විවාහ වෙන්න කලින් ‘Room’ වලට ගොඩවැදෙන්න එපා මගෙ දුවේ

0
3


එදා පොල්ගහමුල අධ්‍යාපන ආයතනයට අලුතෙන් ළමයි බඳවාගන්න දවසක්. උදේ ඉඳලම කාර්යාලය අවට දරුවොයි දෙමාපියොයි පිරිලා. කොටින්ම කියනවානම් අපිට කාර්යාලයට ඇතුළුවෙන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා මම කාර්යාලයට ඇතුළු නොවී ඒ අසළ තියෙන අපි කවුරුත් තේ බොන කැන්ටිමට ගියා. කැන්ටිමෙත් දෙමාපියෝ පිරිලා. මම හැමදාම ඉඳගන්න පුටුවේ වාඩිවුණා. කැන්ටිමේ මුදලාලි ඒ පුටුව මටම වෙන්කරපු පුටුවක්. එතෙන්ට එක මහත්තයෙක් ආවා.

සර් මට ටිකක් සර් එක්ක කතා කරන්න ඕන. මගේ අයියගේ දුවව අද පංතියට ඇතුළු කරනවා. එයාගේ තාත්තා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. එයාගේ අම්මා මේ දෙන්නව දාලා වෙනත් විවාහයක් කරගත්තා. මේ ළමයා තනිවුණා. මටත් දුවලම දෙන්නෙක් ඉන්නවා. මට මේ දුව අනාථ කරන්න බැහැ. මම අපේ දුවලව වගේම මේ දුවව බලාගත්තා. උසස් පෙළත් හොඳින් සමත් වුණා. ඒත් සරසවියේ දොර වැහුණා. ඉතින් මට හිතුණා දුවගෙ උපාධිය බාහිරව හරි කරලා දෙන්න. අපේ නෝනා මූණට නොකිව්වත් මේ දුව හදාගත්ත දවසෙ ඉඳලම මෙයා එයාගෙ හිතට බරක්. හැබැයි එයා ඒක පෙන්නන්නේ නැහැ. අපේ දුවලටත් වඩා මේ දුව හරිම තැන්පත් කෙනෙක්. විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණාට පස්සේ මෙයාගේ හිත හොඳටම බිඳවැටුණා. දිගින් දිගටම කල්පනා කර කර හිටියේ. ඉතින් මට හිතුණා දුව සර්ගේ පංතියට සම්බන්ධ කරන්න. අනේ සර් මං වෙනුවෙන් මේ දුව හොඳට බලාගන්න. කිසිම දඩබ්බර හිතුවක්කාර ගතියක් දුවගේ නැහැ. එකම ප්‍රශ්නේ උසස් පෙළ ප්‍රතිඵල නිසා අධ්‍යාපනයට තිබුණ උවමනාව නැති වෙච්ච එකයි.”

