ලෙඩේ දැනගෙන කොළ කැඳ බොන්න… (කොළ කැඳ සෑදීමට පෙර සම්පුර්ණයෙන්ම මෙම ලිපිය කියවන්න…

0
3

ලෙඩේ දැනගෙන කොළ කැඳ බොන්න…
(කොළ කැඳ සෑදීමට පෙර සම්පුර්ණයෙන්ම මෙම ලිපිය කියවන්න.)

වර්තමානයේ උදෑසන අප පානය කරන්නේ කරන්නේ තේ හෝ කෝපි ය. එහෙත් අතීතයේ හිස්බඩ පානය කළේ කොළ කැඳ හෝ ඔසු පැන් ය. කාර්යබහුල බව සහ අනවබෝධය නිසා කෙමෙන් සමාජයෙන් තුරන් වෙමින් යන කොළකැඳ භාවිතයේ වටිනාකම සහ එහි ඖෂධීය භාවිතය පිළිබඳව මැනවින් මෙම ලිපිය තුළ විග්‍රග වේ.

විවිධාකාර රෝග සඳහා විවිධ කොළ කැඳ වර්ග භාවිතා කරයි. භාවිතා කළ යුතු කොළ කැඳ වර්ග පිළිබඳව මෙන්ම ඒවා පානය කළ යුතු අවස්ථා ගැන ද වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ. බොහෝ රෝග සඳහා කොළ කැඳ පානය කිරීම මගින් රෝග සුවතාවය අත්කරගත හැකියි. නමුත් කොළ කැඳ පානය මගින් පමණක් රෝග සුව නොවේ. ඊට අවශ්‍ය ප්‍රතිකාරද ලබාගන්නා අතර කොළ කැඳ පානය කිරීම කඩිනම් සුවය ලබා ගැනීමට මෙන්ම ඔබගේ ශාරීරික සුවස්ථතාව පවත්වා ගෙන යෑමට ද ඉවහල් වේ. එහෙත් ඒ සඳහා ක්‍රමානුකූලව මෙන්ම නිවැරදි ආකාරයෙන් කැඳ වර්ග සාදාගත යුතුයි. පිරිසිදු ඖෂධීය ශාක නිවැරදි වර්ග ප්‍රමාණයෙන් ලබාගැනීමට කැඳ වර්ග පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය කරුණකි.

🔶. විශේෂයෙන් ළදරුවන්ට සෙම් රෝග ඇති අවස්ථා වලදී එළබටු කොළ කැඳ, වැල් තිබ්බටු කැඳ, යකිනාරං කැඳ ඉතා යෝග්‍ය වේ. මෙම ශාකවල ගුණයෙන් ළදරුවාගේ කැස්ස සුව වී යයි.

🔷. එමෙන්ම කොළ කැඳ වලට අමතරව බැදි හාල් වලින් සෑදු කැඳ ඉතාම ගුණදායී වේ. උණ, පිපාසය ආදී රෝගී අවස්ථාවලදීත් පාචනය, අතීසාරය වැනි රෝග සෑදුනු විටකදී ද බැදි හාල් කැඳ ඉතාම ගුණදායක වේ. ඊට හේතුව ඒවා දිරවීමට පහසු වීමයි. නමුත් උණ, අතීසාරය, පාචනය වැනි රෝග සෑදුන අවස්ථාවලදී පොල් කිරි යෙදූ කැඳ වර්ග සුදුසු නොවේ.

🔶. ඉතා ස්ථූල ශරීරයක් ඇති අයට මෙන්ම සෙංගමාලය වැනි රෝග තත්වයෙන් පෙළෙන අයට ඒ අයගේ අනවශ්‍ය තෙල් කොටස් ඉවත් කිරීමට කරපිංචා කොළ කැඳ ඉතා යෝග්‍ය වේ. ඊට අමතරව හීන්බෝවිටියා කොළ කැඳ, යකිනාරං කොළ කැඳ භාවිතා කිරීමෙන් ස්ථුල බව අඩු කරගත හැක. සෙංගමාල රෝගී තත්වයට විශේෂ ගුණදායි ඖෂධීය කැඳක් ලෙස හීන්බෝවිටියා දැක්විය හැක. එහෙත් උපරිම ගුණ ලබාගනු වස් එම කැඳ උදේට පානය කිරීම වඩාත් සුදුසු වේ.

🔷. අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) වැනි රෝගී තත්ත්වයකදී හීන්බෝවිටියා, කරපිංචා සහ යකිනාරං කොළ කැඳ ඉතාම ගුණදායක වේ. ඊට අමතරව රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ රෝගීන්ට ද කරපිංචා කැඳ යෝග්‍ය වෙයි. මීට අමතරව මී විෂ, සර්ප විෂ, හෘද රෝග වැනි රෝග ද, සත්ව විෂ නැසීමටත්, සෙංගමාලය වැනි රෝග අවස්ථාවන්හිදී ද බහුලව ම කැඳ ලෙස කරපිංචා කැඳ පානය කරයි.

