ලංකාවේ අපි අතර භාවිතා වන අපේම ඇප්ස් 9ක් – Sri News

0
11


සාමාන්‍ය ෆෝන් එක ස්මාට්ෆෝන් එකක් වීමත් සමග එයින් ගත හැකි වැඩ සංඛ්‍යාව විශාල ගණනකින් වැඩි විය. ඒ ඒ කාර්යයන් කරගැනීමට පහසු වන පරිදි ඇප්ස්ද විශාල සංඛ්‍යාවක් ටික කලකින්ම ඇප් ස්ටෝර් වලට එකතු විය. ලෝක පූජිත ෆේස්බුක්, ඉමෝ, වට්සැප්, වයිබර් වැනි සමාජ ජාල හැරුණු කල ලංකාවේ අපි අතර වඩාත් ජනප්‍රිය ඇප්ස් කීපයක් තිබේ. අපේ ෆෝන් එකට ඇතුළත් කරගෙන හෝ අත්හදා බැලීමට වටිනා ඒ ඇප්ස් ගැන අපි තොරතුරු ටිකක් දැනගමු.

 

SriLankan made apps

Source – play.google.com

ස්මාට්ෆෝන් පැමිණි මුල් කාලයේ සිංහල බසින් ටයිප් කිරීමට නොහැකි වීම මහත් ගැටළුවක් විය. ඉන් පසු කලකදී හෙළකුරු මගින් ඒ ගැටළුව සම්පූර්ණයෙන්ම පාහේ විසඳා දෙන ලදී. පසු කාලීනව ගූගල් කී බෝඩ් එකටද සිංහල බස ගියමුත් වඩාත් පහසු හෙළකුරු ලංකාවේ බොහෝ දෙනා සිංහල බසින් ටයිප් කිරීමට යොදා ගනී. හාරලක්ෂයකට අධික ජනතාවක් දිනකට හෙළකුරු සක්‍රියව භාවිතා කරන අතර මේ වනවිට මිලියන 2.2කට අධික උපාංග ප්‍රමාණයකට හෙළකුරු ඇප් එක ඇතුළත් කරගෙන තිබේ.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

දුම්රිය ගමන් වේලාවල් දැනගැනීම සඳහා ඇති ඇප්ස් දුම්රිය සේවාවේ යන එන අය අතර ප්‍රචලිත වී තිබේ. රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සැපයූ ඇප් එක බොහෝ විට නිවැරදිව වැඩ නොකරන අතර ඒ නිසා වෙනත් ඇප්ස් කරළියට පැමිණ තිබේ. ඉන්දියාවේ දී නම් දුම්රිය ඇප් හරහා දුම්රිය කාලසටහන බැලීම මෙන්ම දුම්රිය ටිකට් වෙන් කරගැනීම, දුම්රිය ධාවනය වන ස්ථානය නිවැරදිව බලාගැනීම ආදී වැඩකටයුතු රාශියක් ලබාගත හැකිය. අපේ රටේත් එවැනි දුම්රිය මගීන්ට ප්‍රයෝජනවත් තොරතුරු කිහිපයක්ම ලබාගත හැකි ඇප් එකක් නිමවීමට රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහය නැමැති ෆේස්බුක් සංවිධානය සැරසී සිටී.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

වෙබ් අවකාශයේදි මධුර ඔන්ලයින් නම් වෙබ් ශබ්දකෝශය භාවිතා කිරීම පහසුය. එසේම ඉංග්‍රීසි සිංහල පරිවර්තන කටයුතු අන්තර්ජාලය නොමැති අවස්ථාවේදී යොදාගත හැකි ඉංග්‍රීසි සිංහල පරිවර්තන ඇප්ස්ද කිහිපයක්ම ඇප් ස්ටෝර් වල තිබේ.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

ටැක්සියක් වෙන්කර ගැනීමට කෝල් කළ යුතු කාලය හමාර වී, ඇප් එකෙන්ම රූට් එක සහ වාහනය තෝරාගෙන වාහනයක් ඇනවුම් කිරීමට දැන් පික් මී හරහා අවකාශ ලැබී තිබේ. පික් මී සේවාව වඩාත් ජනතාව අතර පැතිරගිය අතර කලකට පෙර සාමාන්‍ය කැබ් සේවාවන් මගින් කාර් රිය පමණක් වෙන්කරගත හැකි වූ විට පික් මී මගින් ත්‍රීවීලර් රථ ද ගෙන්වාගැනීමේ පහසුකම ලැබුණි. ඉඳහිට හෝ නිතිපතා හෝ කුලී රිය සොයන අයට පික් මී ගැලපෙනම ඇප් එකකි.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

ඩයලොග් සමාගම මගින් හඳුන්වා දුන් වීටා ඇප් එක සෞඛ්‍ය සේවාවක් සඳහා නිමවුණු සාර්ථක ඇප් එකකි. ඒ හරහා ඩෙංගු පැතිරගිය සමයේදී ඩෙංගු ව්‍යාප්තිය නිවැරදිව සොයාගැනීමට අදාළ බලධාරින්ට පහසු විය. එහෙත් ඇප් එක හරහා ලබාගන්නා වාර්තා වඩාත් විශ්වාසනීය වන්නට නම් ඒ ඩෙංගු රෝගීන් ගැන වූ ඇප් එකේ දත්ත යාවත්කාලීන විය යුතුය. එහිදී සිදුවන්නේ ඩෙංගු රෝගීන් සිටින පළාත් ගැන දැනුවත් කිරීමකි. එයින් පසු අදාළ අංශ වලට ඒ පැතිරීම තිබෙන ප්‍රදේශවලට කෙලින්ම ඇතුලත් වී පිරිසිදු කිරීම් වැනි කටයුතු කළ හැකි වීම එහි ඇති මහඟු වාසියකි.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