ඒ කතාව කියද්දී මේ දුවත් මේ ඔක්කොම අහගෙන එතැනම හිටියා. නමුත් ඈ තුළ ඒ හැටි උනන්දුවක් පේන්න තිබුණේ නෑ. ඒකට හේතුව මම දැනගත්තෙ ටික කාලෙකට පස්සේ. දුව ඉගෙනගෙන තිබුණේ හොඳ සැප පහසුකම් තියෙන ඉස්කෝලෙක. අපේ පොල්ගහමුල පංතියේ සෙනඟ හිටියට එතැන කිසිම සැප පහසුකමක් ඇති තැනක් නෙවෙයි. හිටියෙත් සාමාන්‍ය මට්ටමේ දුවලා පුතාලා. පොහොසත් මධ්‍යම පංතියේ දරුවෝ එතැන හිටියේ නැහැ. දුවට ආව දාම පංතිය එපාවෙලා තිබුණේ ඒකයි. තමන්ගේ අයියගේ දුවට හොඳ අනාගතයක් උදා කරලා දෙන්න කියලා ඒ යහපත් සහෝදරයා දුව පංතියට භාරදීලා ගියා. එදා ඉඳලා ඒ දුව හිටියේ පංතියේ ඉස්සරහම පේළියේ. එයාව උදේම ගෙනැත් ඇරලන හින්දා දුවට හැමදාම ඉස්සරහ පේළිය වෙන්වුණා. කිසිමදාක මේ දුව පංතියෙ පිටිපස්සේ හිටියේ නැහැ. මම ලියන්න දෙන හැම නිබන්ධනයකටම ඒ දුව උත්තර ලිව්වා. දවසෙන් දවස මට දැනුණා එයා ටික ටික අපේ පංතියේ සංස්කෘතියට හැඩගැහෙන බව. දුව නිතරම ගැහැනු ළමයින් ළඟ මිසක් පිරිමි ළමයි ළඟ ගැවසෙන බව පෙනුණේ නැහැ. ඒ දුවගේ තිබුණ පැහැබර බව හා දයාබර බැවින් පිරුණු පෞරුෂය නිසා පංතියේ ළමයින් ඇයට ගෞරව කළ බවක් පෙනුණා. ඒත් දවසක් දුව ඇවිත් මට එකම පැමිණිල්ලක් කරා. ඒ එයා පිටිපස්සෙන් එන පිරිමි ළමයෙක් ගැන.

ඒ පිරිමි ළමයත් මගේ පංතියේ ඉඳපු හොඳම දරුවෙක්. ඒ දුව ඒ පිරිමි ළමයට කියලා තිබුණා අපි සහෝදරයන් වගේ ආශ්‍රය කරමු. හැබැයි විවාහ වෙන්න, යාළුවෙලා ඉන්න එයාට බෑ කියලා. ඉතින් ඒ පිරිමි ළමයා මගේ ළඟට ආවා. මම කිව්වාපුතේ ඒ දුව පිටට පේන්න ලස්සනට හිටියට ඒ දුවට ලොකු අභියෝගයක් තියෙනවා ජීවිතය ගැන. එයාගේ අම්මා නැහැ. තාත්තත් හිටියට වැඩක් නැහැ. ඒ මදිවට හැදෙන්නේ බාප්පයි පුංචියි එක්ක. ඒ දුවට ඕන කසාදයක් නෙවෙයි, මේ නරාවළෙන් ගොඩ එන්න ක්‍රමයක්.” අනේ දුවේ ඒ පිරිමි ළමයා ඒක පිළිගත්තා. එදා ඉඳලා අපි ළමයි එක්ක විවිධ ගමන් බිමන් යද්දි ඒ දුවගේ ආරක්ෂකයා වුණේ ඒ පුතා. ඉතින් ඒ පිරිමි ළමයා නිසා මේ දුවට පිරිමි ළමයි ගැන ඇතිවෙලා තිබුණේ ලොකු ගෞරවයක්.

ඔහොම යද්දී මේ දුව ඉගෙනත්තා විතරක් නෙවෙයි පංතියේ අනෙකුත් වැඩවලටත් උදව් කරා. පංතියේ සමිතියේ නිලතල අරගෙන ළමයිව වැඩවලට එකමුතු කළා. වරක් අපේ පංතියේ දුවකට සර්පයෙක් දෂ්ට කරලා මියගියා. ඒ ළමයගෙ අවමඟුලේ සියලුම කටයුතු කළේ මේ දුවගේ මූලිකත්වයෙන්. මේ දුව මූලික වෙලා විශාල මුදලක් එකතු කරලා ඒ දුප්පත් අම්මට දුන්නා. පංතියේ ළමයි කලින් හිතාගනෙ හිටියෙ මේ දුව හරිම ආඩම්බර උද්දච්ච ළමයෙක් කියලා. පස්සේ තමයි ළමයින්ට තේරුණේ ඒ දුව කොච්චර අහිංසක ළමයෙක්ද කියලා.