🔶. මෙම කැඳ පිළියෙල කරන විට දේශීය සහල් වර්ගයක් එනම් හීනටි හාල් වැනි හාල් යොදාගැනීමෙන් කැඳෙහි ගුණාත්මකභාවය වැඩි වේ.

🔷. අර්ශස් රෝගයෙන් පෙළෙන අයට කොහිල අල, වැල් කොහිල කොළ, පත්කරල්හැබ කොළ යොදා කැඳ සාදා ගැනීමෙන් අර්ශස් රෝග සුව වේ.

🔶. බුද්ධිය වර්ධනය වීමට ගොටුකොළ කැඳ ඉතාම ගුණදායකය. ගොටුකොළ කැඳ පිළියෙල කිරීමේදී ඊට රතුළූණු යොදා ගැනීමෙන් එහි ගුණාත්මක භාවය වර්ධනය වේ. පීනස රෝගීන්ට ද ගොටුකොළ කැඳ ගුණදායකය.

🔷. අක්ෂි රෝග එනම් ඇස්වල පෙනීම දුර්වල වීම ඇස් වල කඳුළු ගැලීම වැනි අවස්ථා වලදීත්, ලේ විෂ වී ඇඟේ බිබිලි මතුවෙන තත්වයකදී ත් කීකිරිඳිය කැඳ ඉතාමත් ගුණදායකය.

🔶. අධි රුධිර පීඩනය, නින්ද නොයෑම, මුත්‍රා අඩස්සිය, ක්ෂය රෝගය වැනි රෝගී තත්වයන්හි දී අමුක්කරා කොළ කැඳ ඉතාම ගුණදායකය.

🔷. බකිනි ගසේ පොතු හෙවත් බක්මී පොතු කැබලි අල්ලේ ප්‍රමාණයට ගෙන හොඳින් කොටා ඒ ඉස්ම රැගෙන කැඳක් සාදා බීමෙන් අක්මා රෝග සහ සෙංගමාල රෝග වලට ගුණදායී වේ.

🔶. දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට ඇතිවන බඩේ අමාර, ක්‍රිමි අමාරු, නින්ද නැතිකම වැනි රෝගී අවස්ථාවන් සඳහා එරබදු ළපටි කොළ කැඳ දරු ප්‍රසූතියෙන් පසු පානය කිරීම යෝග්‍ය වෙයි.

🔷. නෙළුම් ඇට වලින් හෝ නෙළුම් දළු වලින් කැඳ සාදා පානය කිරීමෙන් ශ්වේත ප්‍රදර රෝගය හෙවත් යෝනි මාර්ගයෙන් සුදු පැහැ ශ්‍රාවයක් පිටවීමේ රෝගී තත්වය සමනය වෙයි. අර්ශස් රෝගය ද සුව වෙයි.

🔶. මානෙල් අල සහ මානෙල් මල් වල යුෂ කැඳ සඳහා යොදා ගනී. මානෙල් අල වලින් සහ මානෙල් මල් වල යුෂ වලින් සෑදු කැඳ අර්ශස් රෝගය සඳහා සුදුසු වේ.

🔷. රක්තහීනතාවය සහ යකඩ අඩු වීමට මුරුංගා කොළ දළු වලින් කැඳ සාදා පිළියෙල කර පානය කිරීම ඉතා යෝග්‍ය වේ. මෙය ඉතා රසවත් පානයකි. නව යොවුන් වියේ පසුවන දැරියන් සඳහා මේ කැඳ ඉතා යෝග්‍ය වෙයි.

🔶. පපුවේ කැක්කුම ඇති විටෙකදී මෙන්ම පෙනහළු රෝග සඳහා ද, නිතර කැස්ස හැදී පෙනහළු දුර්වල වූ විටෙක දී ද උඳුපියලිය කොළ මිටක් කොටා කැඳ සාදා පානය කිරීම විශේෂයෙන් යෝග්‍ය වේ.

🔷. පොල් පලා කොළ කොටා කැඳ සාදා පානය කිරීම මුත්‍රා අඩස්සිය වැනි සියලුම මුත්‍රා රෝග සඳහා ගුණදායක ය.