චාරිකාවක් යන විට ගීත ගැයීමට කෙතරම් ආසාව තිබුනත් ගීපද අමතක වීම ලොකු ගැටලුවකි. එය මගහරිනු වස් සිංහල ලිරික්ස් යනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් සැකසී තිබේ. අප අවශ්‍ය ගායකයා තේරූ විට ඔහු ගැයූ ගීත රැසක ලිරික්ස් එහි තිබෙන අතර ඒ ඔස්සේ අපිට අදාළ ගීතයේ පදවැල් සහ ස්වර ප්‍රස්ථාර ආදිය බලාගත හැකිය. ගීත ගායනා කර විනෝද වීමට මෙන්ම සංගීත භාණ්ඩ හරහා ගීත වාදනය කිරීමටත් මේ සිංහල ලිරික්ස් සහ මියුසික් ප්‍රස්ථාර ඇතුළත් ඇප් එක හරහා හැකිය.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ… බඩු ගන්නයි විකුණන්නයි පොළටයි ආවේ අද පොළටයි ආවේ… යනු ජෝතිපාල ගේ ජනප්‍රිය පැරණි ගීයකි. ඒ ගීයට අනුව එදා බඩු විකිණීමටත් මිලදී ගැනීමටත් ගමේ ගොඩේ සියලු දෙනා පොළ කරා ගියෝය. ඔන්ලයින් අවකාශය තුළ බඩු විකිණීමටත් බඩු මිලදී ගැනීමටත් අද ඉක්මන්. එල් කේ අඩවිය ජනප්‍රිය වී තිබේ. ඒ හරහා ඉලෙක්ට්‍රොනික බඩු, ස්මාට්ෆෝන්, රථවාහන මෙන්ම ගස් වැල් මල් පළතුරු පවා දැන් දැන් ගජරාමෙට විකිණේ.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

ඕමි බැලීම පෙර කල කාඩ් කුට්ටමකින් කාලය ගෙවා දැමීමට කදිම උපක්‍රමයක් විය. මළගෙවල් වල මිතුරු හමු වල තවමත් කාඩ් කූට්ටමක් ඇතිනම් ඕමි බැලීම අනිවාර්ය අංගයක් වේ. මේ ඕමි බැලීම දැන් ගේම් එකක් ආකාරයට පැමිණ ඇත. එය සරල ගේම් එකක් නිසාවෙන් ලංකාවේ වැඩිහිටි පරපුර අතර ජනප්‍රිය ඇප් එකකි. එහිදී සාමාන්‍ය ක්‍රමයට ඕමි බලන ආකාරයටම තෝරාගත් කොළ ගැසීම සිදුකල හැකි නිසා ඕමි ගැන දන්නා අය අතර ඇප් එකෙන් ඕමි බැලීම වඩාත් ජනප්‍රිය වී තිබේ.

 

SriLankan made appsSriLankan made apps

Source – play.google.com

අකුරු ටිකක් නිකම්ම දමනවාට වඩා ලස්සන පසුබිමක එය නිරූපණය කිරීමෙන් ලැබෙන ආකර්ශනය වැඩිය. පින්තූරයකදී එයින් පිළිබිඹු නොවන අදහසක්ද අපිට පින්තූරය මතට වචන කිහිපයක් එකතු කිරීමෙන් කිව හැකිය. මිතුරන්ගේ ඡායාරූප සංස්කරණය කොට සතුටුවන අය අතරත්, අදහසක් ආකර්ශනීයව දැක්වීමට කැමති අය අතරත් ෆොටෝ උඩ සිංහල පහසුවෙන් ටයිප් කළ හැකි මෙම ෆොටෝ එඩිටර් සිංහල ඇප් එක ජනප්‍රිය වී තිබේ

අපේ අවශ්‍යතාවයන් අනුව ඒවාට සහයවීමට සැකසුණු ඇප්ස් රැසක් ඇප්ස්ටෝර් වල තිබේ. ඉදිරියේදී ස්මාට්ෆෝන් භාවිතාව වැඩි වීමත් සමග අප සමාජයේද ඇප්ස් වලට ඇති තැන ඉබේම වැඩිවනු ඇත. විනෝදාස්වාදය ලබාදීමෙන් ඔබ්බට ගොස්, අපේ ජීවිතයට වටිනා ප්‍රයෝජනවත් ඇප්ස් භාවිතාව වැඩි වීමෙන් ස්මාට්ෆෝනයෙන් දැනට ලබාගන්නවාට වඩා වැදගත් වැඩ කොටසක් අනාගතයේදී අපිට ලබාගන්නට හැකි වෙනු ඇත.

 
Cover Image Source – play.google.com
 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here