ලෝකය ජයගන්න නිහතමානී වන්න

0
4


ලෝකය ජයගන්න නිහතමානී වන්න

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 14

පි දන්නවානේ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන්බෑ ජටිලයන් ගැන. උරුවේල කාශ්‍යප මුල ඉඳලාම ලොකු මාන්නයකින් හිටියා. බුදුරජාණන් වහන්සේ මෙයාව දමනය කිරීම පිණිස එක එක විදිහට සියගාණක් ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා. නමුත් මෙයා හිතන්නේ ‘මේ මහා ශ්‍රමණයන් වහන්සේ හරි ඍද්ධිමත් කෙනෙක් තමයි. නමුත් මම වගේ රහත් නෑ’ කියලයි. ‘මම වගේ රහත් වෙලා නෑ’ කියලා දෘෂ්ටියක හිටියා. හැබැයි සත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා පානවා, නමුත් හරි යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දවසක් කෙළින්ම කිව්වා, ‘කාශ්‍යප, ඔබ රහත් කෙනෙක් නොවේ! ඒ වගේම ඔබ රහත් මඟ දන්න කෙනෙකුත් නොවේ!’ කියලා.

එහෙම කියපු ගමන් වෙන කෙනෙක් නම් බැන්නා කියලා ඔන්න ආයෙමත් පටන් ගන්නවානේ. ‘මම ශ්‍රමණ ගෞතමයන්ට නවාතැන් දුන්නා. ඉන්න දුන්නා. ඒ ඔක්කොමත් දීලා ඔන්න මටත් බණිනවා‘ කියනවානේ. මොකද, අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්වා…! මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්වා…!’ කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානීකම.

මොකද, දේවදත්ත ගැන ගත්තොත් එයා ඒ ඔක්කෝම කළේ මාන්නයත් එක්කනේ. ජාඩියට මූඩිය වගේ දේවදත්තගේ ගැටේටම කෝකාලික කියලා තව පුද්ගලයෙක් අහුවෙලා හිටියා. ඒකටම ගැලපිලා හිටියා. කෝකාලිකත් සාරිපුත්ත මහරහතන් වහන්සේටයි, මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි අනන්ත අප්‍රමාණ නින්දා අපහාස කළා. ඒකෙ විපාක හැටියට ඇඟ පුරාම වසූරිය ගෙඩි හටගත්තා. ඔන්න මේ ගෙඩි ලොකු වෙලා දැන් ඉතින් මරණාසන්නයි. මෙයාගේ කලින් ජීවිතයක මිත්‍රයෙක් වන කෙනෙක් ‘තුදු’ කියලා බ්‍රහ්ම රාජයෙක් වෙලා හිටියා. ඉතින් මෙයා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා කෝකාලික ගැන අනුකම්පාවෙන් ‘මෙයාව බුද්ධ ශාසනයේ පිහිටුවලා හිත පහදවන්න ඕන’ කියලා පෙනී හිටලා, ‘මං මේ ඔබවහන්සේට කියන්නේ, ඔබවහන්සේ මේ මෝඩකම් කරන්න එපා…! ශාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න’ කිව්වා. එතකොට මෙයා ‘කවුද ඔහේ?’ කියලා ඇහුවා. ‘මම මේ තුදු කියලා බ්‍රහ්මරාජයෙක්’ කිව්වා. එතකොට මේ කෝකාලික කියනවා, ‘ඔහේ කරපු වැඬේ බරපතලකම බලනවා. බ්‍රහ්ම ලෝකයට ගියා නම් පාඩුවේ එහෙට වෙලා ඉන්න එපායෑ. මොකටද මෙහේ ආවේ?’