මට දියවැඩියාව හැදිලා තරමක් රෝගී වුණු කාලයක් ආවා. ඒ හැමදාකම සතිඅන්ත පංතියට එනකොට මට කොහොඹ කොළ යුෂ හදලා ගෙනත් දුන්නා. ඒ දුව කියනවාමට අප්පච්චි වුණේ මගේ බාප්පා. ඊළඟට මට පියබස කියලා දුන්නේ මගේ සර් කියලා. ‘මව්බස’ අම්මා කියලා දුන්නට ලියන බස කියලා දෙන්නේ ගුරුවරුනේ. ඒක ඒ දුවගේ අලුත් වචනයක්.

කාලය ගෙවිලා ගියා. විභාග ප්‍රතිඵල නිකුත් වුණා. දුව උපාධිය පංති සාමාර්ථයක් එක්ක සමත් වුණා. ඒත් විවාහයකට ඉක්මන් වුණේ නැහැ. ගුරු පත්වීමක් ලැබුණා. පේරාදෙණි සරසවියට ඇවිත් ශාස්ත්‍රපති උපාධියත් දිනාගත්තා. දැන් ඒ දුව සිංහල විෂය පිළිබඳ ප්‍රධාන ගුරු උපදේශිකාවක්. ඊටපස්සෙ දුව විවාහ වුණේ විවාහයකට ගැළපෙන චාරිත්‍ර සහිත උත්සවයකින්.

මම දුවලට නිතරම කිව්වා කවදාවත් පැනලා යන්න එපා. පෝරුවකට නැගලා අම්මලට තාත්තලට නෑයන්ට කතා කරලා ගෞරවාන්විත ක්‍රමයකට යන්න. කවුරුහරි පැනලා යන්න කතා කරොත් පැනලා යන්න මම හොරෙක් නෙවෙයි කියන එක කියන්න කියලා. විවාහ උත්සවයක් ගොඩක් දුරට ජීවිතේටම එන්නේ එක පාරයි. මගේ දුව ඒ කාර්යය ඉටු කරලා ඒ බව මට දැනුම් දුන්නා. අද ඇය දුවෙකුගෙත් පුතෙකුගෙත් මවක් වගේම අභිමානවත් සැමියෙකුගෙත් පතිනියක්. මට තාම මතක් වෙනවා ඇය බාප්පා එක්ක ඇවිත්, මළානික දෑසින් අවඥාවෙන් අපේ පංතිය දිහා බලපු විදිය. ඉතින් දුවේ මම මගේ අනෙක් දුවලගෙනුත් ඉල්ලන්නේ ඔබව සතපවන්න බලාගෙන කොච්චර කාමර තිබුණත් ඒවට යන්න කොච්චර ආරාධනා ලැබුණත් ඒකට ඉක්මන් වෙන්න එපා. දූලට ඉලක්කයක් තියාගන්න. විවාහ උත්සවයට සුළු මුදලක් වියදම් කරන්න. චාම් ඒත් ආඩම්බරකාර දුවක වගේ විවාහ ලෝකයට ඇතුළුවන්න. සැමියා හා හරි හරියට ගැළපෙන වැදගත්කම එන්නේ දුවේ අධ්‍යාපනයෙන්. ඉඩම් කඩම්, දේපළ, වතුපිටිවලින් නෙවෙයි. අර මම කිව්ව දුවට බාප්පා සල්ලි දුන්නා. අනෙක් දරුවෝ බාහිරින් ආදරය, අවධානය හොයන්න පෙළඹෙන විදියේ හේතු ඕනෑවටත් වැඩිය මේ දුවගේ ජීවිතයේ තිබුණා. හැබැයි ඒ මොහොතේ තාවකාලික සැනසීමක් හොයන්න ගියානම් ඒ දුවටත් සදාකාලික සැනසීම මඟහැරෙන්න තිබුණා. ඒ නිසා මගෙ දුවේ, ඉගෙනගන්න තියන කාලෙ හොඳට ඉගෙනගන්න. දෙමව්පියොත් ඒ වෙනුවෙන් දරුවන්ට හරි මාර්ගය පෙන්වන්න. ඒක තමයි මගේනම් ඉල්ලීම.

අත්තනායක එම්. හේරත්



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here