ලෙඩ නැතිකරන රුව වැඩිකරන සුගන්ධවත් පුෂ්පය සමන්පිච්ච… සමන්පිච්ච කිව්වම කවුද ඒ ග…

0
5

ලෙඩ නැතිකරන රුව වැඩිකරන සුගන්ධවත් පුෂ්පය සමන්පිච්ච…

සමන්පිච්ච කිව්වම කවුද ඒ ගැන නොදන්නේ. නම ඇසූ පමණින් පිච්ච මලේ සුවඳ අපේ නහය විනිවිද යනවා. පිච්ච කුලයේ මල් ඇත්තටම ඒ තරම්ම සුවඳවත්. ලොව සියලු මල් සුගන්ධයන් අතරින් අග්‍රම සුවඳ පිහිටා ඇත්තේ දෑසමන් මලෙහි බව බුදුන් වහන්සේත් දේශනා කර ඇත්තේ ඒ නිසයි. දෑසමන් කියන්නේ දම්පාට පොහොට්ටුවක් පිපෙන පිච්ච කුලයේම මල් විශේෂයක්. අපි සමන්පිච්ච කියා හඳුන්වන්නේ සුදු පැහැති තරමක් දිගට තියෙන මලට. ඊට අමතරව ගැට පිච්ච, ස්වර්ථා පිච්ච යනුවෙන් පිච්ච පවුලේ තවත් මල් වර්ග බොහෝ තිබෙනවා. ඒවාත් ඉතා සුවඳයි.

සමන්පිච්ච කියන්නේ ගෙදරකට සිරියාව කැන්දන, වාසනාව කැන්දන මල් වර්ගයක් ලෙසයි සැලකෙන්නේ. වාස්තු විද්‍යානුකූලව ගත්තත් ගෙදරක ඉදිරිපස සිටුවිය යුතු මල් වර්ගයක් ලෙසයි සමන්පිච්ච හඳුන්වා තිබෙන්නේ.

වාසනාව හා ආශිර්වාදය කැන්දන මේ සමන්පිච්ච රෝග රැසක් නිරාවරණය කරන ඉතා වටිනා ඔසුවක් බව බොහෝ දෙනා තවමත් දන්නේ නෑ. එම ප්‍රතිකාරයන් සඳහා සමන්පිච්ච මල්, කොළ හා මුල් ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන්ම ශරීරයේ දාහය නිවන, ඒ වගේම ගැහැනු පිරිමි දෙපාර්ශවයේම වඳභාවය තුරන් කළ හැකි ඖෂධීය ගුණයක් සමන්පිච්ච වලට තිබෙනවා.

අලුත් සමන්පිච්ච මල් පවනේ වියළීමෙන් පසුව තම්බා පානයක් ලෙස පරිභෝජනයට ගැනීමෙන් ඇඟේ දාහය දැවිල්ල, ලේ වල අපිරිසිදුකම, චර්ම රෝග දුරු වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. ඒ වගේම හැන්දෑවට සමන්පිච්ච පොහොට්ටු කිහිපයක් වතුර කෝප්පයකට දමා පසුදින උදෑසන හිස්බඩ පානය කිරීමෙන් ඇස් වල පෙනීම දියුණු වෙනවා.

වේලාගත් සමන්පිච්ච මල් (ගොඩක් පරණ නොවූ) තේ වෙනුවට පානය කිරීමෙන් එය දියවැඩියා රෝග සුවයටත් ඉවහල් වෙනවා. ඒ පානය මදසරුභාවය තිබෙන අයට වගේම පුරුෂ ශක්තිය හීන අයටත් හොඳ ප්‍රතිකාරයක් බව දේශීය වෙදකමේ පිළිගැනීමයි. ඒ වගේම කාන්තාවන්ගේ ආර්තව ක්‍රියාවලිය අක්‍රමවත් අයටත් ඉන් සුවයක් ලැබෙනවා. හිස කැක්කුමට සමන්පිච්ච මල් ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුවය ලැබෙනවා. මුත්‍රා දැවිල්ලට වගේම, උෂ්ණාධික තත්වයටත් වියළාගත් සමන්පිච්ච මල් පානය ඉතා හොඳ ප්‍රතිකාරයක්.

කට හා තොල් පැලීම හා දත් මුල් දියවීමේ රෝග තත්වයන්ට සමන්පිච්ච කොළ තම්බා කට සේදීමෙන් ඒවා සුවපත් වෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් ලෙසත් සමන්පිච්ච මල් භාවිතා කරනවා. ඒවා අඹරා ශරීරයේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනවා.

කන් පැසවූ අයට සමන්පිච්ච කොළ තල තෙලෙන් කකාරා තෙල් බිංදුවක් කනට දැමීමෙන් සුවය ලැබෙනවා. දැවිල්ල සහිත තුවාල වලටත් දැවිල්ල රහිත තුවාල වලටත් සමන්පිච්ච මල් හා කොළ අඹරා ගෑමෙන් සුවය ලැබෙනවා. ඒ වගේම සමන්පිච්ච මල්, වැල් මී අඹරා දහඩිය දුඟද ඇති තැන්වල ගෑමෙන් සුව ලැබෙනවා.

කතුන්ගේ මාසික ආර්තව දෝෂ සුවයට හා අධික වේදනාව සඳහා සමන්පිච්ච මල් කොළ අඹරා වස්ති ප්‍රදේශයේ ආලේප කිරීමෙන් ගුණ ලැබෙනවා.

