සත්තුන්ගෙන් සංකේතවත් වන ලෝකයේ රටවල් – Sri News

0
2

රටක් ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු ටික විතරක් හිටියාම මදි. ඒ ඒ රටවල්වලට අනන්‍ය වෙච්චි සත්තු නිසාත් ඔය කියන ප්‍රසිද්ධිය ලැබෙනවා. සත්තු ගැන කතා කරෝතින් ඇත්තටම ඒ රටේ මේ සතා ඉන්නවද නැද්ද නැතිනම් සම්පූර්ණයෙන්ම කල්පිත සතෙක් ද කියන කතාව අදාළ වෙන්නේ නැහැ. සමහරවිට මේ සත්තු මේ රටට විතරක් ආවේණික නොවෙන්න වුණත් පුළුවන්. නමුත් සතාගේ නම කිව්වම මතක් වෙන්නේ ඒ රට. අන්න ඒ වගේ රටවල් කීපයක් ගැන දැන කියාගමු.

 

කිවි පක්ෂියා කියන්නේ නවසීලන්තයේ ජාතික පක්ෂියා. ඒ වගේම නවසීලන්තයේ නිල නොලත් ජාතික සංකේතය වශයෙනුත් පිළිගන්නවා. අලංකාර කුරුලු ලෝකයේ පුදුමාකාර කැත කුරුල්ලෙක් තමයි මේ. දැන් හැබැයි වඳවීමේ තර්ජනයට මුහුණ දීලා තමයි ඉන්නේ. ඒ නිසා නවසීලන්ත රජය මේ කුරුල්ලන් රැකගැනීමට පුදුමාකාර විදියට කැප වෙලා ඉන්නවා. හැඩය අතින් ගත්තොත් වූල් බෝලයක් වගෙයි. පියාඹන්න බැහැ. විවිධාකාරයේ කිවි පක්ෂි වර්ග ඉන්නවා. දුඹුරු සහ අළු වගේ වර්ණ පරාසයක තමයි මෙයාලාගේ පාට තියෙන්නේ.

 

වඳ වෙලා ගියත් රටක් ලෝකය හමුවේ තියපු නොම්මර එකේ කුරුළු රාජයෙක් තමයි ඩෝඩෝ පක්ෂියා. ඇත්තටම මේ කුරුල්ලා නොහිටින්න මේ දූපත ගැන අදටත් සංචාරක ආකර්ෂණයක් දිනාගන්න තරම් කතා බහක් ඇති වෙන්න තියන ඉඩකඩ අඩුයි. ඩෝඩෝ පක්ෂියාට වුණ වින්නැහිය සිද්ධ කරේ මිනිස් සම්පත තමයි. කාගෙන්වත් කරදරයක් නැතුව ෆුල් ආතල් එකේ අහිංසක විදියට හිටපු මේ කුරුල්ලන්ට හෙන ගෙඩියක් වගේ මිනිස්සු පාත් වෙන්න ගත්තා. ජීවත් වෙන පරිසරයේ භවභෝග කඩාවඩාගෙන ගියා. දඩයම් කරන්න ගත්තා. ඒ මදිවට නැව්වලින් වඳුරෝ, මීයෝ වගේ එපාකරපු සත්තු ගොඩබහින්න පටන් ගත්තා. උන් ඩෝඩෝ පැටවුන්ව ආහාරයට ගත්තා.

 

චීනය කියන නම ඇහුණ පමණින් තඩිම තඩි පැන්ඩෙක් සිහියට ආවොතින් ඒකෙ වැරැද්දක් නැහැ. චීනයට ආවේණික මේ හුරුබුහුටි සත්වයා ලෝක වන සත්ව අරමුදලේ ලාංඡනය බවටත් පත් වෙලා තියෙනවා. ජීවත් වෙන්නේ උණ කැලෑවල විතරයි මොකෝ ඉතින් කන්නේ එච්චරමනේ. චීනය තමන්ගේ ආදරණීය සත්වයා සුරකින්න මහා පරිමාණ විදියට වෙහෙසෙනවා. චීනෙට මේ සතා මොන තරම් වටිනවද කියන එක මනින්න පුළුවන් එක සංකල්පයක් තමයි “Panda Democracy” කියන්නේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අන් රටට පැන්ඩා කෙනෙක් ත්‍යාගයක් වශයෙන් දීමයි එතන දී සිදු කෙරෙන්නේ.