එතකොට බලන්න, අසත්පුරුෂයාට අවවාදය නුරුස්සනවා. අසත්පුරුෂයා අවවාදයට හික්මෙන්නේ නෑ. අසත්පුරුෂයා සත්‍යය පෙනි පෙනී දෘෂ්ටිය ගන්නවා. සත්‍ය පෙනි පෙනී වාදය ගන්නවා. සත්‍ය පෙනි පෙනී තමාගේ මතය ගන්නවා. ඒක අසත්පුරුෂ ලක්ෂණයක්. ඒකයි මම කිව්වේ සත්පුරුෂයෙක් වෙන්නේ භාවනාවෙන් නෙවෙයි. සත්පුරුෂයෙක් වෙන්න ගොඩක් උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක් බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්. ඒ දේවල් පුරුදු පුහුණු කරගත්තොත් මේකෙන් අපට සෑහෙන්න ගොඩයන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් පොඞ්ඩක් සමාධියක් ආවාම, කාලයක් සීලයක පිහිටලා ඉන්න කොට කෙනෙක් රැවටෙන්න පුළුවන් එපමණකින් සත්පුරුෂයෙක් වෙනවා කියලා. නමුත් සත්පුරුෂයෙක් වෙන්න නම් අර විදිහට සත්පුරුෂ ලක්ෂණ ඇතිකර ගන්නම ඕන. මං ඒකයි කිව්වේ සත්පුරුෂයාට නිහතමානීකම, ඉවසීම, ගුණගරුකභාවය, තමන්ට කරපු උපකාර සිහිකිරීම කියන මේ ඔක්කෝම තියෙනවා. අසත්පුරුෂයාට ඒ කිසිම දෙයක් නෑ.

බලන්න, බුදුරජාණන් වහන්සේගේ කරුණාව. දේවදත්ත කෝකාලිකලා ගැන ‘මේ අසත්පුරුෂයා’ කියලා දැන දැන මහණ කළානේ. මෙයා අසත්පුරුෂයි. ශාසනය විනාශ කරනවා. සංඝයා භේද කරනවා. ගල් පෙරළනවා. උන්වහන්සේ මේ ඔක්කොම දන්නවානේ. දැන දැන තමයි, මේක වුණේ. මොකද, උන්වහන්සේ දන්නවා මෙයා අවසාන මොහොතේ හරි හිත පහදවා ගන්නවා කියලා. ඒ වගේම එයා අවසාන මොහොතේදී හිත පහදවා ගත්තනේ. නමුත් ඒ වෙද්දී ඔක්කොම සිද්ධි වෙලා ඉවරයි. නමුත් එයා පොළොවේ ගිලෙන්න ඉස්සර වෙලා ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියාගෙනයි ගිලුණේ. ඒ පැහැදිල්ලට තමයි එයාට අනාගතයේ යම්කිසි පිළිසරණක් තියෙන්නේ. දැන් මේ වෙද්දී එයාට යොදුන් සීයක් දිග ආත්මයක් තියෙනවා කියනවා. යොදුනක් කියන්නේ සැතපුම් හතක්. යොදුන් සීයයි කියලා කියන්නේ සැතපුම් හත්සීයක්. ඒ කියන්නේ නිරයේ තියෙන එයාගේ ශරීරය සැතපුම් හත්සීයක් විශාලයි. දැන් ඉතින් එයා නිරයේ කල්පයක් පැහෙන්න ඕන. කල්පය කවදා ඉවර වෙයිද කියලා කියන්න බෑනේ. ඒකට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙන්න එපායෑ. ඒ කියන්නේ මිනිසුන්ගේ වයස අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා නැවතත් ආයුෂ අවුරුදු අසූදාහෙදීනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඊට පස්සේ ඒකත් ඉවරවෙලා මේ මහා භද්‍රකල්පය ඉවරවුණාට පස්සේ තමයි ඒ කල්පය ඉවර වෙන්නේ.

එතකොට කොච්චර කාලයක් විපාක විඳින්න සිද්ධ වෙනවද? මේ නිසා අපි හැමෝමත් කල්පනා කරන්න ඕන, අසත්පුරුෂයකුගේ ගති ලක්ෂණයක් අපි තුළ ඇති වෙන්න නොදී එය බැහැර කරගන්න. අපි ඒ ගති ලක්ෂණ එනකොටම හඳුනාගන්න ඕන. ‘මේක සත්පුරුෂයකුගේ ස්වභාවයක් නෙවෙයි. මේක සත්පුරුෂ ගතියක් නෙවෙයි. මේක අපි දුරු කළ යුතුයි’ කියලා කල්පනා කරන්න ඕන. මොකද, නැත්නම් හිතවත්කම් යාළුකම් ඉස්මතු කරගත්තාම අසත්පුරුෂයාට ග්‍රහණය වෙනවා. ඒ නිසා අපි සළකා බලන්න ඕන, සත්පුරුෂ, අසත්පුරුෂ භේදය විතරයි.

