ලොව වටා රටවල වෙසක් සැමරෙන හැටි – Sri News

0
4

වෙසක් මංගල්‍යය ලාංකික බෞද්ධයාට වැදගත් උත්සවයක්. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය වෙසක් දිනදී බෞද්ධ ජනයා විසින් සැදැහැ සිතින් අනුස්මරණය කරනවා. 1950 දී ලංකාවේ පැවැත්වුණු ලෝක බෞද්ධ මහා සම්මේලනයේදී වෙසක් දින ලොවම සමරන නිවාඩු දිනයක් කිරීමේ යෝජනාව සම්මත වුනා. එදා වෙසක් දිනය ලොව පුරා සමරන්නට යෙදෙන අසිරිමත් දිනයක් වශයෙන් ප්‍රකාශ කිරිමට අප පුංචි දිවයිනද මහත් සේ දායක වුනා.

 

ලංකාවේ සිංහල අවුරුදු ඉවර වූ විගස එකල නම් කොල්ලෝ කැලේ ගොස් බට කපන්න ගන්නවා. ඊළඟට එලඹෙන වෙසක් සමයේ අන් අය පරදා විශාල කූඩුවක් තනාගැනීම එකල ගම් වල කොල්ලන්ගේ අරමුණක් උනා. සුවිශාල තොරණ පැවැත්වීම, විශාල දන්සැල් පැවැත්වීම, පිංකම් සිදුකිරීම ආදී කටයුතු රැසක් වෙසක් සමයේදී ලාංකික බෞද්ධයින් විසින් සිදුකරනවා. ඒ අතර ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අනුරාධපුරය, කැළණි විහාරය, තිස්සමහාරාම ආදී ප්‍රකට විහාරස්ථාන වල දහස් ගණන් සෙනඟ රැස් වී පෙහෙවස් සමාදන් වීමටද වෙසක් දිනය යොදාගන්නවා. වෙසක් සඳහා දින දෙකක් පමණ නිවාඩු ලැබෙන ලාංකික අපිට වෙසක් යනු බෞද්ධ උත්සව අතර මූලිකම උත්සවයක්.

 

නේපාලය කියන්නේ බහුතරය හින්දු ජනයා ඉන්න රටක්. එහෙත් බෞද්ධයින්ගේ මහා වීර පුරුෂයානෝ බවට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපන්නේ නේපාල ලුම්බිණියේ. එ් නිසා එදින ජාතික නිවාඩු දිනයක් ලෙස සලකා නේපාලයේ වෙසක් සැමරුම් තියෙනවා. නේපාලයේ වෙසක් සැමරුම‍ බුද්ධ ජයන්ති නමින් දැක්වෙනවා. හින්දු ජනයාද යම් තාක් දුරකට බුදුන් වහන්සේ විශ්වාස කරන හෙයින් ඔවුහුද එකතු වී බුදුන් වහන්සේගේ තෙමගුල නේපාලයේදී සමරනවා.

 

තායි රටේදී වෙසක් උත්සවය හඳුන්වන්නේ විසාක බූචා (Visakha Bucha) කියලා. බුද්ධ චරිතය සහ ආගමික සිද්ධි නැවත මතක් කර දීමට පුවරු ප්‍රදර්ශනය සහ මාර්ග සැරසීම් ආදිය තායි රටේ මේ දිනයට දකින්නට ලැබෙනවා. පසුගිය වසරේ අප රට අප්‍රේල් මසදී වෙසක් උත්සවය සැමරූ අතර තායි රටේ විසාක බූචා නම් වෙසක් උත්සවය පැවැත්වූයේ මැයි මසදී. මේ වසරේ මැයි 18 වන දිනයේදී අප රට සහ තායි රට යන දෙරටම එකම දවසක වෙසක් උත්සවය සමරනවා. එදිනට ලංකාවේ ජනයා පෙහෙවස් සමාදන් වෙනවා මෙන් තායි ජනතාවද පංසල් වලට ගොස් භාවනා ආදී වැඩසටහන් වලට දායක වෙනවා.

 

ඉන්දියාවේ කාශ්මීර ලදාක්, ඊසාන දිග ඇසෑමය, සිකිම් දේශය ඇතුළු කලාප ගණනාවක බෞද්ධ ජනයා වාසය කරනවා. ඔවුන් ගේ ඇදහීම් සහ චාරිත්‍ර වාරිත්‍ර ආදියේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. අද වනවිට ලංකාවේ මෙන් ථෙරවාද බෞද්ධ ආගම අදහන පිරිස ඉන්දියාවේ අඩුයි. එහෙත් ඉන්දියානු රජය විසින් බෞද්ධයින් වැඩි පළාත්වලට බුද්ධ පූර්ණිමා දවස නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කරල තියෙනවා. බුද්ධ පූර්ණිමා හෙවත් අපිට අනුව වෙසක් දවසට ඉන්දීය බෞද්ධයෝ සිය වෙහෙර විහාරස්ථාන කරා යනවා. ගිහින් දාන මාන ආදිය දී ධර්ම ශ්‍රවණ පිංකම් වලට දායක වෙනවා වෙසක් මාසය පුරාවට සත්ව මාංශයෙන් තොරවීම මෙන්ම කූඩුකර සිටින සතුන් නිදහස් කිරීම ආදී චාරිත්‍රද බුද්ධ පුර්ණිමා උත්සවයට සමගාමීව සිදු කරනවා.

 

ටිබෙට් රටේ ඇදහෙන්නේ මහායාන බුදුදහම. මෙහි වෙසක් එහි සකා දාවා නැතිනම් සගාදාවා ලෙස හැඳින්වෙනවා. ටිබෙට් බෞද්ධයෝද එදිනට දුර කතර ගෙවා ගිරි ශිඛර වල ඇති ඔවුන්ගේ සිද්ධස්ථාන, පූජනීය භූමි වන්දනාමාන කරන්න යනවා. මහා විල්, හිම කඳු ආදිය ඔවුන් ඇතැම්විට පූජනීය ස්ථාන සේ සලකා වන්දනාමාන කරනවා. ටිබෙට් බෞද්ධයෝ එදිනට ශබ්ද පූජා සහ පෙරහැරත් පවත්වනවා. ඊට අමතරව ටිබෙට් බුදුදහමේ නිතර දකින කොඩි වැල්, කොඩි කනු ආදියත් සගා දාවා දවසේදි පිහිටුවනවා. සගා දාවා දිනයට විහාරස්ථාන කරා යොමු වී පිරිත් ආදී දහම් ඇසීමටද ටිබෙට් බෞද්ධයෝ අමතක කරන්නෙ නැහැ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here