සදහටම දුකින් නිදහස් වන්නට…

0
3


Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ස්පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ. ස්පර්ශය කියලා කිව්වේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවීමයි. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීමයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවීමයි. අපට මේ වෙලාවේ ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ඇති වෙවී තියෙන්නේ. එතකොට විඳීම ඇතිවෙනවා. එතකොට ආශාව ඇතිවෙනවා.

මෙතැනදී අපි ස්පර්ශය පාවිච්චි කරන්නේ අවබෝධයක් පිණිසයි. එතකොට මෙතැනදි අපි හරි වීරියක් ගන්න ඕන. සිහිය යොමු කරන්න ඕන. කල්පනාව යොමු කරන්න ඕන. හිතන්න ඕන. මේ හැකියා අපට උපතත් සමඟ ලැබුණු වාසි. අපි ඒ දේවල් ප‍්‍රයෝජනයට ගන්න ඕන.
ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්පර්ශයට හේතුව මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස නැමැති ආයතන හයයි කියලා. මනුස්සයෙකුගේ ඇස මැරෙන කොට, තුවාල වෙනකොට මිනිස්සු කියනවා ‘අනේ… මට මේ වගේ ඇසක් නම් එපා!’ කියලා. කණේ ප‍්‍රශ්නයක් එනකොට මිනිස්සු ‘අනේ… මේ වගේ කණක් නම් එපා!’ කියලා කියනවා. ඇඟේ ලෙඩ එනකොට ‘අනේ මට මේ වගේ ශරීර නම් එපා!’ කියලා කියනවා.

හැබැයි, එයා හැමතිස්සේම හිතෙන් මිදෙන්න බැරුව ඉන්නවා. එයා හැමතිස්සේම හිත ‘මම’ කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඇසටත් වසඟවෙලා ඉන්නවා. කණටත් වසඟවෙලා ඉන්නවා. නාසයටත් වසඟවෙලා ඉන්නවා. දිවටත් වසඟවෙලා ඉන්නවා. කයටත් වසඟවෙලා ඉන්නවා. මනසටත් වසඟවෙලා ඉන්නවා.

මේ විදිහට අප තුළ ස්පර්ශය ඇතිවෙනවා. වේදනාව ඇතිවෙනවා. තණ්හාව ඇතිවෙනවා. උපාදාන ඇතිවෙනවා. භවය ඇතිවෙනවා. ජාති, ජරා, මරණ ඇතිවෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ “මේක අවබෝධ කරන්න” කියලා වදාළේ.

මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස වයසට යන්නේ, මැරෙන්නේ අනිත්‍ය නිසානේ. අපට අවබෝධ නොවුණෙත් මේ අනිත්‍යයයි කියන එකමයි. මේවා ‘මගේ නොවේ, මට අයිති නෑ’ කියන එකයි අපට අවබෝධ නොවුණේ. ඒ නිසා අර වින්දනය ඇතිවෙලා තණ්හාව ඇතිවෙන කොට (වින්දනය හටගන්නේ ඇසේ ස්පර්ශයෙන්. වින්දනය නිසා තණ්හාව, ආශාව ඇතිවෙලා ඒක සතුටින් පිළිගන්න කොට) මේකෙ පැවැත්ම ඕන වුණා.

මේ නිසයි මනුස්සයාට, දෙවියන්ට මේ ‘නිවන’ කියන වචනය තේරුම් ගන්න අමාරු. ‘ඉපදීමෙන් නිදහස් වෙනවා’ කියන එක තේරුම් ගන්න අමාරු. කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘හරි වැඬේනේ. එතකොට නිවන් දැක්කොත් ඇහැක් කෝ? නිවන් දැක්කොත් කණක් කෝ? නාසයක්, දිවක්, කයක්, මනසක් කෝ?’ කියලා භයක් ඇතිවෙනවා. මොකද, මේක අනිත්‍යයයි කියලා දන්නේ නෑනේ. භයක් ඇතිවුණාම එයා කියන්නේ ‘නෑ… නෑ… නෑ… දැන්ම නිවන් දකින්න අපි කලබල වෙන්න ඕන නෑ’ කියලයි. ඒ අය හිතාගෙන ඉන්නේ ඊයෙ පෙරේදා ඉපදිලා කියලා. සංසාරේ පටන්ගෙන තියෙන්නේ මේ ආත්මයෙන් කියලයි හිතාගෙන ඉන්නේ. “දැන්ම නිවන් දකින්න කලබල වෙන්න ඕන නෑ. අපි හිමීට හිමීට යං” කියනවා. ඒ භය නැතුව යන්නේ මේ හේතුඵල දහම අවබෝධ වීමෙන් පමණයි.

