ලෝකෙ ආදරණියම කතාව, “රොමියෝ ජුලියට්” මාර්කට් කරන්න වැලන්ටයින් ඩේ තෝරා ගත්තා – ජයනාත් බණ්ඩාර – Sri News

0
7


ග්‍රීක ඉතිහාසයේ පතුලටම ගොස් බලන කළ දෙවියන්ගේ අයිතියක් වී තිබූ ප්‍රේමය පෘතග්ජන ජනතාවගේ සතුට වෙනුවෙන් එන්නත් කළ දෙවියෙකු ගැන කියැවෙයි.ඒ දුන්නක් අතින් ගත් ඊරොස් නම් දෙවියා විසින් කළ බව කියැවේ.ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා දිවෙන ඊරොස් දෙවියාගේ ප්‍රේම කතාව ප්‍රේමය දේවත්වයේ තැබූ බව සංඛේත කරමින් පැවසෙන්නේ එහි ඇති උත්තරීතරත්වය,සුන්දරත්වය නැතිනම් රමණීයත්වය ලෙස අරුත් ගැන්විය හැකියි.

එහෙත් ලොව පුරා ප්‍රේමවන්තයන්ගේ දිනය සමරන වැලන්ටයින් දිනය බැදී ඇත්තේ ක්‍රීපූ තුන්වන සියවසටය.විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කිරීම පාදක කරගෙන ඊට එරෙහි වූ ශාන්ත වැලන්ටයින් පූජකවරයා දිවි කැප කර ඊට එරෙහිවීම මීට පදනම් වූ බව ද කියැවේ.පසුව ආගමික උවමනාවන් ආදිය ද එකතු වී වැලන්ටයින් දිනය සැමරීම සමාජගත වුණත්,උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් කැපවීම එම අගය කිරීමේ පිටුපස ඇති සැබෑ මානවීය කතාවයි.

ඉතාලිය කේන්ද්‍රීය රොමියෝ- ජුලියට් ප්‍රේමයේ ද එහි උත්තරීතර බව සැළකිල්ලට ගෙන උපකාර කර ඇත්තේ පුජකයෙක්ය.මිනිසුන් විශ්වාස කරන දෙවියන් සහ මිනිසුන් අතරමැදි භූමිකාව කරන්නා නොහොත් දෙවියන්ගේ දහම හොඳින්ම දත් තැනත්තා නිරන්තරයෙන්ම සිටින්නේ ප්‍රේමයට පක්ෂවය.එහෙත් අදටත් මිනිසුන් දෙවියන් විසින් පවසන ප්‍රේමයට විවිධ මායිම් සීමා තබාගෙන අන් සියල්ල දෙවියන්ගෙන් යදිමින් සිටින්නේය.

දෙවියන් සිටීද නැද්ද යන්න නොව ඉතිහාසය පුරාම පූජණීය සේ විශ්වාස කරන ප්‍රේමය සමරන පෙබරවාරි 14 වන දින ලෝකයේ කලා හෝ සාහිත්‍යය කෘති අතර ඉහළින්ම තැබෙන දෘශ්‍ය ප්‍රේමය වන රෝමියෝ ජුලියට් වසර 50 ට පසු සිංහල වේදිකාව මත දිග ඇරෙන්නේ ජයනාත් බණ්ඩාර අතින්ය.තැන ලයනල් වෙන්ඩ්ට් රඟහලය.ඒ වෙනුවෙන් දුව පැන සිටින මොහොතක අපි ජයනාත්ගෙන් විනාඩි කිහිපයක් පැහැර ගත්තෙමු.

“අවුරුදු 30 ක් මම රඟපෑවට,අධ්‍යක්ෂ වෘත්තියට මම ආධුනිකයි.ඒ නිසා මම රගපාන්න ගියොත් අධ්‍යක්ෂඛගෙ කාර්යය අර්බූධයට යන්න පුළුවන් නිසා මම රඟ නොපා ඉන්න තීරණය කළා.”
අධ්‍යක්ෂණයට එච්චර බයනම් මෙච්චර විශාල ලෝකයට දන්න නාට්‍ය පිටපතක් සමඟ…
ප්‍රශ්ණය නිමාවන්නට මත්තෙන් ජයනාත් පිළිතුරට පිවිසිණි.


