විවේකයේ සැනසීම…. – Sri News

0
3


අවිවේකී බව කෙලෙස් වැඩීමට දායක වේ…..

මිනිසා කෙතෙක් අවිවේක වී ඇත්ද යනු අසමාන සමාජය තුළින් අපට මනාව දැක ගත හැකිය . තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි වී යාමට තරම් මිනිසා අවිවේකී ස්වරූපයක් ගෙන ඇත .

එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය, අසහනය, කළකිරීම, නින්ද නොයාම ආදී මනසික පීඩාවන්ට ද වර්තමාන මිනිසා ගොදුරු වී සිටීම වත්මන තුළ දස දෙසින් දැකිය හැකි කරුණකි.

මෙය ධර්මයෙන් ද විමසා බලමු .එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා, රජු හා රාජ්‍ය අමාත්‍යවරු, මෙන්ම අන්‍යතීර්ථක නායකයන් හා ශ්‍රාවකයන්ගේ ඇසුර ද ලබමින් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි අවිවේකී ව වාසය කළහ. එසේ පිරිස හා එක්ව වාසය කරන භාග්‍යවතුන් වහන්සේට විවේකය නොමැති වීමෙන් මහත් අපහසු බවක් ඇතිවිය.

ඉක්බිති උන්වහන්සේ පිරිසෙන් වෙන්ව හුදකලාව වාසය කිරීම පහසුයැයි අදහස් කොට කිසිවකුටත් නොදන්වා පාරිලෙය්‍යක වනයෙහි රක්‍ෂිත නම් වන ලැහැබෙහි පිහිටි සල් රුකක් මුලට වැඩම කොට එහි වැඩ සිටියහ.

එම වනයෙහි වාසය කළ එක්තරා ඇතෙක් ද රංචුව හා එක්ව වාසය කිරීම දුක් සහිත යැයි අවබෝධ කරගෙන බුදු රදුන් වැඩ සිටි වන ලැහැබට පැමිණ උන්වහන්සේ සමීපයෙහි වාසය කරමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළහ.
භාග්‍යවතුන් වහන්සේ විවිධ පිරිස් සමග එක්ව ඝෝෂිතාරාමයෙහි ගතකළ අවිවේකී හා අපහසු කාලපරිච්ඡේදයත්, එයින් බැහැර වී පාරිල්‍යෙ වනයෙහි හුදකලාව වැඩ සිටීමේ පහසුව හා සුවය අතර වූ පැහැදිලි වෙනස මෙනෙහි කළ අතර, පාරිලෙය්‍ය වනයෙහි විසූ ඇතු ද තමන් පෙර රංචුව හා එක්ව ගතකළ අවිවේකී හා අපහසු ජීවිතය පිළිබඳවත්, රංචුවෙන් මිදී හුදකලාව වාසය කිරීමේ දී ලැබෙන සුවයත් යන අවස්ථාවන් දෙකම මෙනෙහි කළේ ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහස මෙන්ම ඇතුගේ අදහස ද සමාන යයි ප්‍රකාශ කර ගනිමින් ප්‍රීතිය පහළ කළහ.

උදාන පාලියේ නාග සූත්‍රයේ ඇතුළත් මෙම පුවතින් මහා පිරිසකින් යුතුවූ , සංකීර්ණ පරිසරය තුලින් මිදී ,හුදකලා වාසයේ ඇති පහසුව හා විවේකය තුළ ඇති අසීමිත වූ සතුට හා සැනසීම මැනවින් ප්‍රකට වන බව ප්‍රකාශ කළහ .

සාමාන්‍ය මිනිසා මෙන් ම සෙසු සත්වයෝ ද රංචු ලෙස වාසය කිරීම හා ලැදියාවෙන් සිටීමට ආසා කරති. හුදකලා වාසය ප්‍රිය නොකරති. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ මෙන්ම, වීතරාගී පුද්ගලයෝ හුදකලාව වාසය ප්‍රිය කරති. නිහඬ බවට ඇලුම් කරති. ඝෝෂාකාරී පරිසරය බැහැර කරති.
පිඨක ගත බොහෝ සූත්‍ර දේශනා මගින් බුදුරදුන් ඇතුළු ශ්‍රාවකයෝ විවේක වාසය රුචි කළබව අතීත කතන්දර තුළින් පැහැදිලිය .

