වැඩ කරන්න මෝටිවේෂන් එකක් නැද්ද? එහෙමනම් ඒකට හේතු මේවා වෙන්න පුළුවන්! – Sri News

0
3

ඔය සුද්දා මෝටිවේෂන් කියලා කියන්නේ යම් දෙයක් කරන්න තියෙන උනන්දුව, පෙළඹවීම, උද්‍යෝගය සහ ධෛර්‍යය කියන කාරණා එකතු වෙලා හැදෙන මෙව්වා එක ගැනනේ. ඉතින් මෝටිවේෂන් කියන එකත් හරියට වැස්ස වහිනවා, පායනවා වගේ තමයි. කාලෙකට තියෙන්න පුළුවන්, කාලෙකට නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය මෝටිවේෂන් කියන එක නැතිවුනහම අපිට වැඩ කරගන්න හරි අමාරුයි. කරන වැඩක ඵලදායිතාවය අඩුයි, කාර්‍යක්ෂමතාවය අඩුයි. කොටින්ම මෝටිවේෂන් එකක් නැති වුනහම අපි වැඩක් කරන්නේ කරන්න ඕන නිසා, නොකර ඉන්න බැරි කමට. ආන්න ඒ නිසා අපි සාමාන්‍යයෙන් උපරිම මෝටිවේෂන් එක නැති වුනත්, එදිනෙදා ජීවිතේදී පුළුවන් තරම් ප්‍රශස්ත උද්‍යෝගයකින්, පෙළඹවීමකින් ඉන්න එක වටිනවා. එහෙම ඉන්න නම්, ඔය මෝටිවේෂන් එකට කෙළවලා දන්න පුළුවන් දේවල් ගැනත් දැනගෙන ඉන්න ඕන. ආන්න ඒ දේවල් ගැන දැනුවත් කරන එක තමයි මේ කරන්න යන්නේ!

 

මොකද්ද මේ පැහැදිලි ඉලක්කයක් කියන්නේ? අපි හැමෝටම පුංචි කාලේ හීනයක් තියෙනවා මට මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගගනගාමියෙක් වගේ. හැබැයි ඒවා පැහැදිලි ඉලක්ක නෙවෙයි. පොඩි කාලේ එහෙම හීන තිබ්බට කමක් නෑ. හැබැයි වැඩිහිටි කාලෙදිත් තමන්ට පැහැදිලි ඉලක්ක නැති නම් අන්න ඒක ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට ගත්තොත්, ඕලෙවල් කරන කෙනෙක් තමන්ට දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා හිතන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක හීනයක් මිසක් ඉලක්කයක් නෙවෙයි. එතකොට ඉලක්කය වෙන්න ඕන ඒලෙවල් බයෝ කරන්න පුළුවන් විදියට ඕලෙවල් හොඳට ගොඩදාන එක. අන්න ඒ ඉලක්කය සපුරගත්තට පස්සේ මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන් ලෙවල් එකට ඒලෙවල් ගොඩදාන ඉලක්කය තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ පැහැදිලි, ලඟ ඉලක්ක හැම කෙනෙක්ටම තියෙන්න ඕන.

 

අද කාලේ වුනත්, එදා වුනත් පොදු සමාජය සමහර වෙලාවට පොදු මිනුම් දඬු තියාගෙන ඉන්නවා මිනිස්සුන්ගේ සාර්ථකත්වය මනින්න. සමහර වෙලාවට දැන් කාලේ නම් මනුස්සයෙක් කසාදයක් බැඳලා, තමන්ට කියලා ගෙයක් හදාගෙන, වාහනයක් තියාගෙන ඉන්නවා නම් තමයි සාර්ථකයි කියලා පොදු සමාජයේ සමහරු හිතන්නේ. හැබැයි ඇත්තටම සාර්ථකත්වය මනින්නේ එහෙමද? ඒ දේවල් අත්පත් කරගන්නේ නැතුව සාර්ථක වෙන්න ක්‍රම නැද්ද? ආන්න ඒ හිතිවිල්ල තමයි අපි අපේ හිතේ වෙනස් කරගන්න ඕන. මූලිකවම අපි සමාජේ අනික් අයට ඕන විදියට නටන්න යන්න ඕන නැහැනේ. තමන්‍ට තමන්ගේ ඉලක්කයක් තියෙනවා නම්, කසාද, වාහන, ගෙවල් වලට ප්‍රමුඛත්වය දෙන්න ගිහින් තමන්ගේ ඉලක්කය නැති කරගන්න ඕන නැහැ. එහෙම නැතුව තමන්ට මිනිස්සු කියන විදියට කසාදයක්, ගෙයක්, වාහනයක් නැහැනේ කියලා හිතුවොත් ඒකම ඇති තමන්ව අධෛර්‍යයට පත් වෙන්න!

 

දෙන්නෙක් ඉපදෙන්නේ එකම ඉස්පිරිතාලෙක වෙන්න පුළුවන්, එකම අවුරුද්දක -සමහර විට එකම මාසෙක- වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනාට දෙන්නෙක් කවදාවත් එකම විදියට ජීවිතේ ගෙනියන්නෙ නෑ. ඒ දෙන්නගේ ජීවිතේ දේවල් සිද්ධ වෙන කාලරේඛාවන් එකම වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා කවදාවත් තමන්ව අනික් අය එක්ක සංසන්දනය කරලා වැඩක් වෙන්නෙත් නෑ. අපි ගොඩක් වෙලාවට අනික් අයත් එක්ක අපිව සංසන්දනය කරන්නේ බොහොම භෞතික, සිල්ලර කාරණා වලින්. එහෙම බලලා අනික් අය අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතනවා. අපිට එහෙම පේනවා. ඔන්න ඉතින් අපි අධෛර්‍යමත් වෙනවා. අපිට හිතෙන්නේ නෑ අපිට අපේ වේගෙන් අපේ ඉලක්ක වලට යන්නත් පුළුවන් කියලා. අනික් අයත් එක්ක රේස් දුවන්න ඕන නැහැයි කියලා!

 

මේක බොහොම සරල කාරණාවක්. අපි දෙයක් කරන්නේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. අපි මහන්සියෙන් වැඩ කරනවා. හැබැයි ඔන්න අපි හිතන විදියට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඔන්න අපේ මෝටිවේෂන් එක කුඩු වෙනවා. මොකටද අසාර්ථක වෙන්න මහන්සි වෙලා වැඩ කරන්නේ කියලා හිතනවා. තවත් මහන්සි වුනත් ඔච්චර තමයි නේද කියලා හිතෙනවා. ආන්න එහෙම වැටෙන්න බය මනුස්සයෙක්ට කවදාවත් දියුණු වෙන්න, ඉස්සරහට යන්න බෑ. ඇයි? ජීවිතේ හැටි සරලවම ඔහොම තමයි. සාර්ථක වෙන්න කලින් අසාර්ථක වීම් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වැටි වැටී වුනත් නැගිටින්න ධෛර්‍යය තියෙන මනුස්සයෙක්ට තමයි ඉස්සරහටම යන්න පුළුවන්. ආන්න ඒ සරල ඇත්ත තේරුම් ගත්තොත්, වැටුනා කියලා අපේ මෝටිවේෂන් එක කුඩුපට්ටම් වෙන්නෙ නෑ! අසාර්ථක වුනා කියලා සාර්ථක වෙන්න යන ගමන නැවතෙන්නෙත් නෑ!!

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here