ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනාගන්නට වැදගත් වෙන ටිප්ස් කීපයක්! – Sri News

0
3

පහුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවුණු දවසේ ඉඳලා ලංකාවේ බොහෝම දෙනෙක් ජීවත් වෙන්නේ බොහොම අවිනිශ්චිත හැඟීමකින් කියන එක බොරුවක් නෙවෙයි. සමාජ මාධ්‍ය ජාල අවහිර කරලා තිබුණත් බොහෝමයක් දෙනෙක් VPN දාගෙන ෆේස්බුක් එන්නෙත්, විනාඩියෙන් විනාඩියට බ්‍රේකින් නිව්ස් ගහනවද කියලා බලන්නෙත් මේ අවිනිශ්චිත හැඟීමත් එක්ක තමයි. හැබැයි බෝම්බ තර්ජනය වගේම තවත් තර්ජනයක් තමයි ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරී යෑම. ඒ කියන්නේ දැන දැනම හරි නොදැනම හරි වැරදි තොරතුරු, නොමඟ යවන සුළු තොරතුරු ඇතුළත් පුවත් බෙදාහරින්න අපිත් සහයෝගය දෙන එක. කොහොමද එහෙම වෙන්නේ? සරලයි. අපිට එන තහවුරු නොවුණු ප්‍රවෘත්තියක් අපි විශ්වාස කරනවා. ඒ එක්කම තවත් කෙනෙක්ට දැනගන්න ඒක අපිත් ෂෙයාර් කරනවා. අන්න එතකොට ඒ වැරදි තොරතුරු ලැව්ගින්නක් වගේ පැතිරී යනවා. මේ විදියේ ව්‍යාජ තොරතුරු රටේ ආරක්ෂාවට පවා තර්ජනයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

එහෙමනම් වැරදි තොරතුරු අඩංගු, නොමග යවන සුළු තොරතුරු සහිත ව්‍යාජ පුවත් දැක්ක තැන හඳුනාගන්නේ කොහොමද? මේ ඒක හැකිතාක් දුරට කරන්න මාර්ගෝපදේශනයක්!

 

මෙන්න මේක ජනප්‍රිය උපක්‍රමයක්, නොමඟ යවන සුළු තොරතුරු සපයනකොට. ඒ තමයි සිරස්තලයේ කුතුහලය, උද්වේගය අවුස්සන දෙයක් සඳහන් කිරීම. ගොඩක් වෙලාවට එතකොට අපි ෆයර් වෙලා ඒ කාරණය බෙදාගන්නවා. හැබැයි අන්තර්ගතයේ තියෙන්නේ මොනවද කියලවත් බලන්නෙ නෑ. ක්ලික් බේට් කියන්නෙත් ඔව්වට තමයි. ආන්න ඒ නිසා කරුණාකරලා නිව්ස් එකක් වුනත්, ආටිකල් එකක් වුනත් සිරස්තලයෙන් හෝ හඳුන්වා දීමෙන් නොනැවතී දිගටම කියවන්න. කියවනකොට අපිට තේරෙනවා සිරස්තලයේ මවලා තියෙන යකා ඇත්තටම ඉන්නවද කියන එක.

 

නිල වශයෙන් තහවුරු නොවුණු ප්‍රවෘත්තියක් අපිට ලැබිලා තියෙනවා නම්, ප්‍රවෘත්තිය ඇත්තද කියලා අපිට ෂුවර් එකක් නැතිනම්, බලන්න මේ ප්‍රවෘත්තිය අපිට දෙන්නේ කවුද කියලා. අතින් අතට ෂෙයාර් වෙලා එන නිව්ස් එකක් නම් බලන්න ඔරිජිනල් මූලාශ්‍රය මොකද්ද කියලා. මේ ප්‍රවෘත්තිය අපිට ගේන්නේ එක්කෝ බොරු නිව්ස් ප්‍රචාරය කරන්නම ප්‍රසිද්ධ වුණු මූලාශ්‍රයකින් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දේශපාලන ගැතිභාවයක් තියෙන හෝ එක් දේශපාලනික පාර්ශවයක අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මූලාශ්‍රයකින් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මෙච්චර කල් දැකලා නැති අලුත්ම මූලාශ්‍රයකින් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක නිව්ස් එක වැරදි වෙන්න හෝ වැරදි තොරතුරු අන්තර්ගත වෙන්න හොඳ ඉඩක් තියෙනවා.

හැම වෙලාවකම විශ්වාසනීය, කාලයක් තිස්සේ පවතින ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ඔස්සේ ඔබේ තොරතුරු ලබාගැනීමේ වාසිය වෙන්නේ, එතනින් එන ප්‍රවෘත්ති හැකි උපරිම වශයෙන් නිරවද්‍යතාවය තහවුරු වෙලා එන එක තමයි.

