැටියටයි සැලකෙන්නේ. මේ හේතුවෙන් විශේෂයෙන්ම දේශපාලනඥයකින් මෙවැනි රියදුරන් තමන්ගේ සියලුම පෞද්ගලික ගමන් සඳහා යොදා ගැනීම ස්වභාවික තත්ත්වයක්. විශේෂයෙන් මෙම රියදුරා මුළු දවස පුරාම අමාත්‍යවරයා සමග වාහනය පදවා ලැබී ඇති තොරතුරු වලට අනුව මෙදින රාත්‍රී කාලයේ කොළඹ සිට කුරුණෑගලට ගමන් කර කරුණෑගල සිට හලාවතට පැමිණ හලාවත සහ කොළඹ අතර ඉතා වැඩි දුරක් එක එල්ලේ මෙම වාහනය පැදවීම සිදුකර ඇති බව හෙළිවී තිබෙනවා. මෙවැනි දීර්ඝ වාහන පැදවීම්වලදී ඇතිවන තෙහෙට්ටුව “Driving Fatigue” ලෙසයි හඳුන්වන්නේ.මෙම තෙහෙට්ටුව ඇතිවීමත් සමගම ඉතා ක්ෂණිකව ඉතා සුළු විරාමයක ඇස් පියවීම සිදුවනවා.බොහෝවිට වාහනය තුළ රියදුරා පමණක් ගමන් කිරීම හෝ වාහනයේ ගමන් ගන්නා අනෙක් මගින් නින්දට වැටීම මෙම තත්ත්වය වඩාත් උග්‍ර කිරීමට සමත් වෙනවා. වාහන පැදවීමේ තෙහෙට්ටුව ඇතිවූ විට බොහෝ රියදුරන් එම තෙහෙට්ටුව සමඟ මානසිකව තර්ක කරමින් හැකි තරම් දුරට වාහනය පැදවීමට උත්සාහ කරනවා.මෙම කාරණය මුල් කොට සිදුවෙන බොහෝ අනතුරු එම වාහන දීර්ඝ ගමනාන්තයක් ආසන්නයේ සිදුවීම ස්වභාවික කරුණක් මෙයට හේතුව වන්නේ රියදුරැ මනස දෙන පණිවිඩයට සිරුර අවනත නොකර හැකි තරම් දුරට වාහනය පැදවීමට උත්සාහ කිරීමයි.මෙම මාරක රිය අනතුර සිදුවී ඇති ස්ථානය සලකා බැලීමේදී රියැදුරාට තව කිලෝමීටර් දෙකක් ඉදිරියට යන්න පුළුවන් වුණා නම් ඔහු බොහෝවිට සිය ගමන අවසන් කරන්නේ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවන ස්ථානයෙන්. එම විරාමය ඔහුට කොළඹට නිරුපදිතව වාහනය පැදවීමට හොඳ උත්තේජනයක් වෙනවා. මධ්‍යම රාත්‍රිය සහ අලුයම අතර සිදුවන රිය අනතුරුවලට බොහෝමයක් හේතුව හැටියට දකින්නේ මෙම අධික තෙහෙට්ටුව සහ හදිස්සියේම ඉතාත් සුළු විරාමයක් තුළ සිදුවන Black out එකක් වෙනව එම විරාමය හොඳටම ඇති අනතුරක් සිදුවෙන්න .මෙම අනතුරු සිදුවී ඇති ප්‍රදේශයන් නිරීක්ෂණය කිරීමේදී බොහෝදුරට මෙම අනතුරු ගමනාන්තය ආසන්නයේ සිදුවන බව සුලභ කරුණක්.බොහෝ අවස්ථාවලට රියදුරට නිදිමත ඇතිවූ විට ඔහු සිය මනස සමග තර්ක කරමින් නිදිමත පලවා හැරීමට උත්සාහ කරන අතර ඔහු සෑම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දුරට වාහනය ධාවනය කර මෙම නිදිමත පහ කර හැරීමටයි.මෙවැනි අවස්ථාවල සිදුවන මාරක රිය අනතුරු අධ්‍යයනය කිරීමේදී අපට පැහැදිලි වන ප්‍රධාන කරුණක් තමයි ඒ අනතුරු බොහොමයක් දීර්ඝ ගමනක අවසානය ආසන්නයේ සිදුවීම මෙම රිය අනතුරටත් ඒ තත්ත්වය පොදු සාධකයක් ලෙසයි මා දකින්නේ .ලෝකයේ සිදුවන රිය අනතුරු වලින් සියයට විස්සක් රියදුරැ විඩාව හේතුවෙන් සිදුවන බවත් සිදුවන මාරක රිය අනතුරුවලින් සියයට පනහකට හේතුව වී ඇත්තේ මෙම අධික වෙහෙස සහ නිදිමත බවත් හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම රියැදුරු විඩාව ඇති වූ විට රියදුරුගේ ස්වාභාවික ප්‍රතික්‍රියා දැක්වීමේ කාලය අඩුවීම සිදුවනවා මෙය Slowing reaction speed හැටියටයි හැඳින්වෙන්නේ. මෙම සිදුයීම අධිවේගී මාර්ගවල වාහන ඉස්සර කිරීමේදී සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුවක් වනවා.ඔබ ගමන් ගන්නා වාහනයේ රියදුරුගේ ප්‍රතික්‍රියා දැක්වීමේ කාලය අඩුවන බව ඔබට හැඟී ගියහොත් වහාම වාහනය නවතා ඔහුව රියදුරු අසුනින් ඉවත් කිරීමට කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍යය.

