ලීක් වෙච්ච ෆොටෝ එක ගැන මිසක් මගේ දක්ෂතා ගැන ඉස්කෝලෙ රැස්වීමේ කතා කළේ නෑ සර්

0
9


මම මේ කියන්නේ ලංකාවේ ඉතාම ජනප්‍රිය පාසලක් ගැන කතාවක්. එහි සිංහල ගුරුවරයා වුණේ මෑතකදී විශ්විද්‍යාලයෙන් පිටවුණු තරුණ ගුරුවරයෙක්. ඔහු විෂය නිර්දේශය විනිවිද ජීවිතය දකින්නට වෑයම් කරපු ගුරුවරයෙක් කිව්වොත් හරි. සරසවියෙන් ඇවිල්ලා ඉස්කෝලෙට ඇතුළුවෙච්ච ගමන් මේ ගුරුතුමාට උගන්වන්න ලැබුණේ නවය වසරේ සිංහල පොත. ඒ පොතේ අටවන පාඩමේ නම තමයි ‘මහාධන සිටුපුත්හුගේ වස්තුව. එක්තරා කෝටිපති සිටුවරයෙක් තම පුතාට සංගීතය, ගීතය, නැටුම් පමණක් ඉගැන්වූ කතා පුවතක් ගැන තමයි ඒ පාඩමේ තිබුණේ. ඊට වඩා කිසිදෙයක් මේ තරුණ සිටු කුමාරයාට තිබුණේ නෑ. ඒ පළාතෙම තවත් සිටුවරයෙක්ට දුවෙක් හිටියා. එයාට ලැබුණෙත් ඒ වගේම අධ්‍යාපනයක්. ඉතින් දුවේ ඒ අයගේ දෙමාපියෝ මේ දෙන්නා විවාහ කරලා දීලා මියගියා. කිසිම මහන්සියකින් තොරව ලැබිච්ච ධනයක් හින්දා මේ දෙන්නට දෙමව්පියන්ගෙන් ලැබුණු දේපළ ගැන වැඩි දැනීමක් තිබුණේ නැහැ.

මෙහෙම යන අතරේ මහාධන සිටුපුත්‍රයා සිංදු කියන කණ්ඩායමක මත්පැන් බොන රංචුවකට එකතු වුණා. එයාගේ බිරිඳත් ඒ රංචුවටම එකතු වුණා. එයා කියන කරන දේම මෙයත් කළා. දෙන්නා මේ සංගීත සුරා කල්ලියට එකතුවෙලා මුදල් වියදම් කරලා ටික ටික දුප්පත් වේගෙන ආවා. අන්තිමට ගෙවල් දොරවල් විකුණලා දෙන්නා හිඟමනට වැටුණා. මේ දෙන්නා හිඟාකනවා බුදු හාමුදුරුවෝ දැක්කා. දැකලා සංගීතය, කලාව, නැටුම විතරක් දැනගෙන උන්නු ඒ දෙන්නා මත්පැනට ගොදුරුවෙලා හිඟන්නෝ වෙච්චි හැටි බුදු හාමුදුරුවෝ අනෙක් හාමුදුරුවන්ට කියලා දුන්නා. සද්ධර්මරත්නාවලිය පොතේ 138 වෙනි කතා වස්තුව තමයි සිංහල නවය පොතට දාලා තිබුණේ.

අර මං කලින් කිව්ව සිංහල ගුරුවරයා මේ කතාව තමන්ගේ පාසලේ දරුවන්ට කියලා දුන්නා. ඉගෙනීම කියන්නේ නටන, ගයන එක විතරක් නෙවෙයි කියලා ඒ ගුරුතුමා පංතියෙන් ගියා. කාටවත් මේ කතාවේ යටිපෙළ අර්ථය තේරුණේ නැහැ. හැබැයි මේ පංතියේ හිටියා ‘සුධර්මා’ කියලා දුවෙක්. ඒ දුවට මේ කතාව ටිකක් හිතට කාවැදුණා. සුධර්මා කියන්නේ ඉස්කෝලේ දක්ෂම ගායිකාව, නැට්ටුක්කාරි සහ දක්ෂ කථිකාව. ඉතින් ඒ දුවට විතරක් තේරුණා මේ සර්ගේ කතාව තමන්ට හොඳට ගැළපෙනවා කියලා. එදා ඉඳලා ඒ දුව මේ ගුරුතුමාගේ සිංහල පංතිය මගහැරියේ නැහැ. ඒත් තමන් වැටිලා තියෙන්නෙත් ඒ මහාධන සිටුපුතාගේ දුවගේ තත්ත්වෙටම කියලා විතරක් ඇයට වැටහුණා. ඉස්කෝලෙ විෂයානුබද්ධ වැඩ ඇයත් මගහැරියා. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි ජීවිතයට ආර්ථිකයට වාසි ඇති කිසිදේකට එයාගේ හිත ඇදිලා ගියේ නැහැ. ඒ විෂයයන්වල ඇය අදක්ෂම ශිෂ්‍යාවක්. ඒත් පළාතෙම ඇය ප්‍රසිද්ධ වුණා නැටුමට, ගැයුමට, කතාවට.

