“සංවරය” අවැසිම දෙයක්…එය මෙසේ අරඹමු.. – Sri News

0
5


ඇස, කන ,නාසය, දිව, කය ,සහ මනස යනුවෙන් අවට ලෝකය හා සම්බන්ධතා පවත්වන ඉංද්‍රිය හයක් අප සතුව ඇත .මේ ඉන්ද්‍රියන්හි ස්වභාවය නම් ප්‍රියජනක අරමුණුවල ඇලීමෙන් ආස්වාදය ලැබීමයි .

අපි ප්‍රියජනක දේ නැරඹීමට කැමති වන අතර, කන මිහිරි ශබ්ද ඇසීමට කැමතිය .නහය සුවඳ ආග්‍රහණය සඳහා ප්‍රිය වන අතර, දිව මිහිරි රසයන් ආස්වාදයට කැමතිය.කය සැපවත් ලෙස ස්පර්ශ විඳීමට කැමති අතර ප්‍රියජනක අරමුණුවලින් ආශ්වාදය ලැබීම මනසෙහි නිරන්තර ස්වභාවය යි .

මෙලෙස ඉඳුරන්ගේ මනාප තාවය අරමුණු කරගෙන ඇල්ම නිසා සමාජයේ බොහෝ දෙනා අසීමිතව ඉඳුරන් පිනවීම සඳහා වෙහෙසෙති.

එය විපතක් ලෙස අරමුණු කර ගන්නා පුද්ගලයා එය අවබෝධ කරගනිමින් ඉඳුරන් පිනවීම පාලනය කරගන්නා තරම බුදු දහමෙහි ඉගැන්වෙන ඉන්ද්‍රිය සංවර යන්න මනා ලෙස භුක්ති විදිති.

බුද්ධ කාලයේ සත්‍ය සොයා ගිය බොහෝ දෙනා සත්‍යාවබෝධය සඳහා ඉන්ද්‍රිය සංවරය සොයා ගිය බොහෝ අවස්ථාවලදී ශරීරයට අපමණ දුක් දෙන අත්තකිලමථානුයෝගී පිළිවෙත් ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීමට උපයෝගී කර ගත්තද තවත් සමහරු අසීමිතව ඉඳුරන් පිනවන කාමසුඛල්ලිකානුයෝගී පිළිවෙතින් ඉන්ද්‍රිය සංවරය කරගැනීමට මඟ පෑදෙන බව ද සිතූහ .මේ සඳහා ප්‍රතිඋත්තර සැපයු බුදුරජාණන් වහන්සේ මෙම අන්ත දෙක ම බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ශීලය මඟින් ඉඳුරන් හික්මවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් සේක .

මෙසේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිළගැනීම පිළිබඳ වූ නිවැරදි ක්‍රමය මජ්ඣිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙහි දී බුදුන් වහන්සේ මනා සේ පැහැදිලි කර දුන්හ. මනාප අමනාප ආදී ස්වභාවයෙන් යුත් අරමුණුවල යථා තත්ත්වය දැන ක්‍රියා කිරීමෙන් ඉන්ද්‍රිය සංවරය කරගත හැකි ආකාරය එහි මනා ලෙස උගන්වා ඇත

ප්‍රිය අරමුණු ලැබුණු සිත ඒ පිළිබඳව ආශාව උපදවා ගනිමින්, එහි ඇලී ගැලී විසීම අප්‍රිය අරමුණුවල යෙදුණු සිත දොම්නස උපදවාගෙන ගැටුම් ඇතිකර ගැනීමෙන් ක්‍රියාකිරීම ඉන්ද්‍රිය වල ස්වභාවයයි. ප්‍රිය සහ අප්‍රිය තාවයෙන් තොරවූ අරමුණු ඉඳුරන්ට විෂය වෙයි .ඒවා පිළිබඳව ඇල්මක් දොම්නසක් උපදින්නේය. මෙම ඇල්ම සමාජයෙහි සිදුවන සියදිවි නසාගැනීම් කලකෝලාහල වැනි විපත් වලට ද බෙහෙවින් ම හේතු සාධක වෙයි. එම අරමුණ ඇලීමෙන් දොම්නසින් තොරව උපේක්ෂාසහගතව සිටීමට හැකි නම්… එබඳු විපත් පහසුවෙන් වළකාගත හැකි ක්‍රමවේදය බුදුන් වහන්සේ පසක් කළ සේක .

ඉන්ද්‍රියන් නිසි පරිදි පවත්වා ගනිමින් එහි ප්‍රයෝජන ලබාගත යුතු ආකාරය පිළිබඳව බුදුදහමේ උගන්වා ඇති ආකාරය බලමු …

“මිනිසා සතු ඉන්ද්‍රිය, ඔහුට හිත වැඩ පිණිස මෙන්, අහිත අවැඩ පිණිස ද යොදා ගත හැකිය. සංවර කරගත් ඉන්ද්‍රිය හිත වැඩ පිණිස පවත්නේය. අසංවර වූ ඉන්ද්‍රිය අහිත අවැඩ පිණිස පවත්නේය.”