රිය ධාවනය කිරීමේදී රියැදුරන් වෙත ඇතිවන අධික තෙහෙට්ටුව ඇති වූ වහාම රිය ධාවනය නවතා වෙනත් අයෙකුට සුක්කානම භාරදීම හෝ එසේ කළ නොහැකි නම් වාහනය මාර්ගයේ සුදුසු ස්ථානයක නවතා සුළු වේලාවක් කෙටි නින්දක් ලබා තෙහට්ටුව පහකර හැරීම තමයි මෙවැනි අනතුරුවලින් වැළැක්වීමට සිදු කළ හැකි හොඳම උපක්‍රමය ලෙස මා දකින්නේ, මෙතරම් රථ වාහන නොතිබුණු මාර්ග තත්ත්වයන්ද ඉතා දුර්වල පැවති 50,60,70 දශකයන් තුල කොළඹ කේන්ද්‍ර කොට විහිදුණු සියලුම ප්‍රධාන මාර්ගයන් අසල ඒ ඒ ප්‍රදේශයන්ට අනන්‍ය වූ දෙවි දේවතාවුන් සඳහා වෙන් වුණු දේවාල පවත්වාගෙන යාම මෙම වාහන එලවීමේ දී ඇතිවන තෙහෙට්ටුව පහකර හැරීමට සිදුකර ඇති උපක්‍රමයක් ලෙසයි හැඟෙන්නේ.

විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල ගමන් ගන්නා රියදුරන් මෙම දේවාල අසල නවතා වැඳුම් පිදුම් කර ඒ අසලම ඇති කඩයකින් තේ කෝප්පයක් පානය කර හෝ බුලත් විටක් හපා නැවත මානසිකව මෙන්ම ශාරීරිකව ද ප්‍රකෘතිමත්වී සිය ගමනේ යෙදීම තුළින් නිදිමත සහ විඩාව හේතුවෙන් ඇතිවන බොහෝ අනතුරු වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.දැනට වසර කීපයකට ප්‍රථම මන්නාරම සහ මැදවච්චිය අතර ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරු වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා ප්‍රදේශයේ ජනතාවගේ සහය ඇතිව රාත්‍රී කාලයට රියදුරන් සඳහා අනිවාර්ය තේ දන්සැලක් පවත්වාගෙන යාම මෙම කලාපය තුළ සිදුවූ රිය අනතුරු බොහොමයක් වළක්වා ගැනීමට හැකි වූ බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

සිදුවීම් සිදුවන්නේ ප්‍රීතිවීමටත් හඩා වැටීමටත් නොව ඒ සම්බන්ධයෙන් පාඩම් උගෙන ගැනීමට බව අප අමතක කළ යුතු නැහැ. එබැවින් රිය පැදවීමේදී ඇතිවන “රියදුරු විඩාව” (Driving Fatigue ) සම්බන්ධව වඩාත් දැනුවත්ව රිය ධාවනයේ යෙදෙන රියදුරන් ඒ සම්බන්ධව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here