රටට තියෙන ලොකුම ප්‍රශ්නය ණය ගෙවිය හැකි පසුබිම සකසා ගැනීමයි – හිටපු ජනපති රනිල්

0
24


නිවැරදි සැලසුම් ක්‍රියාත්මක නොකළොත් රට නැවත බංකොලොත් භාවයට ඇද වැටෙන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ආර්ථිකය වන අතර 2022 වසරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවයි එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ.

”අප රටවල් 18කින් ණය ලබාගෙන තිබුණා.ඊට අමතරව ස්වෛරී බැඳුම්කර ලෝකයේ පෞද්ගලික අයට විකුණා තිබුණා. පළමුවෙන්ම අපට සිදුවූයේ IMF සංවිධානය සමග කතා කරන්නයි. මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අප IMF සංවිධානය සමග සාකච්ඡා කළා. කඩා වැටෙන ආර්ථිකය ස්ථාවරයක් කොට ණය ගෙවීම පිළිබඳ තිරසරභාවයක් ඇති කිරීම සම්බන්ධයෙන් අප කතා කළා. නැවත ණය ගෙවීම ඇරඹීමට කොතරම් කාලයක් ගත වේදැයි අප සාකච්ඡා කළා. එමෙන්ම අපට ණය ගෙවීමට කොපමණ කාලයක් ලබාදිය හැකිදැයි යන්න පිළිබඳවත් කතා කළා. අපගේ ණයෙන් කොපමණ ප්‍රමාණයක් අඩුකර දිය හැකිද යන කාරණය පිළිබඳවත් සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියා.

2028 වසරේ ණය ගෙවීම අරඹන ලෙස මූල්‍ය අරමුදල අපට පැවසුවා. 2028 වසරේ ණය ගෙවන්නේ නැතිනම් අපට ප්‍රශ්නයක්. 2028 වසරේ ණය ගෙවීම අරඹා 2042 වසර වන විට ගෙවීම් අවසන් කරන ලෙසත් ඔවුන් දැනුම් දුන්නා. අදාළ රටවල් 18 සහ ස්වෛරී බැඳුම්කර වලින් අපිට ඩොලර් මිලියන 8000 -12000 අතර ලබාගන්න පුළුවන්. ඒ කටයුතු කිරීම සඳහා අපට ආර්ථික ඉලක්ක තිබෙනවා. ඒ ආර්ථික ඉලක්ක අනුව කටයුතු නොකළොත් අපට මේ ආධාර ලැබෙන්නේ නැහැ. අපට ණය ගෙවන්නට නොහැකි යැයි ප්‍රකාශයට පත් කළොත් නැවත අප බංකොලොත් භාවයට පත් වෙනවා. මෙය අප රටවල් 18 සමඟ සාකච්ඡා කළා. ඒ රටවල් 18ම මීට එකඟ වුණා. සුළු සංශෝධන ඉදිරිපත් කළා. ඉන්පසුව IMF ගිවිසුම සහ මේ රටවල් 18 සමඟ තිබූ ද්වීපාර්ශවික ගිවිසුම අප ස්වෛරී බැඳුම්කරුවන්ට ලබා දුන්නා. ඒ අයත් ඊට එකඟතාවය පළ කළා.

අප ඡන්දයට යෑමට පෙර ඒ සියල්ලෙහිම වැඩකටයුතු අවසන් කළා.මේ අනුව ඔක්තෝබර් 4 වෙනිදා අලුත් ආණ්ඩුවටත් දැනුම් දුන්නා. ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. දැන් මේ අනුව අප වැඩ කළ යුතුයි.අපට ණය ගෙවන්නට හැකියාව තිබෙන බව පෙන්විය යුතුයි. ඉන් පසුව අප 2028 සිට ණය ගෙවිය යුතුයි.
ණය ගත් පසුව ඒවා ගෙවන විටත් එකඟතා අනුව කළ යුතුව තියෙනවා. මූලික අවුරුදු කිහිපයේදී අපට ඩොලර් මිලියන තුන්සියයක් ගෙවන්නට තිබෙනවා.අප වැඩ කටයුතු කරගෙන යන්නේ මේ අනුවයි.

එමෙන්ම අපගේ දේශීය ණය නැවත ගෙවීමටත් වැඩසටහනක් සකස් කළා. දේශීය ණය මෙන්ම විදේශීය ණයේ එකතුව ඩොලර් මිලියන 84000යි. එයින් භාගයක් හෙවත් ඩොලර් මිලියන 42000ක් විදේශ ණය. අනෙක් භාගය දේශීය ණය. ඩොලර් මිලියන 42000න් සියයට 20-25ක් පමණ අඩු කරගන්න හැකියාව තිබෙනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here