සංසාරේ කරපු සෙල්ලම නිසා මේ ආත්මෙත් විඳවන්න වෙලා නේද?

0
15


තෙරුවන් සරණයි! මගෙ රත්තරං දුවේ…

සුවෙන් ඉන්නවාද…? නැහැ නේද පුංචි දූ?

මට ඇහෙනවා… රෑ තුන්යමට උඹේ පුංචි පපුව ගැහෙන සද්දෙ..

දෙපතුල් දෙකේ ඉඳන් නළලට යනකම්ම උඹව ඉඹපු, මගෙ  රත්තරං කියලා පරිස්සම් කරපු කෙනා උඹව අමතක කරල නේද…? ඉතින් දරාගන්නම බැරිව උඹ මහ රෑට ඉකිගහන සද්දේ මට ඇහෙන්නේ නැහැ කියල හිතනවාද?

ඒ නිසා බොහෝම සෙනෙහසින් මේ ටික කියල දෙන්න ආවේ… අකීකරු නොවී කියවනව නේද හෙමිහිට?

මගේ රත්තරන් දුවේ… මේ සංසාරේ මේක අපි ඉපදුණ එකම ජීවිතය නෙවෙයි. අනන්ත අප්‍රමාණ ඉපදි ඉපදී, මැරි මැරී ආව ගමනක තවත් එක් කඩයිමක් විතරයි මේ.

ඉතින් සසරේ පුරුදු වෙච්ච දේවල් නිසා නුඹ සෙනෙහස හොයන බව මම දන්නවා.  මූණ හංගගන්න උණුසුම් පපුවක් නුඹ හොයපු බව මම දන්නවා.

ඒත්… දන්නවාද මගෙ දූ… අනන්ත සසරෙත් අපි ඒ දේම තමයි කළේ. එක ආත්මෙක මගේ පණ කියල ළංකරගෙන කායික සම්බන්ධතාත් පවත්වලා ඒ ආත්මයෙන් පස්සෙ තවත් කෙනෙක්ව මගේ පණ කියලා ළංකරගන්නවා. එතැන සෑහීමක් තිබුණ නම් නුඹ අදත් පණක් හොයාවිද? නැහැ නේද?

මේ හිතට කොච්චර දුන්නත් මදි. ඒක තමයි හිතේ ස්වභාවය.

අහන්න මගෙ දූ… එහෙම බැඳීමක හුඟක් වෙලාවට තියෙන්නෙ කායික තෘප්තියක් හොයන හරි ළාමක කාමුක රාගික සෙල්ලමක්. ඒ සෙල්ලම සසර පුරාවට කරගෙන ඇවිල්ලා අපි මේ භවයෙත් ඒ සෙල්ලමම කරනවා.

ඒත් ටිකක් හදවතට එබිලා බලන්න. එක එක ආත්මවල එක එක පුරුෂයින්ගේ වෙවී ආව දුක්බර සසර ගමන රසවත් එකක්ද කියලා. සමහර විටෙක අපි පුරුෂ ආත්මයක ඉඳලා ස්ත්‍රීන් සමඟ එක්ව ඉන්නත් ඇති. මේ සසර ඒ තරම්ම අකාරුණිකයි.

ඒ නිසා උතුම් ගුණධර්ම තියන හදවතක් හරි ලේසියෙන් නුඹට හම්බවෙයි කියල හිතන්න එපා. එහෙම හම්බවුණා නම් නුඹව මත් කරල මත් කරල, නුඹේ පහස විඳල විඳල බුලත් හපයක් වගේ උඹව විසි කරල දාවිද? උතුම් හදවතක් කවදාවත් එහෙම කරන්නේ නැහැ.

