යූ ටියුබ් නෝනලා කියන හැම එකම මූණේ උලන්න ගියොත් බියුටි කචල් වෙයි ⋆ ධරණී

0
10

ලයිලා රොආවුස්ගේ වයස අවුරුදු 18යි. ලයිලගේ කොණ්ඩේ එයාගේ යාළුවන්ගෙ කොණ්ඩවලට වඩා ඝනකමින් අඩුයි. ඉතින් යාළුවන්ගෙ වගේ ඝනකම් කොණ්ඩයක් ලයිලටත් ඕන වුණා.

‘කොණ්ඩේ ඝනකම් කරගන්නේ කොහොමද?’

ලයිලා යූ ටියුබ් එකට ගිහිල්ලා ඔහොම ටයිප් කරලා සර්ච් කළා. ඉස්සර වගේ නෙමේ දැන් හිතට එන ඕනම ප්‍රශ්නෙකට උත්තර හොයන්න කරන්න තියෙන්නේ ෆෝන් එක ටච් කරන එක විතරයි.

ඉතින් යූ ටියුබ් එකේ එක එක ජාතියේ සත්කාර, හෝම්මේඩ් එව්වා, DIY එව්වා, “මම ලස්සන වුණේ මේවා ගාලා” කියන නිළියන්ගේ එව්වා. ඊටපස්සේ ඔය කියන විදියේ එකක් හදාගෙන ලයිලා සති ගාණක් එකදිගටම ගෑවා. දන්නවද අන්තිමට වුණ දේ? ලයිලගේ හිස්කබලේ කුෂ්ඨ රෝගයක් ඇතිවුණා.

එතකොට ටිලී විට්ෆෙල්ඩ් ඔස්ට්‍රේලියාවේ රියැලිටි තරුවක්. ඇය ලස්සන වෙන්න හිතාගෙන ටික්ටොක් වීඩියෝ එකක් අනුගමනය කරලා ගෙදරදිම කටු චිකිත්සාව කළා. ඒකෙන් ඇගේ මුහුණ දරුණුවට තුවාල වුණා විතරක් නෙමෙයි තාවකාලිකව ඇගේ පෙනීමත් අහිමිවෙලා තිබුණා. තව එතකොට කොරියාවේ යූ හෝට 21යි. එයා තොල් ලොකු කරගන්න ආලේප කරපු යූ ටියුබ් DIY සත්කාරයක් නිසා අක්මාවේ ගැටලුවක් ඇතිවෙලා මාස ගාණක් රෝහල්ගත වෙන්න වුණා.

සමාජ මාධ්‍ය කියන්නේ ඕනම දෙයක් ඉගෙනගන්න හොඳ වේදිකාවක් තමයි. හැබැයි යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වගේ ඕනම එකක් ඕන කෙනෙක්ට ලොකු අමාරුවක් නැතිව හදාගන්න පුළුවන්. ඇත්ත වුණත් බොරු වුණත් තමන්ගේ හිතලු ඇත්ත වගේ කියන්නත් කාගෙන්වත් තහනමක් නැහැ. ඉතින් මෙව්වගේ තියෙන හැම එකම ඇත්ත නෙමෙයි. හැබැයි සමාජ මාධ්‍යවල තියෙන හැමදේම ඇත්ත කියලා හිතන අයත් ඉන්නවා.

අනෙක්වා පැත්තකට දාමුකෝ. ගොඩක් අය දුරදිග නොබලා මෙව්වගේ තියෙන හැම එකම මූණේ, අතේ පයේ උලන්න යන එකයි ලොකුම ප්‍රශ්නේ. සමාජ මාධ්‍යවල තියෙන නොදන්නා දේවල් කරන්න ගිහින් ප්‍රතිකාරවලට එන පිරිස එන්න එන්න වැඩිවෙනවා කියලයි වෛද්‍යවරු පවා කියන්නේ.

විෂය ගැන ප්‍රවීණයන්, චර්ම වෛද්‍යවරු කරන වීඩියෝ එහෙමත් සමාජ මාධ්‍යවල තියෙනවා. කැමති කෙනෙක්ට ඒ දේවල් අනුගමනය කරන්න පුළුවන්. හැබැයි අහසින් පාත්වුණු අයයි, රඟපාන උදවියයි ශරීරෙට කරන්න කියන එව්වා ඒ පමාවට කරන එක නම් නිකන් දැන දැනම හොර වෙද්දුන්ගෙන් ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ වැඩක්. මේ ගොඩක් අය මමත් මෙව්වා ගෑවා කියලා කැමරාවට කිව්වට කැමරා පිටිපස්සේ මොනවා වෙනවද කියල කවුද දන්නේ?

ඉතින් සමාජ මාධ්‍යවල වැඩිපුරම තියෙන එහෙම වැරදි රූපලාවණ්‍ය උපදෙස් ටිකක් ගැන අද බලමු.

