ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – සුමේරියානු ශිෂ්ටාචාර​ය –  Sri News

0
11


සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව යම්තාක් දුරකට අපි ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය විෂයවලින් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම උසස් පෙළ කලා අංශයෙන් ඉතිහාසය හදාරන කෙනෙකුට ඒ ශිෂ්ටාචාරය පිළිබඳව පුළුල් හැදෑරීමක් කරන්න සිද්ධ වෙනවා. අපේ මේ උත්සාහය මේ ලිපිය කියවන ඔබට ඒ තරම් දීර්ඝව නොවුණත් යම්තාක් දුරකට හෝ අවබෝධයක් සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව ලබා දෙන්නයි.

ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – මායා ශිෂ්ටාචාරය

ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඇස්ටෙක් ශිෂ්ටාචාරය

ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්කා ශිෂ්ටාචාරය

ලොවෙන් අතුරුදහන්වූ ශිෂ්ටාචාර – මිනෝන් ශිෂ්ටාචාරය

 

1. සුමේරියානුවන්ගේ නගර පද්ධතිය

අතීතයේ මෙසපොතේමියාව ලෙස හැඳින්වුණු වර්තමාන ඉරාකය ආශ්‍රිත ප්‍රදේශවල විහිදුණු මේ ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් අතර විවිධ විවාද පවතිනවා. එම ශිෂ්ටාචාරය ආරම්භ වුණු කාල සීමාව වගේම ආරම්භකයෝ කවුද කියන එක ගැනත් තවමත් එක මතයකට පැමිණ නැහැ. නමුත් ක්‍රිස්තු පූර්ව හතරවෙනි සහස්‍රය පමණ වනවිට සුමේරියානුවන් ආසන්න වශයෙන් නගර රාජ්‍ය දොළහකට පමණ ඒකරාශි වී තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. පවුරකින් වටවුණු මෙම සෑම නගරයක් මධ්‍යයේම ඔවුන්ගේ ආගමික ස්ථානයක් ලෙස සැළකෙන ශිගුරට් නම් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබුණා. මේ නගර අතර ඉරිඩු, ඌර්, නිප්පූර් සහ උරුක් ප්‍රධාන ගණන් ගන්නවා. උරුක් නගරය එවකට ලෝකයේ පැවති සුවිශාලතම නගරය ලෙස සැළකෙන අතර එහි ජනගහණය අසූ දහසක් පමණ වූ බවට සාධක හමුවෙලා තියෙනවා.

 

2. සුමේරියානුවන්ගේ රාජ නාමාවලිය

සුමේරියානුවන් කූඤ්ඤාකාර අක්ෂර මාලාවක් භාවිතා කරමින් මැටි පුවරුවල විවිධ ලේඛන පවත්වාගෙන ගිය අතර දැනට සොයාගත් මැටි පුවරු අතුරින් රාජ නාමාවලිය ලෙස හැඳින්වෙන මැටි පුවරුව විශේෂ තැනක් ගන්නවා. සුමේරියානුවන්ව පාලනය කළ රජවරු ලයිස්තුවක් ඊට ඇතුළත් වන අතර ඊට ජීවත් වූ රජවරුන් සහ කල්පිත රජවරුත් ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට ආදී සුමේරියානු රජෙකු වසර හතළිස් තුන්දහසක් පමණ රජ කළ බව එහි සඳහන් වෙනවා.

 

3. එකිනෙකා සමග යුද්ධ කළ නගර-රාජ්‍ය

සුමේරියානු නගර-රාජ්‍යයන් එකම භාෂාවක් සහ එකම සංස්කෘතික සම්ප්‍රදායන් අනුගමනය කළත් නිතරම එකිනෙකා හා යුද්ධ කරනු ලැබුවා. මේ සඳහා විවිධ හේතු කරුණු බලපෑවා. ලාගාශ් නම් නගරයේ රජ කළ ඊනන්ටම් රජු උම්මා නගරය සමග සටන් වැද ජයග්‍රහණය කළේ නගර සීමාව පිළිබඳව ඇති වුණු ගැටුමක් පදනම් කරගෙනයි. මෙම ජයග්‍රහණය ස්මරණය කරමින් මියගිය සතුරන්ගේ සිරුරේ කොටස් මත හිඳ මස් කන ගිජුලිහිණියෙකුගේ ප්‍රතිමාවක් නිර්මාණය කොට තිබෙනවා.

