ශ්‍රී ලංකාවේ අපනයන නංවාලීම සඳහා මහජන බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් – Sri News | Sri Lanka Business News

0
7

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම අද (මැයි 14) දින සිදුවිය. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී  ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මහජන බැංකුව මෙම හවුල්කාරීත්වය යටතේ දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළෙඳ මූල්‍ය විකල්ප ලබා දෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සංවර්ධනය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික අරමුණු සමඟ පෙළගැසෙමින් ගෝලීය අපනයන වෙළෙඳපොළට ඒකාබද්ධ කිරීම අරමුණු කරයි. මහජන බැංකුව දැනටමත් දිවයින පුරා පිහිටි ශාඛා 747කින් සමන්විත පුළුල් ජාලයක් උපයෝගී කරගනිමින් උපාය මාර්ගිකව ශාඛා 7ක් හරහා අපනයන අංශයට විශේෂිත අපනයන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

මෙම සහයෝගීතාව මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය සඳහා අධ්‍යාපනික මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමගින් අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා සහ අපනයන අවස්ථාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ගෝලීය වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීම මගින් සිය විශේෂඥතාව ලබාදෙමින් දායකත්වය ලබාදෙනු ඇත.

අවබෝධතා ගිවිසුම් උත්සවයේදී සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් ලෙස රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වමින් රටේ අපනයන ආදායම වර්ධනය කිරීමට මහජන බැංකුව දැඩි ලෙස කැපවී සිටින බවයි. අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය මගින් පෙනී යන්නේ මහජන බැංකුව අපනයන වර්ධනය සඳහා දරන උත්සාහයට තවත් උදාහරණයක් බව එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදි.

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පැවසුවේ “රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අපනයන මූලික ආයෝජන ප්‍රවේශයක් අනුගමනය කිරීම වැදගත් වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ විශාලතම පාරිභෝගික පදනමක් තිබෙන මහජන බැංකුව සමඟ ඇති සහයෝගීතාවයෙන් අපනයන හැකියාවන් විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට මෙම උත්සාහය මගින් විශාල ශක්තියක් ලැබෙන බවයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සේපාලිකා ජයවර්ධන මහත්මිය, වෙළඳ පහසුකම් සහ වෙළඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ  ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ව්‍යවසාය බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතා ඇතුළු මහජන බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සහභාගී විය.

තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා මහජන බැංකුවේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කැපවීම මෙම අබබෝධතා ගිවිසුම මගින් අවධාරණය කරයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අවබෝධතා ගිවිසුම (MoU) හුවමාරු කර ගන්නා ආකාරයයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here