🔶. කුරක්කන් කැඳ රසවත් පානයකි. කැඳට අවශ්‍ය සහල් ප්‍රමාණයක් ගෙන එය වංගෙඩියේ දමා කැබලි කර එයට සුදු ළූණු බික් 04ක්, රතුළූණු බික් 02ක් සහ අවශ්‍ය ප්‍රමාණයට රම්පේ, කරපිංචා දමා ලිප තබා තම්බා ලුණු ස්වල්පයක් හා පොල් ගෙඩියක කිරි එක්කර පසුව පිට්ටු ලෙස පිළියෙල කරගත් කුරක්කන් එක්කර විනාඩි 15 ක් පමණ ලිප තබා රත්කර කැඳක් සාදා පානය කිරීම හෝ කුරක්කන් පිටි වලට රතුළූණු, සුදුළූණු, ඉඟුරු කැබැල්ලක් සහ ලුණු ස්වල්පයක් එක්කර රසවත් පානයක් සාදාගත හැකියි.

🔷. නික කොළ තිත්ත රසයෙන් යුක්තය. එබැවින් නික මල් කැඳ සඳහා යොදා ගනී. මත්පැන් පානය කරන අයට මෙන්ම ආමාශගත රෝග ඇති අයට හා හෘද රෝග ඇති අයටද මෙම කැඳ ගුණදායක වේ.

🔶. ආමාශගත රෝග, මලබද්ධය වැනි අවස්ථා සඳහා අමු නෙල්ලි වලින් සැකසූ කැඳ ඉතා ගුණදායකය.

🔷. සර්ප විෂ හා කුඩා ළමුන්ගේ රතගාය සඳහා ද ලේවල විෂ නැති කිරීමට ද රත්මල් කැඳ ඉතා ගුණදායක වේ.

🔶. වාත රෝග, හන්දි රෝග ඇති අවස්ථා වලදී සාරණ කොළ කැඳ ඉතාම ගුණදායකය.

🔷. වැල් පෙනල කොළ කැඳක් ලෙස සාදා පානය කිරීම තුළින් පිරිමින්ගේ ශුක්‍ර ධාතු වර්ධනය වේ. එමෙන්ම වන්ද්‍යාභාවය දුරු වේ. පුරුෂ ශක්තිය වැඩි වේ.

🔶. බැබිල ගසේ මුල් සහ පොතු කැඳ සඳහා යෝග්‍ය වේ. ක්ෂය රෝගය සහ කාන්තා රෝග සඳහාත් ගුණදායි ශක්තිජනක කැඳ පානයකි.

🔷. රසකිඳ වැලේ පිට පොත්ත ඉවත්කර කෑලි වලට කපා වේලා පිටිකරගෙන ඒ පිටි කැඳක් ලෙස පානය කිරීමෙන් අර්ශස් රෝගය මෙන්ම මුත්‍රා අර්ශස් (ගල්) ඇති රෝගීන්ට සහනය හිමි වෙයි.

🔶. හාතවාරිය කොළ කැඳක් ලෙස සාදා පානය කිරීම තුළින් ඇඟ දැවිල්ල, දහඩිය ගඳ නැති කිරීමට හා ශරීර උෂ්ණත්වය අඩු කිරීමට යෝග්‍ය වේ.

🔷. හාතවාරිය අල කැඳක් ලෙස සාදා පානය කිරීමෙන් ස්ත්‍රී රෝග, ශ්වේත ප්‍රදර රෝග සහ ඇඟේ උෂ්ණ ගතිය අඩු කිරිමට මෙන්ම ඔසප් චක්‍රය නැවතීම නිසා ඇතිවන පාද දාහය, නිතර දහඩිය දැමීම, කේන්ති යාම, නොසන්සුන් බව ආදී රෝග වලට යෝග්‍ය වේ.

🔶. මුකුණුවැන්න කොළ කැඳක් ලෙස සාදා පානය කිරීම තුළින් අක්ෂි රෝග හා ශීර්ෂාබාධ රෝග සඳහා යෝග්‍ය වේ.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸බොහෝ ලෙඩට ගුණදෙන ජීවක සිද්ධායුර්වේද කොළ කැඳ පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2342854839342339&id=1839559759671852

🔹ලෙඩ 100 ක් සුවකරන ජීවානන්ද කොළ කැඳ පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2353878888239934&id=1839559759671852

🔸හෙළයින්ගේ සාම්ප්‍රදායික කැඳ වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2249143755380115&id=1839559759671852

🔹ශරීර ශක්තිය වඩවන ඉපැරණි කැඳ වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2053460241615135&id=1839559759671852

👩‍⚕️ තොරතුරු :- ආයුර්වේද වෛද්‍ය රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය
👩සටහන :- චමිලා අල්විස් මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #kolakanda #kolakada #කොළකැඳ #greensmoothie #smoothie #kanji #benifitsofdrinkingkolakada #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here