“ලංකාවෙ නාට්‍ය ලියන අය බොහෝ වෙලාවට කරන්නෙ අධ්‍යක්ෂණයත් ඒ අයම කරන එකයි.ඒ නිසා මම පරිවර්ථනයක් කරන්න තීරණය කළා.ඒකත් වෙලා තියෙන පරිවර්ථනයකට ගිහිං අධ්‍යක්ෂණයේ නිදහස නැති කරගන්නෙ නැතුව පරිවර්ථනයකට යන්නත්,පළමු වැඩේ චූල සම්ප්‍රදායෙ නොවන මහා වැඩක් කර ගන්නත් මං තීරණය කළා.ඔය අතරෙ මම විනිසුරුවෙක් විදිහට අධ්‍යාපන අමාත්‍යංශය පාසල් අතර පවත්වන ඉංග්‍රිසි නාට්‍ය නැරඹීමට සම්බන්ධ වෙනවා.එහිදී එක අවස්ථාවක ඊට පාදක වෙලා තිබුණෙ ශෙක්ස්පියර්ගෙ රොමියෝ ජුලියට් නිර්මාණය.ඇත්තටම ඒ දරුවො තමයි මාව රොමියෝ ජුලියට් ගැන වැඩකට පෙළඹෙව්වෙ.මම පිටපත පරිවර්ථනය කරන්න හැදුවත් ඒක හරියට එක දිගට නොවෙන තැන මගේ බිරිද වින්ධ්‍යා හරන්කහ ඒ වැඩේ භාර ගන්නවා. අධ්‍යක්ෂණයේදී අවශ්‍යය සංස්කරණයන් ආදිය ගේ ඇතුළෙම විසඳගන්න පුළුවන් නිසා මම කැමත්තෙන් ඒකට එකඟ වෙනවා.”
මේ දැවන්ත නිර්මාණය ඉකුත් පෙරවාරියේ පටන් මූලික වැඩ ආරම්භ කරනවා.එදා සිට මේ වන විට මිලියන දෙකකට වැඩි වියදමක් නිෂ්පාදනය වෙනුවෙන් දරන්න වෙනවා.මේ මොහොතට අදාළව එවැනි වියදමක් වේදිකාව වෙනුවෙන් දරන වගකීමටත් උර දී තිබෙන්නේ ජයනාත්ගේ ආදරණිය බිරිඳගේ මිතුරියක්.පොළොන්නරුව රෝහලේ ළමා රෝග විශේෂඥවරියක වන ඇය ජයනාත්ගේ නාට්‍ය අධ්‍යක්ෂ සිහිනය සැබෑ කිරීමේ වාසනාවන්ත මොහොත ඉතා කැමත්තෙන් භාර ගන්නා වාසනා බණ්ඩාරයි.
එපමණක් නොවේ සිය පළමු අධ්‍යක්ෂයේදී ජයනාත් තව දුරටත් සිය නාට්‍යයේ විශාල වගකීම් ප්‍රමාණයකට පළමුවරට සහභාගිවීම සඳහා පිරිසක් එකතු කරගන්න තීරණය කරනවා.ඒ අතරින් කාන්තාවන් විශාල වශයෙන් සිටීමත් අපූරුයි.