අන්තිමට සුධර්මා තමන්ගේ පශ්චාත්තාපය ගැන විස්තර ලියලා සිංහල ගුරුවරයාට අතටම දෙන්න පටන්ගත්තා. ඒ දුව තම ජීවිත කතාව ගැන ලිව්ව සේරම දේ ඒ සර් සුරැකිව තියාගත්තා. අවශ්‍ය අවවාද දුවට දුන්නා. ඇගේ විශ්වාසම ගුරුතුමා වුණේ ඒ සර්.

මේ කියන අවදියේ වෙනත් ඉස්කෝලෙක පිරිමි ළමයෙක් එක්ක මේ දුව යාළු වුණා. නිතර නිතර හමුවුණා. ඒ දුවගේ අම්මා තාත්තා ගෙන්වලා ඒ අයට මේ දරුවා ගැන සර්ට හිතුණා කියන්න. ඒත් සර් ඒක කළේ නැහැ. ඒකට හේතුව ඒ දුව සර්ට ලිව්ව ලිපියේ තිබුණා ඒ අම්මයි තාත්තයි විරසකයි. අම්මට තාත්තව පේන්න බැහැ. තාත්තට අම්මා පේන්න බැහැ කියලා. සුධර්මාට හිටියේ නංගියෙක් විතරයි. ඉතින් සර්ට තේරුණා මේ ජෝඩුවට මේ දරුවගෙ දේවල් කියලා වැඩක් නැහැ කියලා. සුධර්මා සංගීතයට, නැටුමට, කතාවට ඇදිලා ගියෙත් ජීවිතයේ පාලුව මකාගන්න. ආදරය කියලා එකක් ගෙදර තිබුණෙ නැහැ. ඉතින් ඇයට ගෙදරින් නොලැබෙන ප්‍රේමය එයා හෙව්වේ ඒ පිරිමි ළමයාගෙන්. ඒ පිරිමි ළමයා කළේ ආදරයක්ද වංචාවක්ද කියලා මේ දුව දැනගෙන හිටියේ නැහැ.

අධ්‍යාපනයට යොමුවෙන්න තිබුණ කාලය එයා ගතකළේ අර කොල්ලා එක්ක රවුම් ගහන්න. එපා කියන්න අම්මෙක් අප්පෙක් හිටියෙ නෑ. ඉතින් මේ දුව හැමදාම අර පිරිමි ළමයා එක්ක එහේ මෙහේ ගියා. පුංචි ළමයින්ට කාමර විකුණන හොටෙල්කාරයෝ කාමරෙත් විකුණලා ඒ දෙන්නා හෝටලේට එන යන ඡායාරූපයකුත් ගහගත්තා. ඊටපස්සේ ජංගම දුරකතන අතරේ ඒක හුවමාරු වුණා. මේ රහස විදුහල්පතිතුමා ළඟට ආවේ ඔය විදියට. ඒත් මේ ප්‍රශ්නේ දිහා මැදහත්ව බලන්න විදුහල්පතිතුමාට බැරි වුණා. මොකද ඒ වනවිට මේ රහස ළමයි දැනගෙන ඉවරයි. විදුහල්පතිතුමා දෙමව්පියන් කැඳෙව්වත්  ආවේ නැහැ. සුධර්මා හින්දා ඉස්කෝලෙට සිදුවෙන කැළල බරපතළයි. දෙමාපියෝ විදුහල්පතිතුමාට බැන්නා. දවසක් උදේ පාසලේ රැස්වීමේදී විදුහල්පතිතුමා මේ ගැන කතාකළා. අධ්‍යාපනයෙයි විනයෙයි තියෙන සබඳතාව එතුමා පැහැදිලි කළා. නම සඳහන් නොකළට කවුරුත් දැනගත්තා මේ කියන්නේ සුධර්මා ගැන බව. රැස්වීමේ හිටපු සුධර්මටත් ඒක තේරුණා. විදුහල්පතිතුමා කතා කරගෙන යද්දි සුධර්මට සිංහල සර් කියලා දුන්න කාව්‍යශේකරයේ කවි පේළි දෙක මතක් වුණා.

