වෛවාරණ විච්චූරණ කරන දූලට කතා හදන්න ඉක්මන් වෙන්න එපා

0
11


අද කතාව පටන්ගන්න කලින් මේ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මම හිතුවා. ‘ධරණී’ ට මා ලියන්නේ දියණිවරුන් පිළිබඳ ලිපි පෙළක්. මොකද ‘ධරණී’ මගෙන් ඉල්ලීමක් කළේ විශේෂයෙන් දූලා ගැන ලියන්න කියලා. මේ දිනවල මම මගේ ජීවිත කතාව ‘නමුණුකුළෙන් හන්තානට’ කියලා ලියලා ඉවරයි. අන්න ඒ පොත පිටවුණාම, මා මෙහි නොකියන මගේ ශිෂ්‍ය පුත්‍රරත්නයන් ගැන ඔබට දැනගන්න පුළුවන්. මං එහෙම ලිව්වේ හේතුවක් ඇතුවයි. මේ ළඟදි කොළඹ සරසවියේ පුතෙක් තම පෙම්වතිය මරා දැම්මම මුහුණුපොතේ කවුදෝ දාලා තිබුණා ඕකට වග කියන්න ඕන අත්තනායක එම් හේරත් වගේ අය. මොකද උන්දැලා පිරිමින්ගේ ගුණ ගැන නොකියා ‘දූලා’ම අගය කරන නිසාය මෙහෙම වෙන්නේ කියලා. ඒ විවේචනය මගේ යටි සිතට තදින්ම කාවැදුණා. නමුත් ‘ධරණී’ කාන්තා පුවත්පතක් නිසා මට මේ තීරුව තුළ කතාකිරීමේ හැකියාව ලැබෙන්නේ දුවලා ගැන විතරයි. ඒ නිසා පුතාලා මාත් එක්ක ඒ ගැන අමනාප වෙන්න එපා කියලත් මතක් කරන්න ඕන.

දැන් අපි කතාවට එමු. පොල්ගහමුල නමින් බාහිර උපාධි ආයතනයක් තිබුණා. 1980 ඉඳලා උපාධිධාරීහු පහළොස් දහසක් පමණ එයින් බිහිවුණා. මම තමයි ඒ ආයතනයේ සිංහල උගන්වපු ගුරුවරයා. ඉතින් මං පංතියේ උගන්වද්දි විෂය නිර්දේශයට පටහැනි බාහිර පොත්පත් ගැනත් කියලා දෙනවා. දවසක් මං කියලා දුන්නා ජපන් ජාතික ටෙට්සුකෝ කුරෝයානගි ලියපු ‘ටොට්ටෝ චං’ කියන ළමා කතාපොත. ඒ පොතේ හිටියේ අකීකරු, දඩබ්බර, දඟකාර දුවෙක්. ඒ දුව කොච්චර පංතිභාර ගුරුතුමාට කරදරයක් වුණාද කියනවානම් මේ දුවව පංතියෙන් එළවලා දැම්මා. දැන් අම්මට ඉස්කෝලයක් නැහැ දුවව දාන්න. ඔන්න ඔහොම දුව දාන්න ඉස්කෝලයක් හොයනකොට ‘හරි පුදුම ඉස්කෝලේ’ කියලා ඉස්කෝලයක් ගැන අම්මට ආරංචියක් ලැබෙනවා. ඉතින් අම්මා හරි පුදුම ඉස්කෝලෙට දුවත් අරගෙන යනවා. ඒකෙ විදුහල්පතිතුමා කොබයාසි ගුරුතුමා. එතුමා අම්මව පැත්තක තියලා මේ දුවගේ බුද්ධිය මනින්න සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. සර් දුවගෙන් අහනවා උදේට කෑවේ මොනවද, ඊයෙ හවස මොනවද කෑවේ, අම්මගෙ තොරතුරු, තාත්තගෙ තොරතුරු. එක ප්‍රශ්නයක් ඇහුවම දුව එකදිගටම කතා කරනවා. ගුරුතුමා ඇයට කතා කරන්න ඉඩ දුන්නා. ඊටපස්සේ ගුරුතුමා අම්මට කතා කරලා කිව්වා දුවගේ මතක ශක්තිය හොඳයි, මං දුවව භාරගන්නවා කියලා. දුවගේ පෙනුම, දඟකාර හුරතල් ගතිය ගුරුතුමා ගණනකට ගත්තෙ නැහැ. වෙන ඉස්කෝලවලින් එළෙව්වනේ මෙලෝ දෙයක් මතක නැහැ කියලා. “අම්මේ මං මතක මැන්නෙ ඒ ක්‍රමයට නෙවෙයි. මං ඇහුවා උදේ කෑව දේ, ඊයෙ කෑව දේ, අම්මගෙ හැටි, තාත්තගෙ හැටි. ඉතින් ඒ මතක හොඳටම ඇති. හෙටම දුවව ගේන්න.” ඉතින් එදා දුවට එළිවෙනකල් ඉවසිල්ලක් නැහැ පුදුම ඉස්කෝලෙට යන්න. ගුරුතුමා එයාව අගය කළානෙ. මෙච්චරකල් කවුරුවත් මේ දුවව අගය කරලා නැහැ. ඒ තමයි ඇයව පිට කෙනෙක් අගය කරපු දවස.