“ඇයි මගෙ පළමු අධ්‍යක්ෂණය තව කාගෙ හරි පළමු අත්දැකීම වෙන්න බැරිද?”
ජයනාත් ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙනවා.
“කාන්තාවන්ට අපේ පසුගාමී සමාජයේ බොහෝ තැන්වල සම තත්ත්වයෙන් වගකීම් බෙදෙන්නෙ නැහැ.කාන්තාව වීම නිසා නොසැළකිල්ලක් යොමු වෙනවා.ඒ නිසා මම මේ වැඩේට කාන්තාවන් සම්බන්ධ කර ගන්න හිටියා.වින්ද්‍යා වගේම වාසනාත්,මිට පෙර සායක්කාරගෙ කොටු නාට්‍යයේ කුඩා චරිතයක් කළ මගේ දුව ඔමී බණ්ඩාර ජුලියට් ට තෝරා ගැනීමත් එහෙමයි සිද්ධ වෙන්නෙ.ඔමී මගේ දුවනිසා ඒ අවස්ථාව නොලද බව ඇය මේ නාට්‍යය ඇතුළත ඔප්පු කර පෙන්වනවා.ඒ වගේම මම සුබුද්ධි ලක්මාලිගේ ඔත්තුවක් මත ඉන්දිකා මේ වැඩේට සම්බන්ධ කර ගන්නවා.ඇය සංගීත ආචාරවරියක්.ගායිකාවක්.රංගන ශිල්පිනියක් මෙන්ම ඉතා හොඳ සංගීත සංයෝජිකාවක්.නාට්‍යය ඇතුළෙදි ඒ සියල්ලටම වඩා ඇය මේ නිර්මාණය තමන්ගේ කරගත් ඉහළම සහෝදරියක්.ඇය සංගීත ශිල්පීන්ගේ ගෙවීම් පවා දරුගෙන මූල්‍යමය වශයෙනුත් දෙන දායකත්වය ඉහළයි.ඒ වගෙම තමයි උපාලි වීරසිංහ කියන්නෙ අර්ධ ශතකයක් ආලෝක ශිල්පියෙක් විදිහට ගහපු මනුස්සෙක්.ඔහුගෙ දුව මෙහි ආලෝක අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍යකලාවට පිවිසීමත් ඉතාමත් වැදගත්.ඒ වගේම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදිහට කථිකාචාර්ය වරියක් වන වජිරා පීරිස් මේ නාට්‍යයට එකතු වෙනවා”
ජයනාත් එතෙකින් නොනැවතී ලංකාවේ ශේක්ස්පියර් නාට්‍ය කේෂ්ත්‍රය තුළ ඉංග්‍රිසි වේදිකාවේ කටයුතු කරන අත්දැකීම් බහුල ජෙරම් ඩි සිල්වාගෙන් ලැබෙන සහයත් ඉතාම ඉහළින් වර්ණනා කළා.නිරන්තරයෙන් කිසිඳු බලපෑමක් නැතුව තමන්ට අදාළ නොමැති මොහොතවල පවා නාට්‍ය පුහුණුවීම්වලට එමින් ඔහු දෙන දිරිය ඉතා ඉහළින් අගය කරන්නට ජයනාත් කටයුතු කරනවා.ඔහුට ඇති සංයමය සහ දායකත්වය ගැන ජයනාත් කියන්නෙ වචන කිහිපයයි.
“ජෙරම් කියන්නෙ විශ්ව විද්‍යාලයක්”

මෑතකදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද ජයනාත් යනු නාට්‍ය ධර්මී මෙන්ම ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදාය තුළත් ඉතා ඉහළ දස්කම් දැක් වූ රංගන ශිල්පියෙක්.ගැයුමට,නර්ථනයට ද හපන්කම් ඇති ජයනාත් ඉතාම පරිස්සමට තාත්වික නාට්‍යයේදී ද ඊට සාධාරණය ඉටු කිරීමේ හපන්කම් සහිත දුලබ රංගන ශිල්පියෙකු වෙන බැවින් ඔහු වේදිකාව ඉදිරිපස මේ අධ්‍යක්ෂ කාර්යේදි තමා තුළ ඉන්න නළුවා පාළනය කරගන්නේ කෙසේද යන්නත් අතිශයින් වැදගත්.