 

ඔස්ට්‍රේලියාවේ ජාතික සත්වයා තමයි කැන්ගරුවා. මේ සත්වයාගෙන් ඔස්ට්‍රේලියාව නිරූපණය වෙන ආකාර අපිට කිහිම ආකාරයකින්ම දැකගන්න පුළුවන්. එකක් තමයි කාසි සහ මුදල් නෝට්ටුවල සඳහන් වී තිබීම. අනෙක සංචාරක කර්මාන්තය හා සම්බන්ධ හැම අවස්ථාවකම කැන්ගරුවෙක් ගැන සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියාවේ නිල ලාංඡනයේ පවා කැන්ගරුවා ඉන්නවා. මේ රටේ රග්බි කණ්ඩායම ලොව පුරා ප්‍රසිද්ධ “Wallabies” විදියට. කැන්ගරු පවුලටම අයත් සත්ව විශේෂයක් විදියට වොලබි හඳුන්වන්න පුළුවන්.

 

Kaal චිත්‍රපටය බලපු අයට නම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ මේ ව්‍යාඝ්‍රයාගෙයි ඉන්දියාවයි අතර තියෙන සම්බන්ධෙ ගැන. ඉන්දියාව පසුබිම් කරගෙන ලියවුණ “Jungle Book” කෘතියේ ඉන්න කොල්ලත් එක්ක හෙට්ටු වෙන්නෙත් බෙන්ගාල ව්‍යාඝ්‍රයෙක්. බිළාල පවුලේ අනෙක් සාමාජිකයන් එක්ක බලද්දී අමුතුම ගාම්භීර ගතියක් බෙංගාල ව්‍යාඝ්‍රයාගේ තියනවා. ඒකම ඇති ඉතින් ඉන්දියාවේ ජාතික සත්වයා බවට පත්වෙන්න. හැබැයි ඉතින් මෙයත් පැවැත්ම සම්බන්ධයෙන් තර්ජනයට ලක්වෙලා ඉන්නේ. හේතු ගොඩක් තියෙනවා. කඩොලාන ආශ්‍රිත පරිසරවල ජීවත් වෙන සත්තුන්ට පාරිසරික වෙනස්කම් නිසා ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනෙක වාණිජමය අරමුණු සඳහා දඩයම් කෙරෙනවා. ඔක්කොටමත් වඩා අපේ රටේ තියෙන අලි මිනිස් ගැටුම වගේ එකක් එහෙත් තියෙනවා. කරදරයක් වේ ය කියන බියෙන් ව්‍යාඝ්‍රයාට අනතුරක් කරන්න තමයි වැසියන් බලන්නේ.

 

ජාතික සත්වයාව හොම්බෙන් යවන මේ වගේ තවත් රටක් ලෝකයේ තියේද දන්නේ නැහැ. ගවයා මේ රටේ ජාතික සත්වයා. ගව පොර සටන්වලට සෑහෙන විදියට ප්‍රසිද්ධියක් උසුලන්නෙත්  ස්පාඤ්ඤයමයි. සංස්කෘතියේ කොටසක් විදියට දැන් අනාදිමත් කාලයක පටන් මේක සිද්ධ වෙනවා. මේ නිසාම රටේ ජනතාව අදහස් අතින් කොටස් දෙකකට බෙදිලයි ඉන්නේ. සමහරු තමන්ගේ ජාතික සත්වයා භාවිත කරලා කරන මේ ක්‍රියාවට විරුද්ධයි. අනෙක් අය කියන්නේ ගවයා සහ මේ පොර නැතුව ස්පාඤ්ඤය කියන්නේ නිකන්ම නිකන් පුස්සක් පමණක් බවයි.

 

ගොඩක් අය හිතන් ඉන්නේ ඔටුවා මේ රටේ ජාතික සත්වයා කියලයි. හැබැයි එහෙම නෙවෙයි. ජාතික සත්වයා ඔරික්ස් කියන සත්වයා වෙච්චි. ඒ වුණත් එයාගේ තැනත් ගත්තු ඩයල් එක තමයි ඔටුවා. සමහරවිට ඒ අපි පුංචි කාලේ ඉඳන්ම අහපු කයිකතන්දර නිසා වෙන්න ඇති. අරාබිය කිව්වම අපට මතක් වෙන්නේ කාන්තාර. කාන්තාරයේ නැව ඔටුවා. චිත්‍රපටවල අරාබියේ මොකක් හරි දර්ශනයක් තිබ්බොතින් හෙම අනිවාර්යයෙන්ම ඔටුවෙක්ව කොහෙන් හරි ගෙනල්ලා පෙන්නනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here