රට බංකොලාත්භාවයෙන් මුදවාගෙන තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා – ජනපති රනිල් වික්‍රමසිංහ – Sri News | Sri Lanka Business News

0
12

  • නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරනවා.
  • ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය බවට උතුරු පළාත පත් කරනවා.
  • කන්කසන්තුරය සහ මාන්කුලම ප්‍රදේශවලට නව ආයෝජන කලාප දෙකක්.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ඊයේ (24) සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.

මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ද එක්ව සිටියේය. අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

උතුරු පළාතේ භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බව අද මෙතැනදී සඳහන් වුණා. යාපනය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල ද භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම ඉඩම් වගා කටයුතුවලට ද යොදාගෙන නැහැ. නමුත් ඈත අතීතයේ අපේ රටේ කෘෂිකර්මාන්තය අපනයන මට්ටමක පැවතුණා. අනුරාධපුර රජ දවසේදී ශ්‍රී ලංකාව ධාන්‍යය අපනයනය කළා. ඉන් පසුව තේ, කෝපි, කුරුඳු, රබර් වැනි බෝග අපනයනය කළා. නමුත් මේ වන විට මෙම අපනයන කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිසා කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීමට කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන්ට ද කෘෂිකර්මයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතුයි. රජය සහ පෞද්ගලික සමාගම් එක්ව සුහුරු කෘෂිකර්මාන්තය ගමට හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඩොලර් ඉපයීමට ඇති හැකියාව ඉතා ඉහළයි. පසුගිය සතියේ කෑගල්ල ප්‍රදේශයේ මා නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී නවීන කෘෂිකර්මාන්තය භාවිත කරන ව්‍යවසායකයෙක් දැකගන්නට ලැබුණා. මේ වන විට රටට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යවසායකයන් බව කිව යුතුයි.

වර්ග අඩි 5000කින් ඉහළ ආදායමක් ලබා ගැනීමට නවීන කෘෂිකර්මාන්තය මඟින් හැකියාව තිබෙනවා. හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් අටක පමණ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි නවීන කෘෂිකර්මාන්තයක් අද තිබෙනවා.

එය භාවිතයට ගැනීම තුළින් අපනයන ආර්ථිකයක් මෙන්ම නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමටත් රජය අවධානය යොමු කර තිබෙනවා. තවද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර බලශක්තිය අපනයනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය ප්‍රදේශවල සුළං විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. එම විදුලි බලය අප නිපදවන්නේ මෙගාවොට්වලින් නොව ගිගාවොට්වලින් බව පැවසිය යුතුයි. වැව් මත සූර්ය පැනල ස්ථාපනය කරමින් විදුලිය උත්පාදනය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා.

පූනරීන් සහ ඉරණමඩු යන වැව් මේ සඳහා භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් නිපදවීමට හැකියාව තිබෙන්නේ උතුරු පළාතටයි. එසේම මෙගාවොට් 700ක ධාරිතාවයකින් සමන්විත ආසියාවේ ලොකුම සූර්ය පැනල බැටරිය මෙම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. එය ආරම්භයක් පමණයි. මේ සමඟ ආසියාවේ විශාලතම පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන මධ්‍යස්ථානය බවට උතුර පත් කළ හැකියි. බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේදී මීට වඩා විදුලි උත්පාදනයක් සිදු කළ යුතුයි.

එනිසා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ද පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය සඳහා අප ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා. කන්කසන්තුරය සිමෙන්ති සංස්ථා භූමිය කේන්ද්‍ර කරගෙන ආයෝජන කලාපයක් පිහිටුවීමට නියමිතයි. මාන්කුලම ප්‍රදේශයේ ද ආයෝජන කලාපයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වෙනවා. අපේ ධීවරයන් වෙනුවෙන් අපේ මුහුද ආරක්ෂා කර ගැනීමට අපට වගකීමක් තිබෙනවා. නවීන ධීවර ක්‍රම තුළින් ධීවර කර්මාන්තය ද දියුණු කරනවා.

පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරණියන් රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ආර්ථික පරිවර්තන නීති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එමඟින් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකයට පරිවර්තනය වීමට අප බලාපොරොත්තු වෙනවා. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි අපනයනය පදනම් වූ ආර්ථිකයක් මෙරට ද ගොඩනැඟිය යුතුයි.

ඒ වගේම ඔබේ ඉල්ලීම පරිදි ඉදිරි මාස දෙක තුළදී දකුණු ඉන්දීය කලාකරුවන් සමඟ විශාල ප්‍රසංගයක් යාපනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා. බංකොලොත් ආර්ථික‍යෙන් රට මුදවාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයක් හැටියට අප ඉදිරියටත් කටයුතු කරනවා.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වෙයි.

ප්‍රශ්නය:ජනාධිපතිතුමනි, පානීය ජල හිඟය උතුරේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙන බැවින් ඊට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

පිළිතුර:උතුරේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා රජය විසින් මුහුදු ජලය පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා. (Desalination Project) එම ව්‍යාපෘතිය ජුනි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ එක කාලයකදී ඕනෑ තරම් ජලය තිබෙනවා. ඇතැම් කාලවල උග්‍ර ජල හිඟයක් පවතිනවා. ජලය හිඟ අවස්ථාවලදී අපි කටයුතු කරන ආකාරය ගැන සොයා බැලිය යුතුයි. මේ ප්‍රශ්නය උතුරේ පමණක් නොවෙයි. දකුණේ ඇතැම් ප්‍රදේශවලත් තිබෙනවා. අපට ලැබී තිබෙන වාර්තාවලට අනුව 2050 වන විට වියළි කලාපයේ වැසි අඩු වෙනවා. තෙත් කලාපයේ වැස්ස වැඩිවෙලා ජලය වැඩි වෙනවා. මේකට විසඳුමක් සෙවීමට අපි කටයුතු කරමින් යනවා. දේශගුණික විපර්යාස සම්බන්ධ ප්‍රශ්න අපට පමණක් නොව, ලෝකයේ රටවල් ගණනාවක තිබෙනවා.

ප්‍රශ්නය:
ජනාධිපතිතුමනි, විරැකියාව නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ට ස්වයං රැකියාවක නියැළීම සඳහා පොළී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දිය හැකිද,

පිළිතුර:
යාපනයේ පමණක් නොව රටේ සෑම තැනකම විරැකියාව ප්‍රශ්නයක් වී තිබෙනවා. පසුගිය වසර කිහිපයේ රටේ ආර්ථිකය කඩාවැටුණු නිසා රැකියා සඳහා බඳවා ගැනීම් සිදුවුණේ නැහැ. නමුත් මේ වසර තුළ රට බංලොත්භාවයෙන් මුදවා ගැනීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. රට සංවර්ධනය කිරීමේදී අපනයන ආර්ථිකයකට පරිවර්තනය විය යුතුව තිබෙනවා. ඊළඟ අවුරුදු 5-10 තුළ අපනයන ආර්ථිකය දියුණු කිරීම අපේ බලාපොරොත්තුවයි. එයට අවශ්‍ය නීති ජුනි – ජූලි යන මාස තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කර අවසන් කරනවා. පසුගිය වසරේ රටේ ආර්ථිකය තිබුණේ සෘණ අගයකයි. නමුත් 2024 වසරේ රට බංකොලොත්භාවයෙන් මුදාවා ගෙන එම තත්ත්වය වෙනස් වූ පසුව අපි බැංකු පද්ධතිය හරහා සහනදායි ණය ලබාදීමට කටයුතු කරන්නම්.

ප්‍රශ්නය:
ජනාධිපතිතුමනි, ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් ලංකාවට පැමිණෙන බව සඳහන් වෙනවා. එයින් තරුණයන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

පිළිතුර:
මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා. අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා. ඒ වගේම ”Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්.එම්. චාල්ස්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here