මේ ඉන්ද්‍රියන් තුළ ඇති සංවර කර කරගැනීම අපහසුය. නමුත් ඉන්ද්‍රිය අසංවරය ඉතා පහසුය .ඒ සඳහා පහසුවෙන් පොලඹවන දොරටු රැසක් නූතන ලෝකයේ විවෘතව පවතී.

නූතන තාක්ෂණය නිසා දියුණුවට පත්ව ඇති විවිධ චිත්‍රපට, වීඩියෝ පට, ආදිය අපේ දැනුම දියුණුව සඳහා බොහෝ ප්‍රයෝජනවත් වුවත්… ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ඉන්ද්‍රිය සංවරයට හානියක් නොවේ. නමුත් තරුණ සිත නොමඟට යොමු කරන දර්ශන ඇතුළත් චිත්‍රපට ,වීඩියෝ පට, සුලබ ව ඇත.ඒවා නැරඹීම අරමුණු කරගනිමින් ඉන්ද්‍රිය අසංවරය ට හේතු සාධක ගෙන එයි.

බුද්ධිමත් පුද්ගලයා මෙබඳු පරිහානි දොරටු වලට පිවිසීමෙන් ලැබෙන අනිටු විපාක කලින්ම තේරුම්ගෙන ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට බාධාවක් ඇති කර නොගනී. සංවර කරගත් ඉන්ද්‍රිය අර්ථවත් ලෙස ට යොමු කර ගනිමින් දියුණුවක් ලැබීම සඳහා එබඳු පුද්ගලයාට අවස්ථාව උදාවේ .

පන්සිල් රකින බෞද්ධයාගේ ශීලය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි.ඉන්ද්‍රිය පිනවීමට යොමුවූ පුද්ගලයා තුළ හටගන්නා ආශාව දොම්නස වැනි කෙලෙසුන් නිසා පන්සිල් රැක ගැනීමට බාධා පැමිණෙයි. මේ අනුව ශික්ෂා පද මාර්ගයෙන් රකිනා වූ සීලයට සමාන්තරව ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ.

ඉන්ද්‍රිය සංවරය සියලු දුක්වලින් මිඳීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දැක්වූහ.

ඇසින් සංවරය යහපති
කණින් සංවරය යහපති
නැහැය සංවරය යහපති
දිවෙන් සංවරය යහපති
කයින් සංවර යහපති
මනස සංවර යහපති
මෙහැම සංවරය යහපති
සංවර වූවෝ දුකින් මිදෙයි…

සමාජගත වූ ජීවිතයකට, ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරයෙන් තොර තැනැත්තා නොහික්මුනේ වෙයි. අධ්‍යාපනයෙහි පරමාර්ථයක් වන්නේ හික්මීමයි (විද්‍යා දදාති විනයං )

“ඉන්ද්‍රියානී මනුස්සානං
හිතාය හිතාය ච
අරක්ඛිතානි අහිතාය
රක්ඛිතානි හිතාය ච “

ඉන්ද්‍රිය තුළ සංවරය ඇත්නම් පාසල හා පන්ති කාමරය ද කෙතරම් සිත්ගන්නාසුලු තැනක් වේද? ඉඳුරන් හික්මවා ගත් දරුවන් අර්ථවත් දෙයක් සඳහාම ඉන්ද්‍රියන් යොදවති .ගැටුම් ඇති කර නොගනිති. එබඳු දරුවන් පාසලෙන් අරඹමු. එවැනි දරුවන් තුළ ස්වයං විනයක් ඇති වෙයි. ඔවුන් අතින් වැරදි නොසිදුවන නිසා දඬුවම අනවශ්‍ය දෙයක් බවට ද පත්වී යයි.

හීලෑ සතුන්ට අප ප්‍රිය කරමු. එසේම හික්මුණු පුද්ගලයාට කවුරුත් කැමති වෙයි. බුදුරජාණන්වහන්සේ ඉඳුරන් හික්මවා ගත් තැනැත්තාගේ ශ්‍රේෂ්ඨත්වය මෙසේ වර්ණනා කළහ .

හික්මුණු ඇත් අස් සබයට ගෙන යති
හික්මුණු ඇත් අස් පිට රජවරු යෙති
මිනිසුන් අතරින් ඉඳුරන් හික්ම වූ
මිනිසා උතුමෙකි
ඉවසන ගුණ ඇති …

මෙම ඉන්ද්‍රිය සංවරය කර ගැනීම කෙරෙහි යොමු වීමෙන් බුදු දහමේ ඉගැන්වෙන සංවරය අත් දකින්නට…හා ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමට ඔබට වාසනා ගුණය ලැබේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

The post “සංවරය” අවැසිම දෙයක්…එය මෙසේ අරඹමු.. appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here