එහෙම උතුම් හදවතක් උඹට මුණගැහැණු දාක උඹේ හිස සෙනෙහසින් පිරිමැදල කියාවි, සසරේ යන්න එපා මැණික.. ඉපදෙන එක දුකක්.. උඹ නිවිල පලයන්.. අපි කායිකව ලබන පහස හරි ළාමක පහත් එකක්.. උඹව ලෙඩවෙන එක මට නතර කරන්න බැහැ… උඹව වයසට යන එක නතර කරන්නත් බැහැ… උඹට දරුවෙක් හම්බෙනකොට වේඳනා විඳින්න වෙනවා.. උඹ කොහොමත් මාසිව ශුද්ධිය නිසා විඳවනවා… දරුවො වදාගෙන දහදිය පෙරාගෙන මේ සසර ගමන හැමදාම බැඳීම් අස්සේ ගෙව ගෙව යන්න එපා කියලා.

නිසැකවම ඒ සත්පුරුෂ උතුම් හදවත මුණගැහුණනම් නුඹට මේ ජීවිත යථාර්ථය කියල දීලා නැවත ඉපදී ඉපදී දුක් විඳින්න දෙන එකක් නැහැ. නුඹේ සසරම සුවපත් කරාවි.

ඒ නිසා මගෙ පුංචි දූ දැන් ඇස්වල කඳුළු ටික පිහදාගන්න.  උඹ පුංචි නිසා, උඹ අහිංසක නිසා උඹට වරදින්න ඇති. දැන් කමක් නැහැ.

ඒත් දැන් හොඳටම ඇති. ඒ නිසා දැන් ඔය ළාමක නින්දෙන් ඇහැරෙන්න. කිසිම අඩුවක් නැතිව ජීවිතය තිළිණ කළ අම්මා, අප්පච්චිට කෘතවේදී වෙන්න. අපි එතැනින් පටන්ගමු.

ඉපදෙන එක දුකක්. ඒ දුකින් ආරම්භ වන ඉතිරි සියලුම දේත් දුක් ගොඩක්ම විතරයි. ඒ නිසා දැන් මගෙ දූ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පටන් ගන්න ඕන.

මම පුංචි කතාවක් කියන්නද…?

එතකොට මගෙ වයස අවුරුදු 16ට වැඩියි. මට මතක තරමට මම සාමාන්‍ය පෙළ විභාගය කරල ඉවර වුණ කාලෙ. මගෙ අම්මත් එක්කම හැටන්වල ඉඳල ගිනිගත්හේන පැත්තට අපි ගමන් ගත් බසය ඇදුනා. දකුණු පසට වෙන්නට මගෙ අම්ම හිටිය අසුනට පිටුපසින් තිබුණු අසුනක තමයි මම වාඩිවෙලා ගියේ. එකපාරටම පුංචි අසරණ ඇස් දෙකක් එකපාරටම මගේ ඇස් ඉස්සරහ නතරවුණා. පාර අයිනට වෙන්න පුංචි ගොටුකොළ මිටියක් අතේ තිබුණු හරියටම මගෙ මල්ලිගෙ වගේ වයසේ අවුරුදු අටක නවය විතර පුංචි පුතෙක්.

ඒ පුතා අත ඉරුණු, අවපැහැ ගැන්වුණු පාසල් කමිසයත්, කොට කලිසමත් ඇඳලා හිටියා මට තවම මතකයි. මම එක පාරටම අම්මා… කියල කෑ ගහල තිබුණා. පසුවයි මට සිහිපත් වුණේ බස් රථය තුළයි මම ඉන්නෙ කියලා. එදා බසයෙන් බහිනතුරුම මට ඉකි ගැහි ගැහී ඇඬුණා.

දන්නවද රත්තරං දුවේ මට ඇඬුණෙ ඇයි කියලා? නුඹ දන්නෙ නැහැ. ඒ වයසට මට තිබුණු හීන තමයි තට්ටු ගණනක මන්දිරයක්, පරිගණකයක්, ස්කූටර් එකක් වගේ දේවල්.

