ශ්‍රේෂ්ඨ වූ සමාජ සාධනය උදෙසා වූ බුදු දහමේ බලපෑම … – Sri News

0
5


සත්ත්වයාට ජාති ජරා මරණාදී සසර දුකින් මිදීමට උන්වහන්සේ මග පෙන්වූ සේක .එනිසාම කෙනෙකුගේ උපත සැපයෙකැයි බුදුරජාණන් වහන්සේ සැලකූ සේක .මෙය බුදු උපතකින් සැලසෙන මහත් වූ සැප යයි . සමාජ අසාධාරණකම් නිසා දූෂිත පුද්ගලයින් නිසා ඇතිවන සමාජගත දුක නැති කරලීමට උන්වහන්සේ උපදෙස් දුන් සේක. මෙමගින් ඇතිවන සමාජ යහපත බුදු උපතකින් ලැබෙන සැපයක් මයි .උන්වහන්සේගේ මෙම ශ්‍රේෂ්ඨ සමාජ ශෝදකත්වය යහපත් සමාජයක් ගොඩනැගීමට සත්ත්වයින්ට සසර දුක් නැති කර ගැනීමට අවශ්‍ය මාර්ග උපදේශය ලැබී ඇති බැව් නොරහසකි .

බුදුන් වහන්සේ පහළ වන විට භාරතය තුළ නොයෙක් සමාජ අසාධාරණකම් වලින් පිරී තිබුනත්, කුලභේදය මුල්කරගත් සමාජ අසාධාරණකම් නිසා ඇතැම් ජන කොටස් දුක්ඛිත ජීවිත ගත කළා. කුල භේදයට මුල් තැන දුන් ඉගැන්වීම්වල නිසරු බව බුදුන් වහන්සේ පැහැදිලි කර දීම නිසා එම දුර්මත බැහැර කරවීමට හැකියාවක් ලැබුණා .සමාජ අසාධාරණකම් වලට මුල් වූ කුල භේදය අර්ථවත් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ බමුණු තරුණයා ට පැහැදිලි කළ අවස්ථාව මීට නිදසුනක් ලෙස ගත හැකියි .

බ්‍රහ්මණ ඉගැන්වීම අනුව සමාජයේ එක් කොටසක් උසස්ය තවත් කොටසක් පහත්ය යන බෙදීමෙහි වරද උන්වහන්සේ තවදුරටත් හෙළි කළේ මෙසේයි.

“නජජ්ජා වසලෝ හෝති නජජ්ජාහෝති
බ්‍රාහ්මනෝ
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ ”

මෙයින් පැහැදිලි වන්නේ මිනිසා වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උප්පත්තිය අනුව නොව ක්‍රියාව අනුව බවයි

සාමාන්‍ය මිනිසකු මව් කුසින් බිහි වී වැඩෙන ආකාරයටම බමුණා ද මවුකුසින් බිහිව වැඩෙන නිසා ඔහු මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බව පවසන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කලා.

සමාජය කලින් කලට දේශයෙන් දේශයට වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව උන් වහන්සේලා ලොවට හෙළි කළා .ස්වාමියා ව සිටි තැනැත්තා කලක සේවකයෙකු වීම හෝ සේවකයෙකු ව සිටි තැනැත්තා කලකදී ස්වාමියෙකු වීම හෝ ඔහුගේ ක්‍රියා කලාපය ට අනුව සිදුවිය හැකි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා

බමුණන් බිහිකළ චතුර්වර්ණය පිළිබඳ ඉගැන්වීම මෙසේ ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස සමානාත්මතාවය අගය කරන පරමාදර්ශී බෞද්ධ සමාජයක් ඇති කළා. කුලය ධනය වැනි දේ පදනම් කරගත් බාහිර බෙදීමක් එහි නොවූ තරම් .සියල්ලෝ ම පොදුවේ ශාසනික දායාද හිමිකරුවෝ වුනා.