 

‘අස බමුණ ගම්වැසී

මග රැඳුණ අද තෝ නසී

ගෙට ගිය අඹුව නසී

අතුරුදන් විය කියා මේ ලෙසී’

 

ගුරු මණ්ඩලයේ හැම මුහුණකම තිබුණේ ජයග්‍රාහී හැඟීමක්. “හොඳ වැඩේ ඕකිට වුණේ.” ඒත් සුධර්මා සිංහල සර් දිහා බැලුවා. සර් විතරක් බිම බලාගෙන හිටියා. සුධර්මා ඉස්කෝලේ ඇරිලා සිංහල සර් ළඟට ගියා. “සර් මං යනවා.” සර් සුධර්මගේ ඔළුව අත ගාලා කිව්වා, “දුවේ කලබල වෙන්න එපා. අපි මේකට මූණදෙමු.” කියලා.

ඒ සුධර්මා ඉස්කෝලෙන් එළියට බැස්ස අන්තිම මොහොත. ආයේ සුධර්මා ඉස්කෝලේ ආවේ නැහැ. ඈ යන්නම ගියා. සුධර්මා ගේ මැද සාලේ ලණුවකින් එල්ලිලා මැරිලා තිබුණා. ඇය අවසාන ලිපිය ලියලා තිබුණේ එයාගේ සිංහල සර්ට.

‘සර්, මං ඉස්කෝලෙට ජාතික සම්මාන ගෙනාවා නැටුම්, ගැයුම්, වැයුම්වලින්. කවදාවත් ප්‍රින්සිපල් සර් ඒවා ප්‍රසිද්ධියේ අගය කළේ නැහැ. ශිෂ්‍යත්වේ පාස් අය A9ක් ගත්ත අයගේ රූප බැනර්වල එල්ලුවා. මං විෂය පරිබාහිර කටයුතුවලින් ලංකාවෙම අංක එක. ඒත් කවුරුත් ඒ ගැන කතාකළේ නැහැ සර්. මට හිටියේ සර් විතරයි. මං යනවා සර්.’

මේ ලිපිය ඊට පහුවදා ලංකාව පුරාම පැතිරුණා. ඇගේ රහස් රැකගෙන ඇයව බේරගන්න හිටියෙ සිංහල සර් විතරයි. ඇගේ එක රහසක්වත් සිංහල සර් කාටවත් දුන්නෙ නැහැ. අර ලිපිය ඇගේ මේසය උඩ තියලා තිබ්බා. අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිතුමාගේ වැඩ තහනම් කළා. ඇගේ මළගෙදරට ගියේ සිංහල සර් විතරයි. අම්මලා තාත්තලා ඉඩම්, ගෙවල් දොරවල් විකුණලා යන්න ගියා. ඉඩම ගත්ත අය ඒ ගෙදර කඩලා බිඳලා දැම්මා. තාම ඒ ගෙදර තිබ්බ තැන විතරයි කාටත් මතක.

කවුද මේකට වැරදිකාරයෝ? මං හිතන්නේ දුවේ අම්මයි තාත්තයි අංක එක. දරුවෝ වැදුවට වැඩක් නැහැ හදන්නේ නැත්නම්. එල්ලිලා මැරෙන්න තිබ්බෙ තමන්ගේ ප්‍රශ්න ලොකු කරගත්ත අම්මයි තාත්තයි. සිංහල සර්ට තිබ්බ ඉව ගුරු මණ්ඩලයේ අනෙක් අයට තිබ්බෙ නැහැ. විදුහල්පතිතුමා කරපු එකම වරද ඇය ජයගත් තරඟවල ජයග්‍රහණ ප්‍රසිද්ධියේ අගය නොකිරීම. නැටුම්, ගැයුම්, ක්‍රීඩා, සාහිතය තරඟ අංක එක වීම ඒ තරම් නොවැදගත්නම් ඒවා විෂය පරිභාහිර ක්‍රියා ලෙස නම්කර තිබීමෙන් ඇති වැඩේ මොකටද?

මහාධන සිටුපුත්හුගේ වස්තුව ලිව්වේ ධර්මසේන හාමුදුරුවෝ. බලන්න ඒ කතාව අදටත් ගැළපෙන අපූරුව.

අත්තනායක එම්.හේරත්



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here