නිතර කතාවෙන් කාලය ගතකිරීම, සමූහ වාසයෙහි ඇලීගැලී සිටීම කෙනෙකු පිරිහීමට හේතුවක් වන බව අවධාරණය කොට තිබීමෙන් එය පැහැදිලි ය.

කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේකය තෙවැදෑරුම් ලෙස විසුද්ධි මග්ගයෙහි සඳහන් වේ.

පංචකාම ලෝකයට හා වස්තූන් ට එක්ව වාසය කරන්නෙකුට කාය විවේකයක් අත්දැකිය නොහැකි ය. අකුසල චේතනා හෙවත් කෙලෙස් ධර්මවලින් සිත නිදහස් කර ගැනීම චිත්ත විවේකයයි.

උපධි විවේකය යනු උපධි සංඛ්‍යාත ආශ්‍රව ධර්මයන්ගෙන් සිත සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමයි.

විමුක්තිය සාක්‍ෂාත් කළ පුද්ගලයන්ට ආවේණික විවේකය මෙයයි. මේ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේ විවේකය යනුවෙන් අදහස් කෙරෙන දෙයට වඩා අතිශයින් ම වැඩි යමක් ධර්මය තුල හා එයින් අදහස් කොට ඇති බව පැහැදිලි කර ගත් යුතුය.

බුදු වදනට අනුව,විවේකය යනු… භෞතික ව පමණක් නොව, ආධ්‍යාත්මික වශයෙන් ද හුදුකලාසේ වාසය කිරීමයි. භෞතික ලෝකය හා සමාජය සමඟ මෙන් ම අකුසල සිතිවිලි හා සම්බන්ධ කෙලෙස් බැදීම් ද සිඳ දැමීම සැබෑ විවේකය ලෙස අර්ත ගන්වයි.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු මූලික සේ ගෙන භෞතික වස්තු එක් රැස්කොට, ගොඩ ගසාගත් තරමට ම කායික විවේකය අහිමි වේ. කායික වශයෙන් එය එසේ වෙද්දී සියල්ල නඩත්තු කරමින්, පාලනය කරමින්, ඒ ගැන සොයා බලමින් කටයුතු කිරීමට සිදුවන නිසා කායික විවේකයටද එයින් බාධා පැමිණේ.
චිත්ත විවේකයට බාධා පමුණුවන්නේ තමන් තුල වූ අකුසල චේතනාවන් ය. සිත විවිධ අරමුණු ඔස්සේ හඹා යමින්, සංකල්ප, සිතිවිලි, විතර්ක අදහස් ප්‍රතිනිර්මාණය කරන නිසාම, චිත්ත විවේකයට බාධා පැමිණේ. සිතිවිලි සංකීර්ණ වන තරමට ම මානසික අසහනය හා ආතතිය වර්ධනය වේ.

වර්තමාන මිනිසා තුල පුදුමාකාර යේ එක්රැස් කිරීමක් සිදුවෙමින් පවතී. එයින් ඔවුන් කෙතෙක් අවිවේක වී ඇත්ද යනු තමන් වත් නොදන්නා තරම්ය .

ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි කරගෙන තිබේ. එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය, අසහනය, කළකිරීම, නින්ද නොයාම ආදී මනසික පීඩාවන්ට ද වර්තමාන මිනිසා ගොදුරු වී සිටී.

මෙලෙස ඇතිවන ආතතියන් සමනය කරගැනීම සඳහා මීලගට, මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට යොමුවීම හේතුවෙන් ඇතමෙකු මහත් ව්‍යසනයකට ද නොදැනීම පත්ව සිටීම වත්මනේ බොහෝ තැන් සාක්ශි ගෙනෙයි.

ඉහතින් දැක්වූ නිදර්ශනයට අනුව බුදුරදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කළේ කායික විවේකය සඳහා ය. සියලු කෙලෙස් ප්‍රහීණ කළ උන්වහන්සේට මානසික විවේකයක අවශ්‍යතාවක් ඉස්මතු නොවේ. විශාල පිරිසක් හා එක්ව වාසය කිරීම උන්වහන්සේගේ කායික විවේකයට බාධාවකි.

