වතුර හිඟ වුවත් දිරිය අඩු නොවූ වියලි කලාපීය ජීවිත – Life with the drought – Sri News

0
38

වතුර නැතිකම අපේ වියලි සහ ශුෂ්ක කලාපීය ජනයා මුහුණපාන ප්‍රබල ගැටළුවකි. ඇතැම් පලාත්වලට දැන් දැන් වාරිකර්මාන්ත ජල යෝජනා ක්‍රම ආදිය නිසා ජලය ලැබී සරුසාර වී ඇත. එහෙත් අතීතයේ ජල පහසුව නිසිපරිදි නොවූ කාලයේ ජලය සොයාගන්නට ගත් වෙර වීරිය ඒ පැරණි ජනයාට තවමත් මතක තිබේ. වාරිමාර්ග සහ ජල යෝජනා ක්‍රමවලින් ප්‍රමාණවත් ලෙස  ජලය නොලැබෙන ඈත පලාත්වල දුෂ්කර පැතිවල ජනයා තවමත් නිරන්තරයෙන් ජලය සපයාගැනීම පිණිස සටනක නිරත වී සිටිති.

 

දැන් බොහෝ අර්ධ ගම් පරිසරය තුල පිරිසිදු පානීය ජලය වන්නේ පාරේ පයිප්පයේ පමණි. පාරේ පයිප්පය යනු එයටම අනන්‍ය වූ සංස්කෘතියකි. විටෙක දින දෙක තුන එහිද වතුර නැති අවස්ථා වේ. පාන්දර දෙක තුන හතර වනවිටත් ජනයා පයිප්පය අසලය. ඔවුන් සිය ජල අවශ්‍යතා පිණිස, පයිප්පයේ ජලය පැමිණෙන මහ පාන්දර නැගිටගෙන ජලය ගෙනගොස් රැස්කර තබාගනිති. බැරල් සහ කුඩා ටැංකි ඔවුන්ගේ ජල රැස්කරන උපක්‍රම විය. ජලය ඇදීමට බයිසිකලයේ ලැගේජයේ බැඳි විශාල බූලියකි. ඇතැම් විට කුඩා ප්‍රමාණයේ ජල කෑන් දෙකක්ද බයිසිකලයේ ඉදිරිපස තිබේ. දිවා කලට පයිප්පයට එන ගෑනු එක් අතක කලගෙඩියකි. ඇතැම් තැනක පයිං යන්නට බෑ යැයි කැ ගසන දරුවාද උකුලේ ගන්වාගන්නා ඈ අනෙක් උකුලේ කලගෙඩිය තබාගෙන සැතපුම් ගණන් මග ගෙවා ගෙදරට වතුර කලගෙඩියක් ගෙන ඒ.

 

කිවුල් වතුර තිබෙන පලාත්වල ඉදහිට හොඳ වතුර තිබෙන ළිඳක්ද තිබේ. එවිට එම ළිඳටද පෙර පයිප්පයට පරිදිම පාන්දර සිට ජනී ජනයාය. කිලෝමීටර ගණන් ගෙවා ගෙන බයිසිකල් පැදන් එන ජනයාද වතුර කලගෙඩිය උකුලේ හොවාගෙන පැද්දෙමින් එන කාන්තාවන්ද ආදී ලෙස වතුර ගන්නට එන මහ සෙනගකි. පෙලක් වෙලාවට පිරිස අතර වචන හරඹද යන අවස්ථා වේ. කෙසේ වුවද තරහ වීමට උවමනා වුවද තරහ වීමට කිසිවෙකුට අවකාශයක් නැත. අද ඒ ලිඳෙන් වතුර ටික ගෙදර ගෙනගොස් නැවත හෙටද ඒ ළිඳට ඒ පිරිසම හමුවන්නට හෙට ද  පැමිණිය යුතුය. එවිට තරහ මරහ තබාගැනිමට අපහසුය. ඒ නැතත් වතුර ගෙනයන ගෙන ඒමට යන දීර්ඝ ගමනේ දී විස්තරයක් කතාකරන්නට කාන්සිය නිවාගන්නට ඕපදුපයක් දොඩාගන්නට ඉන්නේද ළඟපාත මිනිහාය. ඒ නිසා මිනිස්සු තරහ මරහ තිබුණද ඒවා යට වෙන්නට ඇර සැවොම එකතුව වතුර ගේන්නට යන ගමන යති.

 

නාන්නට මහා ළිඳක් හෝ කිවුල් වතුර ඇති ළිඳක් හෝ විශාල වාරිමාර්ගයක් තෝරාගෙන තිබුණි. ඒ අසල ජනයාට නම් පහසුවක් වුවද ඈත ජනයා ඇතැම් විට පැය ගණන් මග ගෙවා ඒ අදාල වාරිමාර්ගයේ හෝ ළිඳේ ජලය වෙත ඇදී ආ යුතුය. ගෙදර ඇති අඳින කියන කිලුටු දෙයක් වෙත් නම් එයද පොට්ටනි කොට ගත් ගැහැණු අමුණ, ඔය හෝ නාන ළිඳ වෙත යන්නේ රෙදි කෑලි ටිකද හෝදාගන්නා අදහසිනි. එහෙත් මහ සෙනගක් සිටින විට රෙදි පෙරදි හරිහැටි හෝදාගන්නටද ඉඩකඩක් නැත.