ඒත් ඒ අදහස ගත යුතු ආකාරයේ වචනය ලෙස මං යොදා ගන්න කල්පනා කළේ “බලං ඉන්න කොට ඒ චරිත තමන් කරානම් කියලා ලෝභකමක් ඇති වෙන්නෙ නැද්ද” යන වචන සමූහය ය.
හිතෙනවා හිතෙනවා,විශේෂයෙන්ම නර්ස්ගේ චරිතය ගැන.මං මහාසාර නාට්‍යයේ වැඳිරිය වගේම සචිත්‍ර රාහුබද්ධගෙ හස්තිරාජ මහත්තයා නාට්‍යයෙත් කාන්තා චරිතයක් කරා.ඒ නිසා වෙන්නත් ඇති.හැබැයි මට මේ පිටපත හදාගෙන යද්දිම ගැලපෙන චරිත තුනක් තිබුණා.ඒ කැපියුලට්,මොන්ටෙගෝ සහ ෆ්‍රයර් ලෝරන්ස්.හුඟ දෙනෙක් ඒ වැඩේ කරන්නම කියලා මට කිව්වත් මම දැඩි තීරණයක හිටියා එහෙම කරලා අධ්‍යක්ෂණය කරන එකට බාධා කරගන්න ඕනි නැහැ කියලා.දැන් හැබැයි ඒ චරිත තුන කරන චමින්ද බටුකොටුව,ලක්ෂ්මන් මෙණ්ඩිස් සහ වසන්ත ගුණවර්ධන තුන්දෙනා මං ගත්ත තීරණය හරි බව මට විතරක් නෙමෙයි මට රගපාන්න කියපු අයටත් ඔප්පු කරමින් ඉන්නවා.මගේ ඩිරෙක්ටින්වලට තියෙන ආධුනිකකම මුල් කාලෙ හොඳටම බලපෑවෙ මගේ නළුකම හරහායි.මං වේදිකාවට පැනලා රඟපාන්න ගත්තා.හැපැයි මුල් කාලෙම ඒක තේරුම් අරගෙන මං මාව පාලනය කර ගත්තා”

ඔහු මේ වෙනුවෙන් කැපවෙන සියලු ශිල්පීන් ගැන කෘතවේදී වෙයි.ඒ කැපවීමට ගෞරවයෙන් ආචාරය පුද කරයි.මුලින් කි ලෙස මෙහි පසුතල නිර්මාණය කරන්නෝ ටවර් හෝල් නාට්‍ය පාසලේ සිසුවෝ දෙදෙනෙක් වෙති.වේදිකා පාලනයට සහය වන අයෙක් තවමත් පාසල් වයසේය.මේ සියල්ල කෑම වේලක් පුහුණුවේදි දීම හැරෙන්න ගමන් වියදමක් හෝ දීමට හැකියාවක් නැති බව දැන දැනම මේ නාට්‍යය වෙනුවෙන් කරන කැපවීම අතිශයින් අගය කළ යුතුමය.

“මේ සියල්ල සමඟ කිව යුතු දෙයක් තියෙනවා.මේ නාට්‍යය අවුරුදු 16 ඉක්ම වූ අය බලනවනම් හොඳයි.නැත්නම් පුංචි කෙනෙක් සිංහබාහු බලන්න ගියහම වගේ වෙයි.සිංහයෙක් ආවා කියනවා කියන දේ ට වඩා දෙයක් පොඩි කෙනෙක්ට දැනෙන්නෙ නැහැ.මේ වගෙ නාට්‍යයක් නරඹන්න ඕනි එහෙමයි කියලයි මං විශ්වාස කරන්නෙ”
එසේම ජයනාත් පෙන්වා දෙන්නේ අධ්‍යාපනයෙන් ඉහළින්ම එන බලපෑම් මත ඇතැම් නාට්‍යවල වචන අංග චලනයන් වැනි දේ ද තහනම් කර ඇති බවය.ගොබ්බ සංස්කෘතික පද්ධතියක් ඇතුළෙ දරුවන්ට ඇත්ත ඉගෙනගන්න සහ යථාර්තයට මුහුණ දීම අහිමි කර තීබීම ගැන ජයනාත් ට ඇත්තේ සමාජය සම්බන්ධයෙන් කළකිරීමකි.
“දරුවගේ කණ විඳින්නේ අපි දරුවගෙන් අහලද?කෑ ගහද්දි බලහත්කාරයෙන් කරන එක තමයි එතනදි කරන්නෙ.එහෙම නැතුව නාට්‍ය වේදිකාවක වචනයකින් ළමයව දූෂණය වෙනවා කියලා හිතනවනම් ඒක ගොබ්බකම.”
නාට්‍යයක් කරන්න සිඳු වි තිබෙන සමාජ පරිසරය තුළ ලෝකයේ ආදරවන්තම කතාව වේදිකාප්‍රාප්තියට ගෙන එන්නට සිඳුවී ඇති සියුම් තරමටම ගැඹුරු සංයමය ගැන ජයනාත් කියූ අවසාන වචනවල ගැබි වී ඇත.විටෙක එය දැල් පිහියෙන් කිරි කෑමක් විය හැකිය.එහෙත් මේ සමාජ ව්‍යහුයට එරෙහි ඇති ප්‍රති විරෝධට ඇතුළේ ජයනාත් වසර කිස් ගණනක අත්දැකීම් සමඟ රොමියෝගේත්,ජුලියට්ගේත් භූමිකාව මනරම්ව ලෙල දෙන්නට හැර තිබෙන බව සහතිකය.

