රඟ බිම ජයගත් ලාංකික නැටුම් ශිල්පිනියෝ – Sri News

0
4

අද වෙනකොට අපේ ප්‍රධාන සෑම උත්සව අවස්ථාවකදීම කාන්තාවන් සහභාගි වන නැටුම් නිර්මාණ අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් ලංකාවට නිදහස ලබන අවධිය වන විට තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. නර්තනයේ යෙදීම එක්තරා කුලයකට සීමා වුණු අඩු කුලයේ වැඩක් විදිහට ලංකාවේ ජනතාව අතර මතයක් පැතිර තිබුණා. ඒ වගේම නර්තන භූමිය තුළ ආධිපත්‍යය දැරුවේ පිරිමින් පමණයි. නමුත් ජාතික ප්‍රබෝධයත් සමඟ බොහෝ පිරිස් අපේ සංස්කෘතික අංග පිළිබඳව හැදෑරීමට උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නැටුම තවදුරටත් එක්තරා සමාජ පන්තියකට සීමා වීම වැළකුණු අතර කරළිය තුළ එතෙක් පිරිමියා ලබා සිටි තැන කාන්තාවන් අතින් අභියෝගයට ලක් වුණා. Lifie අපේ මේ සටහන රංග බිම ජය ගන්න මූලිකත්වය ගත්ත කාන්තාවන් කීප දෙනෙක් ගැන. 

 

බීරන් හිල්ඩා ඔගස්ටා කරුණාතිලක නම් සුරූපී තරුණිය කලාගුරු ජේ. ඩී. ඒ පෙරේරා සමග සමඟ විවාහයෙන් පස්සේ චන්ද්‍රලේඛා පෙරේරා බවට පත් වෙනවා. ලංකාවෙ නැටුම් කලාව හැදෑරීමට තම සැමියාගෙන් ලද දිරිමත් කිරීම අනුව ඇය රංගම ගුණමාලා හා අල්ගම කිරිගණිතයා යන නර්තන ආචාර්යවරුන්ගෙන් දේශීය නැටුම් සම්ප්‍රදායන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉන්පසුව ඇය ට්‍රැවන්කෝරයට ගොස් භාරතීය නැටුම් පිළිබඳව හදාරනවා. නැවතත් ලංකාවට එන ඇය පත්තිනි, නාරිලතා වන්නම, විජය රාජපුවත වගේ නිර්මාණ සිදු කරනවා. නමුත් ලංකාවෙ නර්තන ක්ෂේත්‍රයේ අවාසනාවකට වගේ ඇය වයස අවුරුදු 31දී මෙලොවින් සමුගන්නවා.

 

ලෝ ප්‍රකට ඉතිහාසඥ පෝල් ඊ පීරිස් මහතාගේ දියණිය වන මීරියම් පීරිස් මහත්මිය සැලකෙන්නේ ලංකාවේ වෙස් බැඳීම සිදු කළ පළමු කාන්තාව විදිහට. ඇය නර්තනය හදාරන්නේ නිත්තවෙල උක්කුවා ගුරුන්නාන්සේගෙන්. වෙස් බැඳීම පිළිබඳ ව පැවති සම්ප්‍රදායානුකූලව මත වෙනස් කිරීම හැරුණු විට ඇය ලංකාව තුළ නර්තනයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් නම්  සිදු කරන්නේ නැහැ. නමුත් ඇය ලන්ඩනයේ ගතකළ කාලය තුළදී The Drum නම් චිත්‍රපටය සඳහා නළඟනකගේ චරිතය නිරූපණය කිරීමෙන්  දායක වෙනවා. ශ්‍රී ලාංකිකයෙකු බටහිර චිත්‍රපටයක් සඳහා දායක වුණු පළමු අවස්ථාව විදිහට ඇයගේ මෙම චරිත නිරූපණය සලකන්න පුළුවන්.

 

චන්ද්‍රලේඛාගෙන් නර්තන කලාව පිළිබඳව අත්පොත තැබූ රංජනා තංගරාජා උඩරට නැටුම් කලාව පිළිබඳව තව දුරටත් හදාරනු ලැබුවේ  අල්ගම කිරිගණිතයා සහ අර්නෝලිස් ඉඹුල්ගොඩ යන ගුරුවරුන් ඇසුරෙනුයි. ඉන්පසුව ඇය විසින් උඩරට නැටුම් ඇතුළත් පළමු මුද්‍රා නාටකය නිර්මාණය කරනු ලැබුවා. එය හඳුන්වනු ලැබුවේ “ලංකා උපත” යන නමිනුයි.ඇය තම ශිල්ප ඥානය නොමසුරුව බෙදා දෙමින් ගෝල පරම්පරාවක් ලංකාව තුළ බිහි කළා. ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනාමාන කිරීමේ චාරිකාවක නිරතව සිටියදී රංජනා තංගරාජා මියගිය අතර සුප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ටී. අර්ජුන ඇගේ වැඩිමහල් පුත්‍රයායි.

 

සිරිමතී රසාදරී ව බොහෝ දෙනෙක් හඳුනන්නේ පරසතු මල් චිත්‍රපටිය මැගී විදිහට. ඒ ඇගේ සිනමා ජීවිතයේ කූටප්‍රාප්තිය .නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සිරිමතී රසාදරී තමයි ලංකාවේ කථකලී නැටුම් සම්ප්‍රදාය ප්‍රචලිත කිරීමට මූලිකත්වය ගත්ත තැනැත්තිය. කලාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කරපු සිරිමතී රසාදරී කිසිවිටෙකත් මුදල ඉදිරියේ කලාව හෝ තම ආත්ම ගෞරවය පාවා නොදුන් තැනැත්තියක්. අද ලංකාවේ ජනප්‍රිය බොහෝ කථකලී රංගන ශිල්ප ශිල්පිනියන් සිරිමතී රසාදරීගේ ගෝලයින්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here