සකුරා මල් පිපෙනකන් බලන් ඉඳපු ජපන්නුන්ට පිස්සු කියලා ඉස්සර මම හිනාවුණා

0
7


ඉස්සර මම හැමවෙලේම හැමදෙයක් ගැනම අඩුපාඩු හොයපු කෙනෙක්. ලස්සනයි කියන කිසිම දේක ලස්සනක් දකින්න මගේ ඇස්වලට පුළුවන්කමක් තිබ්බේ නෑ. ඇත්තටම හැඩට පිපුණු මලකවත් මහ ලොකු ලස්සනක් දැකපු කෙනෙක් නෙවෙයි මම. ජපානේ දැන් සකුරා මල් පිපෙන කාලේ. එකදිගට බලන් ඉන්න හිතෙන තරමට ඒවා හරිම ලස්සනයි. ඒත් ඉස්සර මට ඒවා ගැන ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. ජපන් මිනිස්සු සකුරා මල් පිපෙන කාලේ එනකන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නවා. ඒ දවස්වල මං හිතුවේ, මේ ජපන් මිනිස්සුන්ට පිස්සු, හැම අවුරුද්දෙම පුංචි දවස් ගාණකට පිපෙන මලක් වෙනුවෙන් නැහෙන්න හදනවා කියලා. ඒත් පස්සේ මම තේරුම් ගත්තා ප්‍රශ්නෙ තියෙන්නෙ සකුරා මල්වලවත්, ජපානෙ මිනිස්සුන්ගෙවත් නෙවෙයි කිසිම දේක ලස්සනක් දකින්න බැරි මගේ හිතේ කියලා. ඒක හදාගන්න ඕනෙ කියලත් මං තේරුම් ගත්තා. දැන් මම සීත කාලේ උපරිමෙන් විඳලා වසන්ත කාලේ පිපෙන මල්වල ලස්සන විඳින්න ආසාවෙන් බලන් ඉන්නවා. එහෙම බලන් ඉන්න එකත් දැන් මගේ හිතට ලොකු සතුටක් ගේනවා.

ඉතින්, හරි අසතුටෙන්, තරහෙන්, වේදනාවෙන් ඉඳපු මගේ ජීවිතේ වෙනස් වුණ විදිය ගැනයි මට අදත් ලියන්න හිතුණේ. ජපානෙට එන්න කලින් ලංකාවේ ඉද්දී මම හිතුවේ ජපානෙට ගියාම මම නිදහස් කියලා. හිතපු විදියටම දහම් මට ලොකු නිදහසක් දුන්නා. ඒත් ටික දවසකින් මට හැමදේකම හරි ඒකාකාරී බවක් දැනෙන්න ගත්තා. මොකක් හරි දෙයක් හින්දා ඒක ටිකකට මගහැරුණත් ආයෙ ආයෙමත් ඒ ඒකාකාරී බව මගේ ඔලුවම අවුල් කළා. මට එතැනින් හිත හදාගන්න තේරුණේම නෑ. කියලා තේරුම් කරන්න කෙනෙක් හිටියෙත් නෑ. ඇත්තටම මට එතැනින් එළියට එන්න උවමනාවක් තිබුණෙත් නෑ.

පස්සේ දරුවෝ ලැබුණාමත් හැමදේම දවස ගානේ අලුත් වෙනවා වගේ නෙවෙයි මට දැනුණේ ඒකාකාරී වෙනවා වගේ. දහම්ට මං හරියට බණිනවා ‘‘මට මේ ජීවිතේ එපාවෙලා. උදේට නැගිටිනවා, ගෙදර වැඩ කරනවා, උයනවා, දරුවෝ බලනවා, එළියට ගියත් ළමයි එක්ක තැන විතරයි වෙනස් වෙන්නෙ, ඔයාට එහෙමද? ඔයා මාසෙකට දෙතුන් වතාවක් බිස්නස් ට්‍රිප් යනවා, හොටෙල්ස්වල නවතිනවා, වෙනස් කෑම ජාති කනවා, අලුත් අය මුණගැහෙනවා මට වගේ ඒකාකාරී නෑ. මට දැන් ජීවිතේම තිත්තයි’’ වගේ දරුණු දේවල් කියලා බැන්නා. හැබැයි පිරිමියෙකුට කලාතුරකින් පිහිටන ඉවසීමක් සහ කොන්දේසි විරහිත ආදරයක් තිබුණු නිසාද මන්දා දහම් ඒ හැමදේම ඉවසුවා. පුළුවන් හැම විදියටම මට උදව් කරලා, වචනෙකින්වත් මට මොකුත් නොකිය හිටියා. ඔය කාලෙදිම තාත්තා නැති වුණාම මම තවත් අවුල් වුණා. ඊටපස්සෙ අපේ පවුල් ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඇතිවුණේ මගෙම වැරදි නිසා. මට හැමදේම ගැනම කළකිරුණා. හැබැයි මාව ආපහු අලුත් විදියට හිතන්න හුරුකළේ මගේ ජීවිතේ සිදුවුණ දේවල්ම කියලා දැන් මං දන්නවා.