තිස් වසරක ඔබේ පසිඳුරන් පින වූ මේ සොඳුරු රංගන ශිල්පියා,ඒ පරිචය හරහා දැවන්ත මෙන්ම සර්වකාලීන ලෝක ප්‍රකට නාට්‍ය පෙළකට පන දෙන පාත්‍ර කැල කෙසේ හසුරුවනු ඇද්ද නැරඹීමට 14 දා ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගොඩ විය යුතුමය.ජයනාත්ගේ සිහිනය හැබෑවෙන මොහොතේ ඔහුගේ සිහිනයේ පියවරින් පියවර සෙවනැල්ල සේ දිරි දෙමින් රැදී උන් එම්.සෆීර්,මාලි ජයවීර ප්‍රමුඛ හිතවතුන් රැළ මෙන්ම සිය ගෙදරින් ලැබුනු දිරියද සෙනෙහස ද සිහිපත් නොකරම බැරිය.ජයනාත්ට ආදරය කළ අය 14 දා පටන් ජයනාත්ගේ රංග කාර්යයට තරමටම ඔහුගේ පාත්‍ර වර්ගයා මෙහෙයුමේ මනරම් බව ද අපේක්ෂා කරමින් 14 දා ලයනල් වෙන්ඩ් එනු ඇත.

“ඇත්තටම 14 වැලන්ටයින් ඩේ.අපි පිළිගත්තත් නැතත් ඒක ආදරවන්තයන්ගේ දිනය ලෙස ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්නවා.ඒ යථාර්තය ඇතුළෙ ලොකේ ආදරණියම නාට්‍ය පෙළට හොඳ මාර්කට් එකක් හැටියට මං ඒ දිනය නාට්‍ය පෙන්වන්න තෝරා ගත්තා.ඇත්තටම ඒක මාර්කටින් තමයි.හැබැයි කරන දේ රහටම දෙන්න වැඩිම මිලක් වැය කරන්න ඕනි රංග ශාලාවත් මම නාට්‍ය පෙන්නන්න තෝර ගත්තා.එකක් ඉංග්‍රිසි වේදිකාවටත් සමීප නිසාම සමස්ත ශේක්ස්පියර්ම වෙන්ඩ්ට් එකට සමිපයි.ඒ වගේම තමයි ලංකාවේ වේදිකා නළුවෙක්ට ආයාසයකින් තොරව හොඳටම රඟපාන්න පුළුවන් නාටළු වේදිකාවත් ලයනල් වෙන්ඩ්ට්.අපි එදාට හම්බවෙමු”
ජයනාත් කියන අන්තිම වචන ටිකට ඔහුගේ රසිකයින්,සහෘදයන් ආදී වූ විවිධ සමීපතමයන් සැමට කිව හැක්කේ එක දෙයකි.
“ඔව් අපි එන්නම්,නාට්‍යය බලලා කතා කරමු.”

ජයනාත් පසු විවරණ, සිප ගන්නට බලා සිටින බව නිසැකය.

නිශ්මං රණසිංහ



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here