ඒ වගේම ඇස් දැවිල්ල, නිතර කබ කඳුළු ගැලීම තිබෙන අයට හැන්දෑවක සමන්පිච්ච පොහොට්ටු කිහිපයක් නොමේරු තැඹිලි ගෙඩියක ඇස්ස කපා ඒවා තැඹිලි ගෙඩිය තුළට දමා යළිත් ඇස්ස වසා තබා පසුදින උදෑසන ඇස් සේදීමෙන් සුවය ලැබෙනවා.

ඒ වගේම නින්ද අඩු අයටත් ඉහත තැඹිලි වතුර පානය කිරීමෙන් ගුණ ලැබෙනවා.

🌸 සමන් පිච්ච මලෙන් මුහුණ ලස්සන කරන ආයුර්වේදීය ෆේෂල් වර්ග…

මල් පෙත්තක් මෙන් සුසිනිඳු, මලක් මෙන් පිවිතුරු සුන්දර රූ සපුවක් ලබන්නට අප කවුරුත් කැමතියි. සමන්පිච්ච මලින් සුන්දර රූසපුවක් ලබාගන්නා හැටියි දැන් මේ කොටසින් ඔබට විස්තර කෙරෙන්නේ.

සමන්පිච්ච මල් පිරිසිදු ජල බඳුනකට දමා රැයක් පෙඟෙන්නට හැර එමඟින් උදෑසන ඔබේ දෑස් සහ මුව සේදීමෙන් විඩාබර දෙනෙතට හොඳ සත්කාරයක් වගේම මුවට හොඳ සිසිලසක් ලබාගත හැකියි.

🔴 ක්ලෙන්සර් එකක් ලෙස සමන්පිච්ච

සමන්පිච්ච මල් පෙඟවූ වතුරට දෙහි බිංදු කිහිපයක් සහ ආමන්ඩ් ඔයිල් බින්දු කිහිපයක් එකතු කර එයට බ්ලෙන්ඩර් කරගත් කස්තුරි කහ, හොඳින් ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක එකතු කිරීමෙන් ඔබේ මුහුණෙහි කුණු, දුහුවිලි, තෙල් ඉවත් කරගත හැකි ගුණාත්මයෙන් උසස් හොඳ ක්ලෙන්සර් එකක් සකසාගත හැකියි.

🔴 ටෝනර් එකක් ලෙස සමන්පිච්ච

සමන්පිච්ච මල් වතුරට පිපිඤ්ඤා සහ දෙහි යුෂ බිංදු කිහිපයක් එකතුකර සමෙහි වැඩිපුර ඇති තෙල් ඉවත්වන, සම ආරක්ෂා කරදෙන ටෝනර් එකක් සකසාගත හැකියි.

🔴 ස්ක්‍රබ් එකක් ලෙස සමන්පිච්ච

සමන්පිච්ච මල් පෙඟවූ වතුරට කොකුම් පොතු කුඩු, වෙනිවැල් කුඩු, සඳුන් කුඩු, ආමන්ඩ් ඔයිල් සහ මී පැණි දමා කලවම් කර තලපයක් සේ සාදාගෙන එය මුහුණේ සහ දෑත් දෙපාවල ආලේප කිරීමෙන් සමේ මැරුණු සෛල ඉවත්කරන, සමට ඉතා හොඳ පෝෂණයක් මෙන්ම නැවුම් බවක් ලබාදෙන ස්ක්‍රබ් එකක් පිළියෙල කරගත හැකියි.

🔴 පැක් එකක් ලෙස සමන්පිච්ච

සමන්පිච්ච මල් පොඩිකර එයට සඳුන් කුඩු, වෙනිවැල් කුඩු, යෝගට් තේ හැඳි කිහිපයක්, කස්තුරි කහකුඩු ස්වල්පයක් සහ ආමන්ඩ් කුඩු එකතුකර කලවම් කර ඉන්පසුව එය මුහුණේ ආලේප කිරීමෙන් ඔබේ සමට නැවුම් බවක්, දීප්තිමත් බවක් ගෙනදෙන ස්වභාවික පැක් එකක් පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

🌸 පසුගිය ලිපි 🌸
°°°°°°°°°°°°°°°°°°°°°°°°

☘️. බොහෝ ලෙඩට ගුණදෙන සුවඳ ඉහිරෙන ඔසු පැළෑටිය “සේපාලිකා” 👇
https://m.facebook.com/story.php?story_fbid=2420743778220111&id=1839559759671852

☘️. ඔසු ගුණයෙන් අනූන නෙළුම් 👇
https://m.facebook.com/story.php?story_fbid=2441498539477968&id=1839559759671852

☘️. ආහාරකට එහා ගිය ඖෂධීය වටිනාකමක් ඇති නෙළුම් බීජ (නෙළුම් බට්ටන්) 👇
https://m.facebook.com/story.php?story_fbid=2445999965694492&id=1839559759671852

☘️. ඔසු ගුණය කැටි වුන පූජනීය වෘක්ෂය “බෝ ගස” 👇
https://m.facebook.com/story.php?story_fbid=2480396098921545&id=1839559759671852

👨 තොරතුරු :- දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී, බාහිර කථිකාචාරිනී රන්මලී ගුණවර්ධන මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සමන්පිච්ච #jasmine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here