දැන් හැම දවසකම ගෙවෙන විනාඩියට වඩා එළැඹෙන විනාඩිය මට අලුත්. දවස ගානේ ගෙවල් අස් කරන එක මට ඒකාකාරී නෑ කියලා දැනෙන්නෙ. ගෙදර අස් කරන විදියෙත් දවසින් දවස වෙනසක් මට තියෙනවා. අන්තර්ජාලයෙන් ලිපි කියවලා, යාළුවන්ගෙන් අහගෙන මං ගෙදර පුංචි පුංචි තැන් ලස්සන කරනවා. මල්වලට ලොකු ආසාවක් නැති මං දැන් හැම සුමානෙම මල් පොකුරක් ගේනවා. ගෙනත් මට ආස තැනකින් තියනවා. මේ පින්තූරේ තියන්නෙත් එහෙම යාළුවෙක්ගෙන් අහ​ගෙන Coffee Table එකට කරපු පොඩි සැරසිල්ලක්. මගේ මේ වෙනස දැකපු දහම් ඉඳලා හිටලා මට මල් පොකුරක් අරන් ඇවිත් මාව සතුටු කරනවා.

මං ආසම උයන්න, දවස ගානේ උයන එක මට දැන් ඒකාකාරී නෑ. ඒ මං දවස ගානේ උයන්නේ වෙනස් කෑම. පරිප්පු ගත්තොත් මං එක එක විදියට උයන්න දැන් දන්නවා. සුමානෙකට පාරක් අලුත් කෑමක් හදන්න උත්සාහ කරලා බලනවා. දවස ගානේ මට කොච්චර අලුත් වැඩ, සතුටු වෙන්න අලුත් කාරණා තියෙනවද කියලා හිතෙනවා විතරක් නෙවෙයි දැනෙනවා.

ජීවිතේ ඒකාකාරියි කියලා මගේ හිතට මම විසින්ම දාගෙන තිබුණු වැට මම විසින්ම කඩලා අයින් කරලා එතැනින් එළියට ආවා. ජීවිතේ දිහා ලස්සනට බලන්න පුරුදු වුණාම කොච්චර ලොකු වෙනසක් ජීවිතේ වෙනවද කියලා මං දැන් අත්දැකීමෙන් දන්නවා.

ඉතින් මට ජීවිතේ හැම දවසක්ම විශේෂයි. ඒකාකාරී කියලා හිතෙන දවසක පවා මං ලස්සන වෙනසක් දකිනවා. ඒක පුංචිම පුංචි දෙයක් වුණත් දවස පුරා මගේ හිත නැවුම්ව තියනවා. අපි කරන දේ අලුත් දේ විදියට දකින්න හුරුවුණාම අපි ඒකාකාරී කියන රාමුවෙන් ඉබේම එළියට එනවා කියන එක තමයි මම තේරුම් ගත්තු ලොකුම දේ.

ඉතින් මේ ලිපිය කියවන කෙනෙකුට මම කියන්නේ, ජීවිත ඒකාකාරී නෑ. අපි හිතනවා ඒකාකාරී කියලා. හැබැයි එහෙම හිතන එක වෙනස් කළාම හැමදාම හැමදේම අලුත්. මාත් මං හිතන විදිය වෙනස් කළා. ඒ නිසා හැමදාම මං අලුත් දෙයක් කරනවා. අලුත් දෙයක් දකිනවා.

ඒක කාටවත් වැරැද්දක් නැති, කාටවත් වේදනාවක් නොදෙන තමන්ගේ සතුට හොයාගන්න පුළුවන් පුංචි පාඩමක් විතරයි. මං මගෙන්ම ඉගෙනගත්තු.

මට නම් හෙට දවස ගෙවුණ ඊයේ දවසට වඩා විශේෂයි. ඒ නිසා අදත් මං සතුටින්.

හෂීණී මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here