නමුත් ආත්ම දෘෂ්ටියෙන් බලද්දී කාට වුණත් භය හිතෙනවා. සක්කාය දිට්ඨියෙන් බලද්දී හිතෙන්නේම ‘මගේ පැවැත්ම’ කියලයි. නමුත් හේතුඵල වශයෙන් බලද්දී ‘මේ තුළ මමය, මාගේය කියලා ගන්න දෙයක් නෑ. මේකේ තියෙන්නේ හේතුඵල දහමක්’ කියලා අවබෝධයක් ඇතිවෙනවා. එතකොට එයා ඒකෙන් නිදහස් වෙන්න කැමැති වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන මේ හයම අපට ලැබුණේ නාමරූප වලින් කියලයි. ඒ කියන්නේ මව්කුසක විඤ්ඤාණයක් පහළ වෙන්න කරුණු තුනක් ඕන. ඒ තමයි, මව් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් ඉන්න ඕන. ඊළඟට තාත්තා කෙනෙකුයි, අම්මා කෙනෙකුයි එකතු වෙන්න ඕන. (මව්පියන් එකතුවෙන්න ඕන. එතකොට උපතක් සඳහා භෞතික පරිසරය තියෙනවා) ගන්ධබ්බයෙකුගේ පැමිණීමත් ඕන. එතකොට මව්කුසේ ඒ විඤ්ඤාණය පිහිටනවා.

මව්කුසේ ඒ විඤ්ඤාණය පිහිටන්නේ මව්කුසේ සකස් වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස ධාතු වලින් සැදි පරිසරය තුළයි. ඒ පරිසරය තුළ තමයි අර විඤ්ඤාණය පිහිටන්නේ. ඊට පස්සේ විඤ්ඤාණය මුල්කරගෙන රූපය වැඩෙනවා. ස්පර්ශයට වුවමනා කාරණය වැඩෙනවා. වින්දනයට වුවමනා කාරණය වැඩෙනවා. සඤ්ඤාවට වුවමනා කරන දේ වැඩෙනවා. චේතනාවන් සකස් වෙන්න වුවමනා දේ වැඩෙනවා. නාමරූප හැදෙනවා.

මව්කුසේදී ඒ නාමරූපවලින් තමයි ටික ටික ඇහැ හැදෙන්නේ. කණ් දෙකක් හැදෙනවා. නාසයක් හැදෙනවා. පොඩි ඇට සැකිල්ලක් හැදෙනවා. ඇඟක් හැදෙනවා. මනසක් හැදෙනවා. ඔන්න ඉතින් උපදිනවා. නාමරූපවලින් තමයි මේ ආයතන හය හැදෙන්නේ.

දැන් අපි පාවිච්චි කරන මේ ඇස් දෙක එහෙම හැදුණ ඇස් දෙකක් නෙවෙයිද? අපේ කණ් දෙකත් නාමරූපවලින් හටගත්ත කණ් දෙකක්. නාසයත් නාමරූප වලින් හටගත්ත නාසයක්. දිවත් නාමරූපවලින් හටගත්ත එකක්. ශරීරයත් නාමරූපවලින් හටගත්ත එකක්. මනසත් නාමරූපවලින් හටගත්ත එකක්. නාමරූප නිසා තමයි මේ ආයතන හය හැදුණේ කියලා අපි අවබෝධ කරගන්න ඕන. හැබැයි විඤ්ඤාණයක් නැත්නම් නාමරූප හැදෙන්නේ නෑ. විඤ්ඤාණය තිබුණ නිසා තමයි නාමරූප හැදුණේ. අපි මෙතැනින් මැරෙන කොට විඤ්ඤාණය චුතවෙනවා. එතකොට නාමරූප තිබුණොත් තමයි විඤ්ඤාණය වැඩෙන්නේ.

මතකද මං ඔබට කලින් විඤ්ඤාණයට උපමාවක් කිව්වා, විඤ්ඤාණය බීජයක් වගේ කියලා. ඒ බීජය මුල් අදින්නේ පෘථිවි සාරය ගන්නයි. පෘථිවි සාරය ගන්නේ කොළ අතු ලියලා ගන්නයි. මේ වගේ තමයි මේ විඤ්ඤාණය නිසා නාමරූප. නාමරූප නිසා විඤ්ඤාණය. මේවා හැදි හැදී තමයි ආයතන හයක් හැදෙන්නේ.

