ලියපු දේවල් නිසා හිරබත් කන්න සිද්ධ උන කතුවරු – Sri News

0
3

මිනිහෙක් පරිපූර්ණ වෙන්නනම් පුතෙක් හදන්න ඕන, ගහක් වවන්න ඕන සහ පොතක් ලියන්න ඕන කියල කතන්දරයක් අහල තියෙනවා නේද? එහෙම කිව්වට ඉතින් ඔය ලියනවයි කියන රාජකාරිය හැමෝටමත් කරන්න බැහැ. ඒකට හොඳ ඉවසීමක්, හසල දැනුමක්, සමබර චින්තනයක් වගේම වෙන්කරන්න කාලය සහ හිතේ නිදහස කියන කාරණා මහා ගොඩක් සම්පූර්ණ වෙන්න ඕනෙ. අනිත් එක තමයි ලියනව කියන්නෙ පිටු බරගා​ණක නවකතාවක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියල පල කරන එකමත් නෙමෙයි. තමන්ගේ හිතට දැනෙන සිතුවිල්ලක් වචන දෙක තුනක කවියකින්, එක්කෝ පුංචි රචනාවකින් සමාජයට දැනෙන්න ලියන කෙනත් ඉතින් ලියන්නෙක් තමයි. හැබැයි ඔහොම හිතට දැනෙන දේවල් ලියල ලෝක අමාරු කරේ දාගත්ත උන්දැලා ඉතිහාසයේ ඕන තරම්. මේ කියන්න යන්නෙ අන්න එහෙම තමන් ලියපු දේවල් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උන කතුවරු කීපදෙනෙක් ගැනයි. 

 

 

ඊජිප්තුවේ අහමඩ් නාජි කියන මේ කතුවරයා  හිරබත් කන්නේ ඔහුගේ Using Life කියන නවකතාව පිළිබඳව ඇතිවුන ගැටළුවක් හේතුවෙන්. නමුත් විශේෂම කාරණය කියන්නෙ මේ නවකතාව ඊජිප්තු වාරණ මණ්ඩලය විසින් මුලින්ම අනුමත ක​ළ නවකතාවක් වීම. නමුත් මේ පොතේ අන්තර්ගතය වුන ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය සහ ලිහිල් ජීවන රටාව ගැන ඊජිප්තු පුරවැසියෙක්ම කරන පැමිණිල්ලක් හේතුවෙන් නාජිට සිරබත් කන්න සිදුවෙනවා. පැමිණිල්ලේ සඳහන් වෙන්නෙ කියවීම මඟින් ඔහුගේ හෘද ස්පන්ධනය වේගවත් වෙලා රුධිර පීඩනය ඉහ​ළ යන තරමටම මහජන සදාචාරය උල්ලං​ඝණය වන කාර​ණ මේ පොතේ ඇතු​ළත් උන බවයි. කොහොම උනත් 2015 දී නාජි වසර දෙකකට සිර දඬුවමකට යටත් වෙලා සංචාරක තහනමක් යටතේ මාස 10ක කාලයකින් නිදහස ලබනවා. පසුකාලින නඩු විභාගයේදී ඔහුට නැවත දඩ මුදලක් ගෙවන්නත් සිදුවෙනවා. කොහොම උනත් නාජි දැන් සිය බිරිඳත් සමඟ එක්සත් ජනපදයේ ජිවත් වෙන බව තමයි කියන්නෙ. 

 

 

චීන ජාතික යාසින් කියන්නෙ චීනයේ ෂින්ජියැන් උයිගර් ස්වයන් පාලන කලාපයේ ජිවත් උන උයිගර් ලේඛකයෙක් සහ කවියෙක්. ඔහු විසින් රචනා කරලා ප​ළ කරන ප​ළවෙනි කෙටිකතාව උන “The Blue Piegon” එහෙමත් නැත්තම් නිල් පරවියා කියන කතාවේ අන්තර්ගතය සහ නම හේතුකොටගෙන ඔහුට 2005 වසරේදී වසර 10ක සිර දඬුවමකට නියම වෙන්න සිද්ධ වෙනවා. ​චෝදනාව වෙන්නෙ කතාවේ අන්තර්ගතය මඟින් බෙදුම්වාදය උසිගැන්වීමට උත්සාහ කිරීම කියන එකයි. කතාවේ සඳහන් වෙන්නෙ නිල් පරවි රජෙක් වෙන පරවියන් පිරිසක් විසින් අල්ලගත්තට පස්සේ වහලෙක් විදිහට සිරභාරයේ ගත කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු විෂ සහිත ස්ට්‍රෝබෙරි ගෙඩියක් කාල සියදිවි හානි කරගැනීම ගැනයි. නිල් පාට කියන්නේ උයිගර් නිදහස් සටනේදී භාවිත කරන වර්ණයක් වීමත් මේ කතාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් තහනමට ලක් කරන්න හේතුවක් උන බව කියනවා. කොහොම උනත් මේ කතන්දරේ නිසා ලේඛකයාට විතරක් නෙමෙයි පොත ප්‍රකාශනයට පත් කරපු ප්‍රකාශකයටත් අවුරුදු 3ක කාලයකට හිරේ යන්න උනා කියල තමයි කියන්නෙ. 

 

 

ඔන්න මේ ලිස්ට් එකේ කාන්තාවනුත් ඉන්නවා. සිරියානු ජාතික මල්ලූහි කියන්නේ 2009 වසරේදී 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. ​ඇය ලියන්නෙ බ්ලොග් අඩවියක්. කවි සහ සමාජ විවරණ වලින් සමන්විත ​ඇගේ බ්ලොග් අඩවිය මඟින් විදේශීය රාජ්‍යයකට ඔත්තු සැපයෙන බව කියමින් කිසිඳු සාක්ෂියක් ​නොමතිව සැකපිට පමණක් රාජ්‍ය ආරක්ෂක අංශයන් විසින් අයව අත්අඩංගුවට ගන්නවා. මාස 9ක කාලයක් අවිනිශ්චිත චෝදනා යටතේ ඇයව රඳවා ගෙන අවසානයේ කිසිඳු චෝදනාවක් හෝ සාක්ෂියක් නොමැතිව උනත් අධිකරණය විසින් ඇයට වසර 5ක සිර දඬුවමක් නියම කරනවා. කාලෙකට පස්සේ ඇයව නිදහස් ක​ළ බව රාජ්‍ය ආරක්ෂක වාර්තා මඟින් කියවුණත් අත්අඩංගුවට පත් උනාට පස්සෙ මේ වෙනකන්ම ඇගේ පවුලේ කිසිම කෙනෙක් ඇය ගැන තොරතුරක් කියන්න දන්නේ නම් නැහැ. 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here