අද නම් ළමයි ඉස්කෝලෙ යන්නෙ කැමැත්තෙන් නෙවෙයිනෙ. ඉස්කෝලෙන් අස්වුණාම ඉස්කෝලෙට ආදරේ කළාට ඉස්කෝලෙ යන කාලේ හිතන්නෙම නිවාඩු ගැන. ඉතින් ඔය පුදුම ඉස්කෝලේ කතාවෙන් දූලට මං අද කියන්නෙ ඔච්චරයි. හැබැයි මගේ උපාධි ළමයින්ට මං මේ කතාව සම්පූර්ණ කියලා කාට කාටත් කිව්වා කිසිම කෙනෙක්ගේ බාහිර පෙනුමෙන් ඒ අය මනින්න එපා, පිට පෙනුමයි ඇතුළත හැසිරීමයි දෙකම සමාන නැහැ කියලා. ඊටපස්සේ එඩ්වඩ් ජයකොඩි නතාෂා පෙරේරා සමඟ ගැයූ ‘සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට’ ගීතයත් මං කියලා දුන්නා මගේ දරුවන්ට.

දුවකගේ දඟ වැඩිවෙන්නේ අප්පච්චි දැක්කමනේ. මේ ගීතයේ දුව කරන හැම දබ්බර දේකටම අප්පච්චිට යකා වැහෙන්නේ නැහැ. දුව ගස්වැල් උදුරා පොළොවට දානවිට අප්පච්චි කිව්වේ එයා මහ මුහුදක් වෙලා දූ එනකල් බලන් ඉන්නවා කියලා. දුව අහසේ ඇවිදිනකොට අප්පච්චි කිව්වේ අහසක් සේ පුළුන් වළා අතුරලා දුවව රකිනවා කියලා. දුව බොරුවට අඬනකොට අප්පච්චි කියනවා මම දූටත් හඩා හයියෙන් අඬනවා කියලා. ඉතින් ගද්‍යයෙන්, පද්‍යයෙන් මේක මම කිව්වේ එක කාරණයක් මුල්කරගෙන.

මගේ පංතියේ ඉන්නවා ටිකක් අමුතු දුවෙක්. එයා එක දවසක දිග ගවුමක් අඳිනවා. තව දවසක ටිකක් කොටට අඳිනවා. කරත්ත රෝද වගේ ලොකු කරාබු දානවා. ඉතින් ඇගේ මේ දඟකාර හැසිරීමට දුවලා විතරක් නෙවෙයි පුතාලත් කැමති නැහැ. මේ ඔක්කොම එකතුවෙලා ඇයව පැත්තකට කරලයි තිබුණේ.

ළමයි කොහොම බැලුවත් අර දුවගේ මෝස්තර එයා දවස ගානේ වෙනස් කරා. ළමයින්ගේ නුරුස්සනා බැල්ම එයා ගණන් ගත්තේ නැහැ.

ඔහොම ඉන්නකොට එක දවසක් වර්ෂාවක ලකුණු පහල වුණා. මම පංතිය වෙනදට වඩා වේලාසන ඇරියා. ළමයි නුවර පැත්තට යන බස් එනකල් බස් නැවතුම ළඟ බලන් ඉන්නවා. උඩ පැත්තට වැහැලා පාරත් කාණුත් වතුරෙන් පිරෙනවා. මෙන්න මේ වෙලාවේ බලු පැටියෙක් කාණුවට වැටුණා. ඒ කාණුව ටිකක් විශාල කාණුවක්. ඒ බල්ලා බේරගන්නනම් කවුරු හරි ඒ කාණුවට බහින්නම ඕන. පිරිමි ළමයි අහක බලාගත්තා. ගෑනු ළමයි බස් එක එනකල් බලාගෙන හිටියා. දැන් කාණුව ටික ටික වතුරෙන් පිරෙනවා. අර මගේ මෝස්තරකාර දුවත් අර දූලා පුතාලා ගොඩේ හිටියා. ඇය කුඩේ යාළුවෙකුට දීලා අර විශාල කාණුවට පැන්නා. පැන්න ගමන් බලු පැටියව එක අතකින් උස්සගෙන උඩ ඉන්න අයට අත දික්කරා. කොල්ලො ටික පොර කකා අර දුවව ගොඩට ගත්තා. ඊට පසුදා මම පංතියට ගියාම අර දුවගේ වීර ක්‍රියාව මට වාර්තා කළේ දුවලා නෙවෙයි, පුත්තු. එදා මං මේ කතාව සිද්ධවෙච්ච විදියටම අනෙක් ළමයින්ට පැහැදිලි කරා. මට හරිම සතුටුයි මුළු පංතියම නැගිටලා අර දුවට අත්පොළොසන් දුන්නා. අනේ අර දුව මේසයට ඔලුව තියාගෙන ඇඬුවා එයාගේ සහෝදර සහෝදරියන්ගේ අගය කිරීමට. ඒ බලු පැටියා ඒ දුවලා උපාධිය අරගෙන ගියාට පස්සේත් අපේ පංතිය අසළම හිටියා. ළමයි අර මගේ මෝස්තරකාර පැංචිට වගේම බලු පැටවාටත් ගරු කරා. එදා ඉඳලා ඒ දුව දිහා හැමෝම ගෞරවයෙන් බලන්න පුරුදු වුණා. අද මේ දුව ගුරුවරියක වෙලා තවත් දරු කැලකට නුවණ දෙනවා.

ඒ නිසා මට කියන්න ඕනෑ වුණේ බාහිර අලංකාර, විලාසිතා කරන දූලා වගේම පුතාලත් ඉන්නවා. ඒ අයට සක්කරවට්ටම, රස්තියාදුකාරයා කියන ලේබලේ නොගහා ඒ අලංකාරය විඳින්න. මොකද ඔබට පේන බාහිර අරුමෝසම්වලට වඩා නොපෙනෙන ඒ ගොල්ලොන්ගේ අභ්‍යන්තරය හරියට බෙල්ලෙකු ඇතුළෙ තියෙන මුතු වගේ අලංකාර වෙන්න පුළුවන්.

 

අත්තනායක එම්. හේරත්



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here