ඉතින් ඊට පස්සේ ඔන්න අපි උපන්නා. දැන් කය හා බැඳුණු සංස්කාර තියෙනවා. කාය සංස්කාර. ඒ වගේම වචන කතා කරන්න හිත ඇතුළේ වචී සංස්කාර හැදෙනවා. සිත පවතින්න ඕන දේ දැන් හදාගෙන තියෙනවා. ඒ තමයි, සඤ්ඤා වේදනා. මේ ඔක්කෝගේම පදනම දුකක පැවැත්මක් කියලා අපි දන්නේ නෑ. ඒ තමයි අවිද්‍යාව.

මේ දුක පවත්වන්න තණ්හා සහගත ක‍්‍රියාකාරීත්වයක් හේතුවෙලා තියෙනවා. ඒ ගැන අපි දන්නේ නෑ. ඒ අවිද්‍යාව. මේ තණ්හා සහගත ක‍්‍රියාකාරීත්වයෙන් නිදහස් වුණොත් දුකෙන් නිදහස්. ඒක දන්නෙත් නෑ. ඒත් අවිද්‍යාව. මේ සඳහා තිබෙන්නේ තමන්ගේම කුසලතා අවබෝධයෙන් මෙහෙයවා ගැනීම, සිහිය දියුණු කිරීම, ඉන්ද්‍රිය සංවරය, වීරිය, නුවණ, සමාධිය කියලා දන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ කරා යන්න අපට වුවමනා වෙන්නේ කියලා දන්නේ නෑ. ඒකට කියන්නෙත් අවිද්‍යාව.

ඒ නොදන්නාකම අනිත් නොදන්නාකම්වලට වඩා බරපතල එකක්. හේතුව තමයි, මනුස්සයෙකුට ඕන නම් දෙවියෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අවිද්‍යාව ප‍්‍රහාණය කරන්න දන්නේ නෑ.

කොච්චර නොදන්නවාද කියන්නේ බුද්ධ කාලේ නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් විමුක්තියක් හොයා ගන්න ඕන කිය කියා භාවනා කර කර ඉඳලා සමහරු ගිහිල්ලා බඹලොව උපදිනවා. හැබැයි බඹලොව උපන්නත් චතුරාර්ය සත්‍යය දන්නේ නෑ. දෙවියන් අතරත් උපදින්න පුළුවන්. ඒත් චතුරාර්ය සත්‍යය දන්නේ නෑ.

දැන් අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ලෝකයේ මිනිස්සු වෙලා ඉන්නේ අපි ටික විතරක් නෙවෙයිනේ, කෝටි ගාණක් ඉන්නවානේ. මේ කෝටි සංඛ්‍යාත මනුස්ස ප‍්‍රජාව ඉන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා නෙවෙයිනේ. මේ ඔක්කෝම ඉන්නේ අවිද්‍යාව තුළයි. අවිද්‍යාව තුළ ජීවත් වෙන සත්වයන් අවිද්‍යා සහගතව ‘මමය, මාගේය, මාගේ ආත්මයෙන් යුක්තයි’ කියන හැඟීමෙන් වෙලී ආශ්වාස, ප‍්‍රශ්වාස කරද්දී කාය සංස්කාර සකස් වෙනවා. කතා කරද්දී විතක්ක, විචාර (වචී සංස්කාර) සකස් වෙනවා. හඳුනාගනිද්දී, විඳිද්දී හිත හා බැඳුණ සංස්කාර (චිත්ත සංස්කාර) සකස් වෙනවා.

මේ ක‍්‍රියාකාරීත්වය තුළ විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. නාමරූපයන්ගේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ආයතන හයේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ස්පර්ශයේ කි‍්‍රයාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. විඳීම හටගැනීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. විඳීම හටගන්න කොට ආශාව තිබීම නිරන්තරයෙන්ම හටගන්නවා. ආශා කරන දේට හිරවීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ඊට පස්සේ චේතනාව නැමැති මැෂින් එක නිරන්තරයෙන්ම වැඩකරනවා. උපත කරා යන්න විඤ්ඤාණය හැදීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා.