දිවි හිමියෙන් දහමේ හැසිරීම අපතේ යන්නේ නෑ

අපි බාහියගේ විස්තරය ගැන ගනිමු. බාහියගේ විස්තරේ සතුට සංවේගය යන දෙකම මිශ්‍රයි. බාහිය කියලා කියන්නේ රටක නමක්. දවසක් මේ රටේ හිටපු තරුණයෙක් ව්‍යාපාර පිණිස නැව් නැඟලා රටවල්වලට යනවා. මෙයා කලින් ආත්මයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පැවිදි වෙලා හිටපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේලා හත්නමක් හොඳට ගුණධර්ම පුරුදු කරගෙන ගියා. උන්වහන්සේලා දවසක් කතා වුණා ‘දැන් මේ ශාසනය වේගයෙන් පරිහානියට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනට මේ ධර්ම මාර්ගය පුරුදු කරගනිමු’ කියලා. ඉතින් ඒ හත්නමම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තිබුණු ස්වර්ණ චෛත්‍යය වන්දනා කරලා ගල් කන්දක් උඩට නැග්ගා. නැග්ගේ ඉනිමං බැඳගෙන. හත්නමම ගොඩවෙලා ‘මාර්ගඵලයක් ලබන තෙක් අපි ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා’ කියලා ඉනිමඟ බිමට තල්ලු කළා. දැන් ඔන්න හත්නම භාවනා කරන්න පටන් ගත්තා. එක නමක් අර්හත්වයට පත්වුණා. අර්හත්වයට පත්වන විටම උන්වහන්සේට ඍද්ධිබලයත් ලැබුණා. ඊට පස්සේ උන්වහන්සේ ඉතුරු හයනමට ප්‍රකාශ කළා ‘මම ඔබවහන්සේලාට සෘද්ධියෙන් වැඩලා දානෙ ගෙනැල්ලා දෙන්නම්. ඔබවහන්සේලා ඒ දානෙ වළඳලා පහසුවෙන් භාවනා කරගෙන යන්න’ කියලා.

නමුත් ඒ හයනම ඒකට කැමැති වුණේ නෑ. ‘අපි තීරණයක් ගත්තනේ නොකා නොබී මේක කරගෙන යනවා කියලා. ඒ නිසා අපි ඒ විදිහටම පිළිපදිනවා’ කිව්වා. ඔන්න දෙවැනි දවසේ තව නමක් අනාගාමී වුණා. උන්වහන්සේටත් ඍද්ධිබල ලැබුණා. උන්වහන්සේත් අර කතාවම කිව්වා. නමුත් ඉතිරි පස්නම ඒකට කැමැති වුණේ නෑ. අනිත් ස්වාමීන් වහන්සේලා පස්නමට මාර්ගඵල ලැබුණේ නෑ. හැබැයි සමථ විදර්ශනා වඩන්න මහන්සි ගත්තා. උන්වහන්සේලා ඒ විදිහට සීල, සමාධි, ප්‍රඥා වඩන්න මහන්සි ගත්තේ ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා උන්වහන්සේලා මාර්ගඵල නොලබා නමුත් සත්පුරුෂයන් හැටියට අපවත් වුණා. කෙළින්ම දිව්‍ය ලෝකයේ උපන්නා. මේ විදිහට දිව්‍ය ලෝකයේ ඉපදිලා ඉන්න අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය උදා වුණා. මෙයාලගේ පිනට එක එක්කෙනා ගාණට ඇවිල්ලා උපදිනවා. එක නමක් තමයි කුමාර කස්සප මහරහතන් වහන්සේ. එක නමක් දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. එක නමක් සභිය පරිබ්‍රාජක. තව කෙනෙක් පුක්කුසාති. අනෙක් කෙනා තමයි මේ බාහිය.

බලන්න, මේ සසරේ භයානකකම. බාහිය කලින් ආත්මයක වැද්දෙක්. ඒ ආත්මයේදී මෙයා සිවුරක් ගන්න ආශාවේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඊතලයෙන් විද්දා. ඒකෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. මෙයා සිවුර ගත්තා. ඒකේ කර්ම විපාකයට නිරයේ ගිහිල්ලා නොයෙක් දුක් විඳලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. බලන්න, දැන් මේ ලැබිලා තියෙන්නේ ඒ අවසාන ආත්මභාවය. ඒ කියන්නේ මෙයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ වහා ධර්මය අවබෝධ කරන අය අතුරින් අග්‍ර වූ භික්ෂූන් වහන්සේ නමකට අග්‍රතානාන්තර දෙනවා දැකලා ඒකට පැහැදිලා හිටපු කෙනෙක්. මේ එන්නේ ඒකට ලෑස්ති වෙලා. නමුත් අර කර්මයේ විපාකයත් පස්සෙන් ආවා.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

The post ලෝකය ජයගන්න නිහතමානී වන්න appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here