ඒත් අර පුංචි පුතාගෙ හීනය පුංචි රුපියල් 10ක 15ක ගොටුකොළ මිටියක්. එදා පාසල් දිනයක්. අනේ මට තවම මතකයි තේ වත්ත මැද ඒ පුංචි පුතුගෙ අඩි හයක හතරක වගේ කටු මැටියෙන් හදපු පුංචි පැල්පත. දෙවියනේ… ඇයි මේ ජීවිතවලට මේ තරම් වෙනස්කම්. මට හිතාගන්න බැරිව ගියා. එතකොට මට එහෙම ලොකුවට ධර්මාවබෝධයකුත් නැහැ මගෙ දුවේ.

ඒත් මට ඒ පරතරය ලොකු ප්‍රශ්නයක් වුණා. මට වැඩිය සැප සම්පත් විඳින ජීවිත දැකල නොදැනුණ මහා කම්පාවක් එදා මගෙ ජීවිතයට තදින්ම දැනුණා. මෙච්චරම අසරණ ජීවිත තියෙනවාද කියල හිතුණා. අනේ මට මොනවද නැත්තෙ හිතුණා. එදා මම හිතුවෙ ඉගෙනගෙන ඒ වගේ අහිංසක දරුවන්ට ශක්තියක් වෙනවා කියලා.

ජීවිතය ගැන ගැඹුරින්ම හිතන්න මේ කාලය මට නිධානයක් වුණා.

දන්නවද ඒ සියල්ල කුසල් අකුසල් විසින් අපට තිළිණ කළ ත්‍යාග බව? එදා මම ඉකි ගගහා ඇඬුවා. අද මම දන්නවා එය කාටත් පොදු ධර්මතාවක් බව. ඒ අසරණ ජීවිතය පෙර සසරේ කළ කර්ම විපාකය ගෙවන බව. අන්න ඒ නිසයි මගෙ දුවේ නුඹට මේ ටික කියල දෙන්න මට උවමනාව ඇති කළේ.

මේ සසර ගමන හරි වෙහෙසකරයි. භයානකයි. මේ අපේ එක උපතක් විතරයි. අපි කරන කුසල් අකුසල්වල විපාක සමඟ ඉපදෙමින්, මැරෙමින් යන වේදනා පිරි සසර ගමනක අපි ඉන්නෙ.

ඒ නිසා මගෙ දුවේ මේ ආත්මයේ බැඳුණු ජීවිතයක වෙනස්වීම නිසා රෑ පුරාම ඔය තරම් අඬා වැටෙන්න එපා. ජීවිතය විනාශ කරගන්න එපා. සසර පුරාවටත් කළේ මම මගෙ කියලා අයිති කරගන්න බැරි බැඳීමක් වෙනුවෙන් අද වගේම අඬාපු එක.

පහුගිය ආත්මවල පපුවේ තියාගෙන රැකපු අය, සිඹපු අය අද කෝ මගෙ දුවේ… ඒ හැමදේම අද වෙනකොට නාම රූප දෙකක් විතරයි.

ඒත් දවසට දූලා කී දෙනෙක් මට පණිවිඩ එවනවාද එයාට මම හැමදේම දුන්නාදැන් එයා මාව අමතක කරලාඑයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවාමට මැරෙන්න හිතෙනවා කියලා?

මේක හොඳට මතක තියාගන්න මගෙ පින්වත් දුවේ… පෙරුම් පුරන මහ බෝධිසත්වයන්, යශෝධරාවන් පමණයි පවිත්‍රව සෙනෙහසින් බැඳෙන්නේ. එවැනි උතුම් ජීවිත කොහොමත් ළාමක බැඳීම් ළඟ කෙලෙස්වල හුරතල් වෙවී ඉන්නෙ නැහැ. නිහඬවම උතුම් ගමනට අවැසි ගුණ ධර්ම සම්පාදනය කරනවා මිස.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here