මේක පාලනය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉස්සෙල්ලාම ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන හය පාලනය කරන්න කිව්වා. දැන් ටීවී එක බැලූවත් අවුස්සනවා. රේඩියෝ එක ඇහුවත් අවුස්සනවා. පත්තරයක් බැලූවත් අවුස්සනවා. කඩයකට ගියත් අවුස්සනවා. ඒ නිසා මේක පාලනය කරන්න කිව්වා. මේක පාලනය කරලා අකුසල් විපාක ලබලා දෙන දෙයින් වළකින්න කිව්වා.

ඊට පස්සේ සීලයෙන් කය වචනය සංවර කරන්න කිව්වා. වීරියෙන් යුතුව සිහිය දියුණු කරගන්න කිව්වා. වීරියෙන් යුක්තව සිහිය දියුණු කරන කොට අර අවුල් ගතියෙන් කාමයට අහුවුණ සිත ඒකෙන් මිදිලා සමාධිගත වෙනවා. වීරියෙන් යුක්තව සිහිය දියුණු කරන කොට කාමය අත්හරිනවා. කාමය සම්බන්ධ ඇස, කණ, නාසය, දිව, කය එක්කයි. දැන් මෙයා ඉන්ද්‍රිය සංවර කරනවා. ඉන්ද්‍රිය සංවර කරන කොට වැටකඩොළු බැඳෙන්නේ කාමයටයි.

ඊට පස්සේ මෙයා වීරිය කරනවා. අකුසල් හටගන්න කොට දුරුකරන්න, කුසල් උපදවා ගන්න මහන්සි ගන්නවා. අලූතෙන් අකුසල් උපද්දවන්නේ නැතුව ඉන්න මහන්සි ගන්නවා. මෙහෙම ඉඳලා සිහිය දියුණු කිරීම පිණිස එක්කෝ ආනාපානසති, එක්කෝ ධාතුමනසිකාර, එක්කෝ බුද්ධානුස්සති, එක්කෝ මෛත‍්‍රිය වඩනවා. ඒ වගේම එයා ඉන්ද්‍රිය සංවර කරගෙන අනිත්‍ය ආයතන භාවනා වගේ එකකට යොමුවෙනවා.

මේක වීරියෙන් කරනකොට, කරනකොට සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙනකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී අංග දියුණු වෙනවා. අන්න කාමයන්ගෙන් පනින්න පුළුවන් ආකාරයට, දෘෂ්ටි ලිහන්න පුළුවන් ආකාරයට, සීලබ්බත පරාමාස ලිහෙන ආකාරයට, ආත්මවාදයෙන් නිදහස් වෙන්න පුළුවන් ආකාරයට මනස තැන්පත් වෙනවා. අන්න සම්මා සමාධිය.

මේ සමාධිය තුළ මෙයා විමස විමසා බලන්නේ මේ පටිච්ච සමුප්පාදය විස්තර කරන මේ රටාව ගැනයි. ආයතන හයෙන් අරමුණු ගන්නවා, විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ කරකර වැඩකරනවා. මේ එකක් එකක් ගානේ මේවා නිත්‍යද, අනිත්‍යද කියලා විමසනවා. දැන් කලබලයක් නැතුව විමසගන්න පුළුවන්. දැන් මෙයාගේ හිත කලබල නෑ. තැන්පත්. අන්න හිත දමනය කළා. හිත තැන්පත් කළා. ඔන්න සම්මා සමාධියත් ඇතිකරගත්තා.

ඊට පස්සේ මෙයා සම්මා සමාධිය තුළ පටිච්ච සමුප්පාදය හොඳට විමසා බලනවා. එතකොට මෙයාට පටිච්චසමුප්පාදයේ තියෙන ලක්ෂණය මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලක්ෂණය තමයි හේතූන් නිසා ඵල හටගන්නවා. හේතු නැතිවෙන කොට ඵලය නැතිවෙනවා. මේක ධර්මතාවයක්. මේක ‘මම’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක ‘මගේ’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක ‘මගේ ආත්මය’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මෙතැන තියෙන්නේ හේතූන් නිසා හටගන්නා යමක් ඇද්ද, හේතු නැතිවීමෙන් එය නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මතාවයයි. මේක අවබෝධ කරගත්තා නම්, ඊට පස්සේ එයා එතැන ඉඳලා උපත කරා යන්න හේතු වුණ දේ බලනවා.

