රෝග රැසකට ඉතා ගුණදෙන කලාඳුරු අලයේ සැඟවුන ප්‍රතිකාර… මිහිපිට හට ගන්නා ස…

0
17

රෝග රැසකට ඉතා ගුණදෙන කලාඳුරු අලයේ සැඟවුන ප්‍රතිකාර…

මිහිපිට හට ගන්නා සෑම ගහක් මුලක් ගලක් වැලක්ම මොනයම් හෝ රෝගයකට ඖෂධයක් වෙනවා. ඒකනේ මහෞෂධ කුමාරයත් තම ගුරුවරයාට ඖෂධ පිණිස භාවිතයට නොගැනෙන කිසිදු දෙයක් මිහිපිට නැහැ කියලා පැවසුවේ. බල්ලෙක් පූසෙක් කුප්පමේනියා ගහ ඉවෙන් වගේ අඳුරගත්තට කාය ඉන්ද්‍රිය දුබල, මනේන්ද්‍රිය බලවත් වූ මිනිසුන්ට ඇත්තටම එහෙම හැකියාවක් නැහැ. ඒකයි මනේන්ද්‍රිය වැඩි වැඩියෙන් දියුණු කරපු ඍෂිවරු වැනි උත්තමයින් වෙනත් නොපෙනෙන බලවත් ලෝක වල සහාය ඇතිව මේ දේවල් මනු ලොවට ගෙනවිත් ගුරුකුල, පොත්පත් හරහා අපේම යහපත වෙනුවෙන් එදා සමාජ ගත කලේ.

ඒත් මොකක්දෝ අවාසනාවකට ගහේ වැලේ ගුණය අගය වටහාගත් අපේ පරම්පරාව කාලයත් එක්ක එන්න එන්නම ලෝකයෙන් අතුරුදහන් වෙලා ගියා. අපි ලෝකයේ විවිධ ජාතීන්ගේ යටත් වැසියන් බවට පත්වුනා. ගහට කොළට සතා සීපාවාට ආදරය කරපු මිනිස්සු වෙනුවෙට මුදල් තම ජීවිතය කරගත් සොබාදහම ගැන නොතකන මහ පොළවට පවා විස පොවන ආත්මාර්ථකාමී මිනිසුන් ටිකක් බිහිවුනා. අන්න ඒ මිනිසුන් අතින් අදටත් සමූලඝාතනය වන අපේ පාරම්පරික වෙදකමේ, ආයුර්වේද වෙදකමේ එන විශිෂ්ඨ ඔසු පැලයක තොරතුරුයි අද අපි ඔබට කියන්න යන්නේ.

වත්ත පහල, වෙල් දෙනියේ ඉපනැල්ලේ ඕවිටේ බඩ වැටියේ ඕසෙට වැවෙන මේ ඔසු පැලය තමයි “කලාඳුරු”. තණකොළ ගහක් වගේ පෙනුමට තිබුණත් ගුණයෙන් නම් මේ ඔසු පැලය වෙනත් ඔසුවකට දෙවෙනි වන්නේ නැහැ.

ආයුර්වේදයේ එන “මුස්තකාරිෂ්ටය“, “මුස්තකාසවය“ වැනි අරිෂ්ඨ ආසව වලට මෙම කලාඳුරු අලය ප්‍රධානම අමුද්‍රව්‍යයක්. උණ සහ අතීසාරය වැනි රෝග වලට දෙනු ලබන බොහෝ කෂාය පන්තීන් තුල මෙම කලාඳුරු ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස දැකගත හැකියි.

සංස්කෘත ඖෂධ නිඝන්ඩු වලට අනුව කලාඳුරු ශාකය භද්‍රමුස්තකා (මහ කලාඳුරු), නාගරමුස්තා (හීන් කලාඳුරු) සහ කෛවර්තමුස්තා (ජල කලාඳුරු) ආදී වශයෙන් ප්‍රභේද තුනකට වෙන්කල හැකියි. ඒවායේ ගුණයන් වෙන් වෙන්ව ගත්කල මෙසේයි.

🔴 භද්‍රමුස්තා (මහ කලාඳුරු)
……………………………………………..

• තිත්තයි
• සිසිල් වේ
• මල බැඳීම ඇති කරයි
• කෘමි දෝෂ නසයි
• සෙම, පිත්ත, ජවර, අතීසාර හා ලේ දෝෂ පහ කරයි.

🔴 නාගරමුස්තා
………………………….

• තිත්තයි
• කසටයි
• සිසිල් වේ
• සෙම, පිත්ත, අතීසාර, ආහාර අරුචිය හා දැවිල්ල ආදිය නසයි.

🔴 කෛවර්තමුස්තා
………………………………..