අද මෙන් එදා සමාජයේ විවිධ දුසිරිත් නිසා නොමග ගිය පුද්ගලයෝ බොහෝ සිටියා. එබඳු අවාසනාවන්ත පුද්ගලයින් පාපීන් වශයෙන් කොන්කර නොතබා ඔවුන් වැරදි වලින් මුදවාගෙන යහපත් ගුණගරුක පුද්ගලයෙක් බවට පත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළා .

යමෙක් වරදේ බැදී සිටිනා තාක් වළාකුලින් වැසී ගිය සඳක් මෙන් බවත්, වරදින් මිදුණු කල්හි වළාකුලින් මිදුණු සඳ සේ බබළන බවත් උන්වහන්සේ වදාළා .

වරද කළ අය යහමගට ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මහත් වෙහෙසක් දැරුවා .උන් වහන්සේ පන්සිල් මගින් අපේක්ෂා කළේ පුද්ගලයාට මෙන්ම සමාජයටත් හානිකර දුසිරිත් වලින් තොර වූ මානව හිතවාදී සමාජයක් බිහිකිරීමයි.

උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේත් සමාජ ශෝධනයත් සඳහා පංචශීලය යොදාගත්තා. ශ්‍රේෂ්ඨ පාලකයින් පාලන ධර්මයක් වශයෙන්ද පංචශීලය යොදා ගත් බව ධර්මාශෝක රජතුමාගේ ආඥා ලිපි වලින් හෙලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයෙන් ඉදිරිපත් කළේ සමාජ දූෂණය සිදු කරන කරුණු රැසක්… ණය ලබාගෙන නොගෙවා මගහැරීම බොරු සාක්කි දීම බොරුවෙන් රැවටීම අන් අඹුවන් වරදට පොළඹවා ගැනීම යනු එම සමාජ දුසිරිත් වලින් කීපයකි .අග්ගික භාරද්වාජ වැනි පුද්ගලයෝ මෙබඳු දුර්ගුණ අත්හැරදමා බුදුරජාණන් වහන්සේ සරණ ගොස් සුමඟට පිවිසුනා. පුද්ගල යහපතට මෙන්ම සමාජ යහපතට ද ඉවහල් වන කරුණු රැසක් මංගල පරාභව ආදී සූත්‍රවල සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් හඳුන්වා දීමෙන් අපේක්ෂා කළේ සමාජයට හොඳ නරක කියා දීම .කුසල් යනු පුද්ගලයාට හා සමාජයට හිත වැඩ සලසන ක්‍රියා බවත් අකුසල් යනු පුද්ගලයාට හා සමාජයට අහිත හා අවැඩ පිණිස පවත්නා ක්‍රියා බවත් උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. සමාජයක් සකස් වෙන්නේ පුද්ගලයින් සමූහයක් එක් වීමෙන්. එනිසා පුද්ගල පාරිශුද්ධිය තුළින් සමාජ පාරිශුද්ධිය ඇති කළ හැකිය යන්න උන්වහන්සේ පිළිගත් සමාජ දර්ශනයයි ..

පුද්ගලයාගේ සීලවන්ත භාවය නිසාම සමාජ ශෝධනයද සිදුවෙයි . තමන්ගේ දුර්ගුණ ඉවත් කිරීම තුළින් පොදු සමාජ යහපත අපේක්ෂා කළ හැකිය.

ඒ මතින් බිහිවන සමාජය තුළ සමානාත්මතාවය සහජීවනය වර්ධනය වන මානුෂීය සමාජයක් අත්විඳිය හැකිය .බුදුදහම තුලින් අපේක්ෂා කරන්නේ ද යහපත් මිනිස් සංහතියක් මෙන්ම යහපත් සමාජ තත්වයකි.මේ සා බුදුදහමෙන් ඇතිවන පිටු වහල සුළුපටු නොවේ.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here