එතකොට කවුරුහරි කියනවා නම් ‘මරණින් මත්තේ උපතක් නැත’ කියලා ඒක බොරු බව මෙයාට පේනවා. ඒකට හේතුව තමයි, මේ රටාව තමන් තුළින්ම දැකීම. එතකොට ‘මරණින් මත්තේ සදාකාලික වෙනවා, දෙවියන් දඬුවම් දීලා සදාකාලික නිරයට ඇදලා දානවා, දෙවියෝ තෑග්ගක් දීලා සදාකාලික ස්වර්ගයට යවනවා’ කියන මේ සියලූ මත ඇත්ත නෙවෙයි කියලා එයා දැනගන්නවා.

මේ පටිච්ච සමුප්පාදය තේරුම්ගත්තු ගමන් එයා දෘෂ්ටි උපාදානයෙන් නිදහස්. එතකොට මෙතැන හේතුඵල දහමක ක‍්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා තේරුම් ගත්ත ගමන් සීලබ්බත උපාදානයන්ගෙන් නිදහස් වෙනවා. මෙතැන තියෙන්නේ හේතුඵල දහමක පැවැත්මක් කියලා තේරුම් ගත් ගමන් සක්කාය දිට්ඨියෙන් නිදහස්.

මෙන්න මේ කාරණාවට යන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. එතකොට පින්වත්නි, අපට මේ විදිහට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපි සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඒ පටිච්ච සමුප්පාදය තුළ ඉගැන්වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා. නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා. ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ආශාව ඇතිවෙනවා. ආශාව නිසා ඒකට කොටුවෙනවා, හිරවෙනවා. ඒකට අහුවෙන නිසා චේතනා පහළ කරකර කර්ම රැස්වෙනවා. ඒ නිසා උපදිනවා. උපදින නිසා ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් සියල්ල හටගන්නවා.

පසුගිය දවස්වල අර බැංකු මංකොල්ලයේදී මිනිස්සුන්ගේ සල්ලි අරගෙන පැනලා ගියානේ. දැන් බලන්න, ඒ මිනිස්සු දැන් ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ සිහිනය බලාගෙන ඉඳිද්දී බිඳ වැටුණා. පවුල් හාරදාහක්, පන්දාහක් මේකට අහුවෙලා. එතකොට බලන්න, මනුස්සයෝ මොනතරම් දුක් විඳින්න ඕනද? හොරුන්ට අහුවෙලා දුක්විඳින්න ඕන. ගංවතුරට අහුවෙලා දුක්විඳින්න ඕන.

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සමහර තැන්වල වතුර ගලාගෙන යනවා. ඒත් බොන්න බෑ. බොන්න වතුර නෑ. නමුත් වතුර ගලාගෙන යනවා. වතුර උඩ ඉන්නේ. බොන්න වතුර නෑ. නාන්න නෑ. දවස් දහයේ, දොළහේ ඉන්නවා. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා කෑම දාන්නවත් විදිහක් නෑ. කෑම වතුරට වැටෙනවනේ. දවස් දහයේ, දොළහේ බඩගින්නේ. දැන් විඳවනවනේ. වතුරෙන් විඳවනවා. හොරුන්ගෙන් විඳවනවා. යුද්ධවලට මැදිවෙලා විඳවනවා. ත‍්‍රස්තවාදී කෝලාහලවලට මැදිවෙලා විඳවනවා. නියඟයෙන් විඳවනවා. දුර්භික්ෂවලින් විඳවනවා. ලෙඩ දුක් පැතිර යාමෙන් විඳවනවා. හිතාගන්න බෑ. ඉපදීම නිසා මනුස්සයාට තිබෙන දේවල්.

ඒ නිසා පින්වත්නි, මේවා අපට උපදින්න සිද්ධ වෙනකම්ම, මුහුණ දෙන්න තියෙන දේවල්. ‘අනේ… මට නම් උපදින්න එපා!’ කිය කියා මැරුණත් උපදිනවා. මොකද, තමාගේ කැමැත්තට අනුව නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. හේතුඵල දහමකට අනුවයි.

ඒ නිසා අපි හැමතිස්සේම අවබෝධ කරන්න මහන්සිගන්න ඕන මේ හේතුඵල දහමමයි. ඉතින් මේ අවබෝධ කිරීමට අපි මහන්සි ගත්තොත් මං නම් හිතන්නේ අපේ ජීවිතයට ඊට වඩා දෙයක් වුවමනා නෑ….

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

The post සදහටම දුකින් නිදහස් වන්නට… appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here