• කසටයයි
• සමේ කාන්තිය වඩයි
• සිසිල් වේ
• විසප්පු, කුෂ්ට හා විෂ නසයි
• වා, පිත්, සෙම්, ලේ දෝෂ, පණුවන්, අතීසාර, වණ, උණ, කැසීම් හා රුජා පහ කරයි.

අතීතයේ ජීවත් වුන අපේ ගොවි මහතුන් වෙල් නියරවල් මත හැදුන කලාඳුරු පැල වලට අද වගේ වස විස හැලුවේ නෑ. ඒ පැල ගලවලා ඒ නියර මතම පරිස්සමට ඇතිරුවේ කලාඳුරු අලයෙන් නිකුත්වන වාෂ්පශීලී සුගන්ධය වගාවට හානි කරන බොහෝ කෘමි සතුන් පලවා හරින කෘමි විකර්ශකයක් ලෙස ක්‍රියාකල නිසයි.

ඒ කාලේ බඩේ අජීර්ණයකදී අපේ පැරැන්නන් කලාඳුරු අල, අමු ඉඟුරු අල එක්ක හොඳින් කොටලා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බලා එහි යුෂ වෙන්කරගෙන දවසට දෙතුන් විටක් පානය කලේ අජීර්ණ රෝග වලට කලාඳුරු හොඳම ඖෂධයක් වූ නිසයි. අජීර්ණ වලට වගේම වමනයටත් කලාඳුරු වලින් සිදුකරන හරි අපූරු ප්‍රතිකාරයක් ඔවුන් සතුව තිබුනා. ඒ තමයි කලාඳුරු අල තම්බාගත් කසායට මී පැණි තේ හැන්දක් දමා පානය කිරීම.

එළකිරි ඇතුළු ඕනම කිරි වර්ගයක් ස්වාභාවයෙන්ම ශීත ගුණයෙන් යුක්තයි කියලා අපි හැමෝම දන්නවා. ඔබ සෙම වඩවන කෙනෙක් නම් කලාඳුරු අල කැබැල්ලක් රත් කරන එළකිරි එකට එකතු කරගන්න. එවිට එහි පවතින ශීත ගුණය යම්තාක් දුරකට අඩුකරගන්න පුළුවන්.

අම්මා කෙනෙක් දරුවෙක් ලැබුනට පස්සේ කොස්, පොලොස්, කිරි හැන්ද, කිරි අගුණ වගේ පෝෂ්‍යදායී ආහාර නිතරම වගේ ලබාගන්නවා. ඒ ක්‍රමවත් මව්කිරි ස්‍රාවයක් අඛණ්ඩව පවත්වා ගැනීමේ අදහසිනුයි. කුමන හෝ හේතුවකට මවකට මව්කිරි නොඑරෙන්නේ නම් තම පියයුරු මත කලාඳුරු අල අඹරා ගෑමෙන් කිරි එරීම උත්තේජනය කළ හැකි බව අපේ වෙද පත පොතේ සඳහන් වෙනවා.

ඇස් වලින් කබ කදුළු ගලන එකටත් කලාඳුරු අලයෙන් කරන විශ්මිත ප්‍රතිකාරයන් අපේ හෙළ වෙදකම සතුයි. කලාඳුරු අල කෑල්ලක් හොඳින් උරච්චි කර ඇහි පිහාටුවට ඉහළින් ඇහිබැම ආසන්නයේ පරිස්සමට ආලේප කලොත් එම රෝග වලින් පහසුවෙන් මිදෙන්න පුළුවන්. නඟනයක් ඇති වූ විටත් කලාඳුරු අල ඇල්දිය සමඟ උරච්චි කර ගෑමත් ඉතා හොඳයි.

මුත්‍රා පිටවීම අඩු අයට කලාඳුරු අල තම්බා ඒ වතුර ටික ගොඩක් විශ්වාසයෙන් පානය කලහැකි නම් ඒක හරිම ගුණදායක ප්‍රතිකාරයක් .

තුවාලයක් ඇති වූ විට එය හොඳ වෙන්නෙම නැත්නම්, හොඳ වීමට කල්ගත වනවා නම් කලාඳුරු අල ටිකක් ගිතෙලින් අඹරා ඒ මත ආලේප කිරීමෙන් ඉක්මනින්ම එම තුවාල සුව කරගත හැකියි.

අපේ කාන්තාවන්ට බොහෝ කායික ගැටළු තියෙනවා. මාසිකව සිදුවන ආර්තව වේදනාව ඉන් එකක්. සමහර අයට ආර්තවය හරි දවසට සිදු වෙන්නෙත් නැහැ. හරිම අපිලිවෙලයි. අන්න එහෙම අයට වතුර කෝප්ප 01කට, කලාඳුරු අල 20 ක් එකතුකර කෂායක් වගේ හදාගෙන පානය කල හැකි නම් ඒ ගැටළු වලින් පහසුවෙන් මිදිය හැකියි.

