වැස්ස වෙලාවට හරියටම ගැළපෙන hot coffee වර්ග 03 ක් ඉක්මණින් හදමු…  – Sri News

0
20

වැස්සයි, කෝපියි අතර තියන්නෙ කියාගන්න බැරිතරම් සුන්දර බැඳීමක්නෙ. 

ඉතිං, මේ වැස්ස කාලෙ වැස්සෙ සද්දේ අහගෙන වැස්ස දිහා බලාගෙන උණුසුම් කෝපි කෝප්පයක් රස බලන්න තිබුණා නම් කොච්චර අපූරුද කියල අපි ගොඩදෙනෙක්ට හිතෙනවනෙ. 

Hot cappuccino, latte එහෙමත් නැත්නම් mocha රස විඳින්න cafe එකක් හරි restaurant එකක් හරි හොයාගෙන යන්නත් මේ වැස්ස වෙලාවෙදි අපහසුයිනේ. 

ඔන්න, ඒ නිසාම cafe එකක වගේ රසට, සුවඳට උණුසුම් කෝපි වර්ග තුනක් ගෙදරදීම ඉක්මණින්, පහසුවෙන් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනන් බලමු ඒ කොහොමද කියල?  

අවශ්‍ය ද්‍රව්‍ය

කෝපි කුඩු 

සීනි 

වතුර 

කිරි 

චොකලට් කුඩු

සාදාගන්නා ආකාරය 

(එක් අයෙක් සඳහා)

Cafe Mocha

මුලින්ම, වීදුරුවක් ගෙන එයට නටන කෝපි කුඩු මේස හැඳි 01 ක්, චොකලට් කුඩු මේස හැඳි 01 ක් සහ සීනි තේ හැඳි 02 ක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. 

දැන් එයට නටන උණු වතුර මේස හැඳි 03 ක් දමා සීනි දියවෙන තුරු හොඳින් කලවම් කරන්න. 

භාජනයක් ලිප තබා එයට කිරි කෝප්පයක් එකතු කර කිරි නටන තුරු තබන්න. 

උණු කරගත් කිරි සාදාගත් කෝපි මිශ්‍රණය සහිත වීදුරුවට වත්කර ගන්න. 

කිරි ඉතිරිවී ඇත්නම් එම කිරි ටික කෝප්පයකට දමා හැන්දක් හෝ විස්ක් එකක් ආධාරයෙන් ක්‍රීම් වනතුරු ගසාගෙන කෝපි උඩින් හැන්ඳකින් සෙමින් අතුරා ගන්න. 

ඔබ කැමති නම් උඩින් චොකලට් කුඩු ටිකක් ඉසගෙන පිළිඟන්වන්න පුළුවන්. 

Cappuccino 

තරමක් විශාල භාජනයක් ගෙන එයට නටන උණුවතුර මේස හැඳි 03 ක්, කෝපි කුඩු මේස හැඳි 02 ක්, සීනි මේස හැඳි 02 ක් එකතු කර විස්ක් එකක් හෝ හැන්ඳක් ආධාරයෙන් ක්‍රීම් එකක් වනතුරු හොඳින් ගසාගන්න. 

භාජනයක් ලිප තබා එයට කිරි කෝප්පයක් එකතු කර කිරි නටන තුරු තබන්න. 

දැන් සාදාගත් කෝපි මිශ්‍රණය සෙමෙන් ඔබ පිළිඟන්වන වීදුරුවට හෝ කෝප්පයට දමාගන්න.

ඊට උඩින් නටන තුරු රත් කරගත් කිරි සෙමින් වත්කර ගන්න. 

දැන් ඉතිරි කිරි ටික කෝප්පයකට දමා හැන්දක් හෝ විස්ක් එකක් ආධාරයෙන් ක්‍රීම් වනතුරු ගසාගෙන කෝපි උඩින් හැන්ඳකින් සෙමින් අතුරා ගන්න. 

කැමති නම් උඩින් චොකලට් කුඩු ටිකක් ඉස පිළිඟන්වන්න. 

Cafe latte 

මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප ¼ ක්, කෝපි කුඩු කෝප්ප ¼ ක් සහ සීනි කෝප්ප ¼ ක් එකතු කර හොඳින් කලවම් කරගෙන නටන තුරු රත්කර ගන්න. 

දැන් මේ නටවා ගත් කෝපි මිශ්‍රණය ඔබ කෝපි පිළිඟන්වන වීදුරුවට හෝ කෝප්පයට වත්කර ගන්න. 

එයට උණුසුම් කිරි කෝප්ප ¾ ක් එකතු කරගන්න. 

තවත් කිරි ටිකක් කෝප්පයකට දමා හැන්දක් හෝ විස්ක් එකක් ආධාරයෙන් ක්‍රීම් වනතුරු ගසාගෙන කෝපි උඩින් හැන්ඳකින් සෙමින් අතුරා ගන්න. 

දැන් පිළිඟන්වන්න පුළුවන්. 

ඔන්න ආකාර තුනකින් රසවත් කිරි කෝපි පිළියෙල කරන්නෙ කොහොමද කියල ඔබ දැන් දන්නවනේ. 

වැස්සේ සීතලට උණුසුම් වෙන්න රසට මේ විදිහට හදාගත්ත කෝපි කෝප්පයක් බොන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here