 

මගුල් දාන ආදි උත්සව අවස්ථාවන් තිබෙන විට ජලය ගෙන ඒමට ලෑන්ඩ් මාස්ටර් රථයක් යොදාගනී. එහි පැටවූ බැරල කිහිපයක් කිලෝමීටර 7-8ක් තරම් ඈත ගොස් හෝ පුරවාගෙන ඒවායේ කටවල් රෙදි හෝ පොලිතීන් වලින් බැඳගෙන ඒමට ගැමියා පුරුදුව සිටී. ඒ වතුර නිවසේ උත්සව අවස්ථාවට වැදගත්ය. නිවෙස්වල මහා විශාල ජල ටැංකි නොමැත. ඉදින් බැරල වලම ජලය තබාගෙන අවශ්‍යතාවය පිරිමසාගෙන පාවිච්චි කරනු ලැබේ.

 

ගෙදරට ජලය රැගෙන එන්නේ බොහෝ දුර සිටය. එනිසාම එහි වටිනාකමද වැඩිය. වතුර ටිකක් නවාගන්නට කලය පෙරලන්නට වූ කල ඇතැම් කුඩා දරුවෝ කලයේ වතුර නාස්තිවෙන පරිදි තදින් ඇල කරන්නේ නොදැනුවත් කම නිසාය. “මොකද්ද බොල ඒ කරේ.. වතුර ටික නාස්ති කොළා නෙවද ඒ? කොයි තරං දුර ගිහින් අරං ආ වතුර ඩිංගද උඹ ඒ ඉහිරෙව්වේ?“ ආදී ලෙස කුඩා දරුවාට පවා වතුර අපතේ හැරීම යනු හොදින් බැනුම ඇසීමට යෙදෙන හේතුවක් විය. රැගෙන එන ජලය ටික එලෝලු හෝදන්නට රෙදි ටික හෝදන්නට වැය කළද ඒ ඉතුරු වතුර ටික ජලය හිඟ ගැමි ගොවියෝ නාස්ති කරන්නේ නැත. රෙදි ටික හේදූ වතුර ටික වැඩෙන පැලයකට දැම්මෝය. ඉඳහිට මුහුණ සේදීම ඇඟ සේදීම ආදී කටයුතු වුවද ගහක් කොලක් බෝගයක් අසලට ගොස් එය තෙමීයන පරිදි එයටද වතුර ටිකක් වැදෙන පරිදි ඇගපත දත කට සෝදා පිරිසිදු වීමට, ජලය හිග පැතිවල ගොවියෝ වගබලාගත්තෝය.

 

වරුසාව ලැබෙන විට ඒ ජලය ටික එක්රැස් කරගන්නට කුඩා හෝ වැසි පිහිල්ලක් ගම් ගෙවල් වල වහල කෙළවර විය. එයින් එකතු වන වතුර ටික කුඩා ටැංකියකට හෝ බැරල වලට එක්රැස් වේ. ඒ අවස්ථාවේදී මහ වරුසාවක් නම් එතෙක් නාන්නට ඇඟ හෝදාගන්නට හැතැප්ම ගණන් බඩ ගෑ ගැමියන්ට එය නාන්නට හිතෙන වෙලාවකි. රෙදි කඩක් යාන්තමින් ඇදගෙන වැහි පීල්ලට ළගට යන ගැමියා සීතලය මහ වැස්සය කියා සලකන්නේ නැතුව අර වැසි පිල්ලට ඔලුව අල්ලති. ඇතැම් විට සබන් ගා හෝ ඇඟ අතුල්ලන්නට වූ කල වැස්ස හිටිවනම නවති. එවිට දනි පනි ගා අතුල්ලාගෙන නැවත ඔලුව අල්ලන්නේ වැස්ස තුරල් වුනොත් නෑම අසම්පූර්ණ වන නිසාය.

 

වියලි කලාපීය වැව් බැදි රාජ්ජයේ පහත් බිම් වලට දියවර දෙනු පිණිස මින්නේරි වැව තැනූ මහසෙන් රජතුමා එකල වැසියෝ මින්නේරි දෙවියෝ ලෙසින් ගරුබුහුමන් ලැබීය. ජලය නැතිව තැවුනු ගමක ජනයාට වාරිමාර්ගයක් හරවා දුන් හෝ ජලය ටිකක් නල මාර්ගෙන් හෝ ලබා දීමට මැදිහත් වූ දේශපාලක තුමාද ඒ ගමට ටික කලකට වීරයෙකි. “ආණ්ඩුවේ සල්ලි වලින් වතුර දීලා දේසපාලුවෝ බැබලෙනවා” යැයි ආඩපාලි කීමට නල වතුරෙන් සැනහෙන නාගරිකයාට පහසුවෙන් හැකි වුවද ගැමියා වතුර නැතිව වින්ද අනන්ත දුක් කම් කටොළු දන්නේ ඒ ගැමියාමය. ඔහුට වතුර සම්පත ලැබීමට මැදිහත් වූ එතුමා යනු වීරයෙකි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here