පොඩි ළමයින්ගේ පණු අමාරුවට කලාඳුරු අල තම්බා එයින් තේ හැඳි 01ක් උදේ හවස දිය හැකි නම් පණු අමාරුව ඉක්මනටම හොඳ කරගන්න පුළුවන්.

හදිසි අනතුරු වලින්, හිසට වදින තද පහරකින් මොළය වගේ සියුම් තැන් වලට හරිම ඉක්මනට හානි සිදුවෙනවා. එහෙම හානි සිදු වූ විට එළකිරි වලට කලාඳුරු අලයක් දමා රත්කර බොන්නට දීමෙන් ඔවුන්ගේ ස්නායූන් ප්‍රකෘති කරගත හැකියි. එවැනි රෝගීන්ට ඇතිවන අපස්මාර ගති නැති කිරීමට ද මෙම ප්‍රතිකාරය බොහෝ උපකාරී වෙනවා.

සමේ රෝගයක් ඇති වූ විට කලාඳුරු අල උරච්චි කර ඇල් දියෙන් අනා ගෑමත් බොහෝ ප්‍රතිඵල දායකයි.

බඩේ අමාරු සමඟ හටගන්නා උණ රෝග වලදී කොත්තමල්ලි, අමු ඉඟුරු, කලාඳුරු අල, ඉරිවේරිය දඬු එකට දමා තම්බා උදේ සවස අඬු කෝප්ප 1/2 බැගින් පානයට දීම ඉතා සුදුසු ප්‍රතිකර්මයක්. (අවුරුදු 05 න් ඉහළ කුඩා දරුවන්ට අඬු කෝප්ප කාලක් දීම ප්‍රමාණවත්. අවුරුදු 05 න් පහළ දරුවන්ට මේ ප්‍රතිකාරය නුසුදුසුයි)

මුහුණේ කුරුලෑ ඇති වූ විට කලාඳුරු අල කැබැල්ලක් පොඩි කර එහි සාරය කුරුලෑ මත ආලේප කිරීමෙන් කුරුලෑ සුවකරගත හැකියි.

අමු ඉඟුරු හා කලාඳුරු අල එකට අඹරා මී පැණි සමඟ ගැනීමෙන් පාචනය ඉක්මනින් සුවකරගත හැකියි. ඒ විතරක් නෙවෙයි සූදුරු හා කලාඳුරු අල අව්වේ වියළා තබා කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීමෙන් කල් ගිය අතීසාර රෝගයන්ට පවා ගුණ ලබාගත හැකියි.

දහඩිය දුඟද ඇති වූ විට කලාඳුරු අල කැල්ලක් ගලේ උරච්චි කර ඇල් වතුරෙන් හෝ දෙහි ඇම්බුලෙන් අනා ගෑමට හැකිනම් එය ශරීරයට ප්‍රසන්න සුවඳක් එක්කරන සරල ප්‍රතිකාරයක්.

කලාඳුරු අල බොහෝ අයට ගුණ වුනත් එය ගැබිනි මව්වරුන්ට, කුඩාම ළමයින්ට එතරම් සුදුසු නෑ. ඒ නිසා මේ ප්‍රතිකාරයන් අත්හදා බැලීමට මත්තෙන් සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න පුළුවන් නම් එය ගොඩක්ම වටිනවා.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸මකන්න බැරි ලප කැළැල් මකන, කලාඳුරු අල වලින් හදන විශ්මිත ආලේපය 👇
https://m.facebook.com/story.php?story_fbid=2333113400316483&id=1839559759671852

🔹කලාඳුරු අල වලින් හදන ශරීරය සුවඳ කරන ආලේපන 👇
https://m.facebook.com/story.php?story_fbid=2343633642597792&id=1839559759671852

🔸මහත අය කෙට්ටු කරන කෙට්ටු අය මහත් කරන නොවරදින පිළියම් 👇
https://m.facebook.com/story.php?story_fbid=2082897658671393&id=1839559759671852

🔹කුරුලෑ වලින් අත්මිදීමට ආයුර්වේදීය පිළිවෙත් 👇
https://m.facebook.com/story.php?story_fbid=2294775277483629&id=1839559759671852

📗 මූලාශ්‍ර :- “ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ ග්‍රන්ථය,
👦 තොරතුරු :- දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #kaladuru #kalanduru #කලාදුරු #nutgrass #nut_grass #healthyfood #ayurveda #ayurvedalifestyle




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here