 

සාමාන්‍යයෙන් හොඳ ජනමාධ්‍ය භාවිතාවක් තමයි, තමන් ඉදිරිපත් කරන කරුණු කාරණා හොයාගත්තේ කොහොමද කියන එක ඉදිරිපත් කරන එක. ඒ කියන්නේ නිකම්ම මෙහෙම වුනා, අරෙහෙම වුනා කියනවට වඩා, මෙන්න මේ නිලධාරියා පවසයි වගේ නම් ගම් සහිතව කියන එක විශ්වාසනීයයි. ඒ වගේම හෙළිදරවු කරන්න බැරි මූලාශ්‍ර වලින් තොරතුරු ගත්තා නම් අඩු තරමින් රජයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කරයි කියලාවත් තියෙනවා. එහෙම නැතුව “මෙන්න මෙහෙමයි වුනේ”, “මෙහෙම ඇවිත් අරෙහෙම කළා” වගේ බලාගෙන හිටි විදියට කරුණු කාරණා ඉදිරිපත් කරන නිව්ස් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි.

 

මෙන්න මේක බොහොම වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට කාලෙකට කලින් වුණු සිදුවීමක් ගැන තියෙන ප්‍රවෘත්තියක්, ඊට සමාන සිදුවීමක් වුණු ගමන් උඩට ඇදිලා එන ප්‍රවණතාවයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ලංකාවේ එක තැනක බෝම්බ පිපිරීමක් කියපු ගමන් එහෙන් මෙහෙන් ෂෙයාර් වෙලා අපේ අතට එන්න පුළුවන් ලංකාවේ මෙන්න මෙතනත් බෝම්බයක් පිපිරිලා, මෙච්චර ගාණක් මැරිලා කියලා මාධ්‍ය ප්‍රකාශක කියනවා කියලා නිව්ස් එකක්. හැබැයි නිකමට වගේ නිව්ස් එකේ දිනේ බලනකොට මේක වෙලා තියෙන්නේ අවුරුදු පහළොවකට කලින් සිවිල් යුද්දේ වෙලාවේ. අන්න එතකොට අපි දන්නෙම නැතුව නොමග ගිහිල්ලා! ඒ නිසා අතට නිව්ස් එකක් ආපු ගමන් ෂෙයාර් නොකර, ඒක වෙලා තියෙන්නේ කවදද කියලත් පොඩ්ඩක් බලන්න. ෂුවර් නැතිනම් ඒ නිව්ස් එකේ තියෙන කරුණු පොඩ්ඩක් ගූග්ල් සර්ච් කරලා බලන්න.

 

ජෝක්ස් සහ පැරඩිත් මේ කාලේ නිව්ස් විදියට හුවමාරු වෙනවා. ඒකට එක උදාහරණයක් තමයි අර කකුලක් නැති බෝම්බ ඉවකරන බල්ලගේ කතාව. සාමාන්‍යයෙන් සිහිබුද්ධිය තියෙනවා කියලා හිතන්න පුළුවන් ඈයොත් ඒක හෝ ගාලා ෂෙයාර් කලා. හැබැයි ඇත්තටම ඒක එඩිට් කරලා හදපු පින්තූරයක් එක්ක ෂෙයාර් වුණු පැරඩි පෝස්ට් එකක්. ඒක සිහිබුද්ධියෙන් කියවගෙන යනකොට තේරෙනවා, ඒක ලියලා තියෙන්නේම උපහාසාත්මක ස්වරයකින් කියලා. ආන්න ඒ නිසා තමන් ඇත්තටම සීරියස් වගේ පේන්න ලියපු උපහාස රචනයක් සීරියස් නිව්ස් එකක් විදියට ෂෙයාර් කරන්න යනවද කියන එක ගැන තව පාරක් හිතලා බලන්න ෂෙයාර් කරන්න කලින්.

 

මේක ෆේක් නිව්ස් සම්බන්ධයෙන් බොහොම ජනප්‍රිය කාරණයක්. ඒ තමයි බොරු ෆොටෝ ෂෙයාර් වෙන එක. ඒකට එක උදාහරණයක් තමයි, පහුගිය දවසේ කල්මුණේ සායින්දමරුදු වල ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර සිද්ධ වුණු වෙඩිතැබීමක් සහ වෑන්‍ රථයක් පුපුරවා ගැනීමක් ගැන කියන නිව්ස් එකක් එක්ක ෂෙයාර් වුණු, බය හිතෙන විදියට ගිනිගන්න වාහනයක ෆොටෝ එකක්. හැබැයි සැලකිල්ලෙන් බැලුවහම පේනවා මේ ෆොටෝ එක එඩිට් කරලා තියෙන බව. ගූග්ල් ඉමේජ් සර්ච් එකක් ගහලා බැලුවහම පේනවා මේක අපේ රටේවත් සිද්ධ වුණු දෙයක ෆොටෝ එකක් නොවෙන බව.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here