 

4. මත්පැන් පානයට සූර සුමේරියානුවෝ

ලේඛන කලාව, රෝදය, නගුල, නීති පද්ධතිය සහ සාහිත්‍යය යන මානව වර්ගයාගේ ප්‍රගමනය සඳහා වැදගත් වන බොහෝ ක්ෂේත්‍ර සඳහා පදනම දමන්නේ සුමේරියානුවන්. නමුත් පුරාවිද්‍යාඥයන් විසින් හෙළි කරගෙන ඇති පරිදි සුමේරියානුවන් බීර නිෂ්පාදනය සඳහාද පුරෝගාමී වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රම ශිල්පය මෙතෙක් හෙළිවී නැහැ. නමුත් ඇල්කොහොල් නිස්සාරණය සඳහා ඔවුන් භාවිතා කොට ඇත්තේ ඔවුන් විසින්ම වගා කරන ලද බාර්ලියි. එසේම නින්කාසි නම් දෙවඟන බීර වලට අධිපති දෙවඟන ලෙස සුමේරියානුවන්ගේ පූජෝපහාරයට ලක්ව තිබෙනවා.

 

5. කූඤ්ඤාකාර අක්ෂර මාලාව

කලින් අපි සඳහන් කළා වගේම සුමේරියානුවන් ලේඛනය සඳහා භාවිතා කළේ කෝණාකාර අක්ෂර මාලාවක්. ඒ සඳහා කුනිෆෝම් යන වචනයද භාවිතා වෙනවා. තෙත් මැටි පුවරු මත අදාළ අකුරෙන් විවිධ සටහන් තබා ඒවා අවුවේ වේලිම මගින් හෝ උඳුනේ පිළිස්සීම මඟින් ආරක්ෂා කිරීම සුමේරියානුවන් සිදුකළා. මුල් අවධියේදී ඔවුන් මෙම ක්‍රමය භාවිතා කරන ලද්දේ ගණන් තබා ගැනීම සඳහා බව අනුමාන කෙරෙනවා. පසුව එය වඩාත් විහිදී ගිය අක්ෂර පද්ධතියක් බවට පත්වුණා. මෙම අක්ෂර මාලාව අනෙකුත් සංස්කෘතීන් සහ සභ්‍යත්ව කරා ද පැතිර ගිය අතර ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේදී පවා මැදපෙරදිග ඇතැම් රටවල තාරකා ශාස්ත්‍රයට අදාළ සටහන් තැබීමට භාවිත කර තිබුණේ කුනිෆෝම් වර්ගයේ අකුරුයි.

 

6. සුමේරියානුවන්ගේ වෙළඳාම

සුමේරියානුවන් ජීවත් වූ කාන්තාර ප්‍රදේශයේ ලී, ඛනිජ සම්පත් වැනි දෑ හිඟ වීම නිසා අදාළ සම්පත් ලබා ගැනීම සඳහා සුමේරියානුවන්ට වෙනත් ප්‍රදේශ කරා යෑමට සිදුවුණා. මේ නිසා ඔවුන් ගොඩබිම් මගින් සහ මුහුදු මගින් විවිධ ප්‍රදේශ කරා ගියා. එවකට ඩිල්මුන් ලෙස හැඳින්වූ වර්තමාන බහරේන රාජ්‍යය තඹ කර්මාන්තය සඳහා ඒකාධිකාරිය උසුලනු ලැබුවා. ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන පරිදි සුමේරියානුවන් ඇෆ්ගනිස්ථානය තරම් බටහිරටත් මිසරයේ ඉතියෝපියාව තරම් දකුණටත් වෙළඳාම සඳහා පැමිණ තිබෙනවා.

 

7. ශිෂ්ටාචාරයක අවසානය

ක්‍රිස්තු පූර්ව දෙවැනි සහශ්‍රකය වද්දී ඇමරෝයිට්වරු සහ බැබිලෝනියානුවන් විසින් සුමේරියානු නගර-රාජ්‍ය සියල්ලම පාහේ තමන් යටතට ගැනීමට සමත් වුණා. එහි ප්‍රතිඵලය වූයේ කාලය ගතවීමත් සමගම සුමේරියානුවන්ගේ සංස්කෘතික අනන්‍යතාවය සහ දේශපාලන බලය අහෝසි වී යාමයි. සහස්‍රක දෙකක් පමණ ඔවුන්ගේ උරුමය ඉරාකයේ කාන්තාර වලට යටින් වැළලී ගිය අතර යළිත් මෙම උරුමය පාදා ගනු ලැබුවේ දහනව වන සියවසේදියි.

 

සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව එක ලිපියකින් පමණක් කථා කිරීම අපහසුයි. ඒ පිළිබඳව තවත් ලිපියක් ඔබ කියැවීමට කැමැති නම් ඒ පිළිබඳව අපිට කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here