ආධ්‍යාත්මික විමුක්තිය හා ශාන්තිය සාක්ශාත් කළ වීතරාගී උතුමෝ හුදකලා වාසය ප්‍රිය කළ බව ථෙර-ථෙරී භාව ගීතාවලියෙන් පැහැදිලි වේ.
සමූහ වාසය විවිධ අර්බුද නිර්මාණය කරන බව පැහැදිලි කරුණකි.

එහෙත් පැහැදිලිව වටහා ගත යුතුයි ,සමාජ ජීවිතය ප්‍රතික්‍ෂේප කිරීමක් බුදු සමයෙන් උගන්වා නැති බව.

ඇලීම් ගැටීම්වල ආදීනව දකින තැනැත්තා කගවේණෙකුගේ අඟක් සෙයින් හුදකලා වාසය ප්‍රියකරන බව ජනප්‍රවාද ප්‍රකාශ කරයි.
මෙසේ හුදකලා වාසයට යොමු වීම මානසික ආබාධයක් නිසා ඇතිවන්නක් නොවේ. එය විශාල පිරිසක් හා එක් ව වාසය කිරීමෙන් ඇතිවෙන කායික හා මානසික අවිවේකය පදනම් කරගත් ආදීනව දැකීම නිසා වන අවබෝධයේ ප්‍රතිඵලයක් ලෙස නිරන්තරයෙන් සිතීමට පුහුණු කරන්න.

මෙම පිළිවෙත නිසා ආරම්භයේ සිටම බෞද්ධ ආරාම සකස් කෙරුණේ නිහඬ පරිසරයක . ඒ බව ඔබට දැන් පසක් වනු ඇත.

මිනිසුන් නිතර නොගැවසෙන ආරණ්‍ය සෙනසුන්, බහුල ව තෝරා ගත්තේ ඒ හෙයින් ය.

ගල්ලෙන් වැනි ස්වභාවික ස්ථාන වීතරාගී උතුමන්ගේ සිත්ගත් ස්ථාන වේ. මෙවැනි නිහඬ පරිසරයක් තෝරා ගැනීම නිසා භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස ඉතා කඩිනමින් විමුක්තිය සාක්‍ෂාත් කරගෙන උපධි විවේකය අත්පත් කරගත්තහ.

සමූහ වාසය මගින් ඇති කෙරෙන විවිධ අර්බුද සූත්‍ර තුලද ඇතුළත්ය. ස්වකීය රංචුව තුළ ඇතුට මුහුණ දීමට සිදුවූ අර්බුද විශාල ය.

බෞද්ධ ආරාමයක තිබිය යුත්තේ සිත නිවෙන නිශ්චල වටාපිටාවකි.

එහි වෙසෙන පැවිද්දන්ට මෙන්ම බාහිරින් පැමිණෙන ගිහියන්ට ද එය සිත නිවෙන තැනක් මිස අසහනකාරී ඇවිලෙන සුළු සිතක් නො විය යුතු ය.

එහෙත් විවිධ විශම ආකල්පවලින් මෙහෙයවන හිත් සහිත පංචකාම ලෝකයේ අතරමං වූ ඇතැම් ගිහි පැවිදි පිරිසට එවන් පරිසරයක් නිර්මාණය කරගැනීමට අපහසු වී තිබේ.

කායික මෙන් ම, මානසික ව අවිවේකී ව ගතකිරීම උතුම් ජීවිතයක අරුත්බර ස්වභාවය ඈතට විසි කරයි. අවිවේකි ජීවිතයම කෙලෙස් වැඩීමට මනා ඉඩක් ලබා දෙයි.

බොහෝ සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීම …. සංකීර්ණ පරිසරයක ජීවත්වීම වර්තමාන සමාජය තුළ ඇගයුමට ලක්වුව ද විශාල පිරිසක් වෙසෙන සංකීර්ණ පරිසරයක ගතකරන අවිවේකී ජිවිතය දුක් සහිත අපහසු එකක් බවත්, අවම සමාජ සම්බන්ධතා සහිත, විවේකී ජීවිතය කායික මෙන් ම මානසිකව ද සැපවත් වීමට හේතුවක් බවත් බුදුරදුන්ගේ පාරිලෙය්‍ය ගමනින් සනාථ අතර එහි නිදහස… වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අර්ථ දැක්විය හැකිය .

කෙලෙස් වර්ධනය වන අවිවේකී ජීවිතයෙන් මිදී නිදහස් දිවියක උරුමකරුවෝ වෙමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here