එහෙම එකක් තමයි ඩර්මාප්ලෑනින්ග්. මේ රූපලාවණ්‍ය සත්කාරය ගැන මීට කලින් අපි ‘ධරණී’ හරහා කතා කරලා තියෙනවා. ඩර්මාප්ලෑනින්ග් එකකදි කරන්නේ  ස්කල්පෙල් (Scalpel) වර්ගයේ සර්ජිකල් බ්ලේඩ් තලයකින් මුහුණේ අනවශ්‍ය රෝම සහ මැරුණු සම ඉවත් කරන එක. මේක වෘත්තීයවේදීන් කළ යුතු බොහොම සියුම් වැඩක්. හැබැයි දැන් ගොඩක් උදවිය යූ ටියුබ් බලාගෙන මේ වැඩේ ගෙදරදිම කරනවා. එව්වට හරියනවා කියන බ්ලේඩ්තල පවා සමාජ මාධ්‍යවල ගජරාමෙට අලෙවි වෙනවා. මේ රේසර්වලින් අනවශ්‍ය රෝම ඉවත් කළ පලියට ඒක ඩර්මාප්ලෑනින්ග් එකක් වෙන්නේ නැහැ. අනික මේ තල නිසා සම තුවාලවෙලා බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සම වියැලෙන්න, රළු වෙන්න තියෙන ඉඩත් වැඩියි.

ඊළඟ දේ වැක්ස්. හෝම්මේඩ් වැක්ස් සිරප් හදාගෙන ගෙදරදිම අනවශ්‍ය රෝම වැක්ස් කරන හැටි කියලා දෙන වීඩියෝස් අනන්තයි. මේ දේවල් නරඹලා ගෙදර වැක්ස් කරන්න යන එක නම් බොහොම භයානකයි. ඒක සම පිච්චෙන්න, තුවාල වෙන්න පුළුවන් අවදානම් වැඩක් කියලයි වෛද්‍යවරු කියන්නේ.

මුහුණට දෙහි, ලෙමන් ගාන්න කියලා ගොඩක් සමාජ මාධ්‍ය එක්ස්පර්ට්ලා උපදෙස් දෙනවා. දෙහි, ලෙමන් ඇතුළු පැඟිරි වර්ගයේ හැම පලතුරක්ම ආම්ලික ගතියෙන් වැඩියි. ඒ නිසා මේ වර්ග ඍජුවම ආලේප කළොත් සම පිළිස්සෙන්න, රතුවෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් අමුද්‍රව්‍ය එක්ක තනුක නොකර පැඟිරි වර්ග සමේ ගාන්න එපා කියලයි චර්ම විශේෂඥයින් කියන්නේ.

රහස් ප්‍රදේශවලට කරන සත්කාර ගැනත් සමාජ මාධ්‍යවල තියෙනවා. දෙහි, යෝගට්, කහ වගේ නොයෙකුත් දේ රහස් ප්‍රදේශයට ගෑවහම ඒ පැති සුදු වෙනවයි කියලයි ඒ අය කියන්නේ. ඔය තැන්වලට නොදන්න දේවල් උලන්න ගියොත් pH අගය අසමතුලිත වෙලා බැක්ටීරියල් වැජිනෝසිස්, කැන්ඩිඩා, මුත්‍රා ආසාදන වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි වෛද්‍ය මතය.

‘කුරුලෑවලට දත් බෙහෙත් ගාන්න’ සමාජ මාධ්‍යවල සමහරු ඔහොමත් කියනවා. දත් බෙහෙත්වල මෙන්තෝල්, හයිඩ්‍රජන් පෙරොක්සයි වගේ සංඝටක අඩංගුයි. ඉතින් දිගින් දිගටම සමේ එකම තැනකට දත් බෙහෙත් ගෑවොත් එතැන සම වියැලෙන්න වගේම පිළිස්සෙන්නත් ඉඩ තියෙනවා.

බේකින් සෝඩාවලින් කරන සත්කාරත් යූ ටියුබ් එකේ ඕසෙට. කිසිම වෙලාවක බේකින් සෝඩා ඍජුවම සමට ආලේප කරන්න යන්න එපා. ඒකෙන් සම වියැලෙන්න වගේම සමේ ආසාදන ඇතිවෙන්නත් පුළුවන්.

චොක්ලට්, අයිස්ක්‍රීම්, මයෝනයිස් වගේ දේ ෆේෂල් සත්කාරයක් විදියට ආලේප කරන්න කියන වීඩියෝ අපි දකිනවා. මේ වගේ දේ වලින් අපේ සමට කිසිම යහපතක් වෙන්නේ නැතිලු. හැබැයි මේවගේ තියන මේද කොටස් තැම්පත් වෙලා සමේ සිදුරු අවහිර වෙලා කුරුළෑ වගේම වෙනත් ආසාදන පවා ඇතිවෙන්න පුළුවන් කියලයි ඇමරිකාවේ ලොයෝලා විශ්වවිද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ රෙබේකා ටුන්ග් කියන්නේ.

මේවා විතරක් නෙමෙයි වැලි කඩදාසි, වයර්වූල් පාවිච්චි කරලා සම මදින්න කියන බොහොම භයානක උපදෙස්  පවා සමාජ මාධ්‍යවල තියෙනවා. ඉතින් ඒ දේවල් හොඳඳ නරකද කියලා තේරුම්ගන්න අපිත් ටිකක් සබුද්ධික වෙන්න ඕනේ.

කනෙන් ඇහුවත්, ඇහෙන් දැක්කත් අපි අහන දකින හැමදේම ඇත්ත නෙමෙයි කියලා බුදු බණෙත් දේශනා කරලා තියෙනවනේ. ඉතින් ඇහෙන් දැක්ක පලියට කනෙන් ඇහුව පලියට සමාජ මාධ්‍යවල තියෙන හැම එකම ඇඟේ උලන්න යන්න එපා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here