මොකක්ද මේ පැටලුණු දැල – Sri News

0
17


මේ අහන්න…..

අතීතයේ භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය ඇසූ අය ඒ ධර්මය අසන මොහොතේදීම මාර්ගඵල ලැබූ බව අප අසා තිබෙනවා. ඒත් නැත්නම් ඒ ධර්මය අසා ටික කලකින්ම මගඵල ලැබූ බව අප අසා තිබෙනවා .ඒත් අද ඒ ධර්මය ඒ ආකාරයෙන්ම තිබුණත් …මඟ ඵල ලබන අය අතීතයේ වගේ දක්නට අඩු මොකද ?

මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා.
පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ, එහෙම නැත්නම් රහතන් වහන්සේලා ප්‍රකටව වැඩ සිටින කාලයේ උපදින්නේ පිනෙන් පිරුණු ඇත්තන්. ඒ කියන්නේ මේ යුගයේ අයට ධර්මය අවබෝධ කරන්න පින් මදි කියන එක නෙවෙයි. ඒත් අර තරම් නෑ කියන එකයි. ඒ නිසාම බාධක වැඩියි වැඩි වැඩියෙන් වීරිය කරන්න ඕන.

 

දෙවෙනි එක, ඒ යුගයේ භාග්‍යවත් වහන්සේ ධර්මය දේශනා කළේ මාර බාධක පරාජය කරලයි. නමුත් මේ යුගය මුළුමනින්ම මාරයා තම අණසක පතුරුවා ඇති යුගය යි.

තුන්වෙනි එක මේ යුගයේ ඇත්තන් ධර්මය ප්‍රගුණ කරන විදියෙ අඩුපාඩුවක් තියෙනවා .ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ධර්මය ප්‍රගුණ කළ යුතු විදිහක් ගැන. සුතා ,ධතා ,වචසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා.

මේ යුගයේ අය ධර්මය අහනව තමයි. ඒත් දරාගැනීම අඩුයි. වචනයෙන් පුරුදු කිරීම ඊටත් අඩුයි. ඒ නිසා මනසින් මෙනෙහි කරන්න අමාරුයි. ඒකයි දෘෂ්ටිය ඍජු වීම ප්‍රමාද වෙන්නේ….

තවත් ටිකක් මේ ගැන පැහැදිලි කරන්න හිතුවොත්…

දැන් හිතලා බලන්න ඒ යුගයේ භාග්‍යවතුන් වහන්සේ හමුවේ දී, යම් කිසි අයෙක් දහම් කරුණක් ශ්‍රවණය කළා කියලා ඒ ශ්‍රවණය කරන කරුණ ආයෙ පොතකින් වත් කැසට් පටිය කින්වත් mp3 එකකින්වත් පසුව ආයෙත් අහන්න ලැබෙනවා කියලා එකක් ඒ කාලේ නෑනේ .

ඒ හින්දා ධර්මය අහන්න බලවත් කැමැත්තක් තියෙන්න ඕන. ඒක වචනයක් හරි මඟ හැරුණොත් ආයෙමත් අහන්න විදිහක් නැති නිසා. කන් යොමාගෙන ම අහගෙන ඉන්නවා. බාහිර අරමුණකට හිත යොදවන්නේ නැහැ. අවබෝධයට සිත පිහිටුවා ගෙන ධර්මය අහනවා. ආයෙ කවදාවත් අමතක නොවන විදියට මතකයේ දරා ගත හැකි පිළිවෙලකට අනුපිළිවෙලින් ගලපා ගන්නවා.

හිතන්න ඒ කාලේ එහෙම ධර්මය අහපු කෙනෙකුට ඒ මොහොතේ අවබෝධ වුණේ නෑ කියලා. ඒ කෙනා ආපසු ගෙදර එද්දී ඔහු මතකය දරාගත්ත ඒ ධර්මය මෙනෙහි කිරීමට තියන හැකියාව වැඩියි. මඟ තොටේදී වුනත්, ඔහුගේ ඇස, කන, නාසය, දිව, කය, මනස, පැහැර ගන්න දේවල් අද තරම් තිබුණෙ නැහැ. ගෙදර ආවත් රෑට ඇඳිරි වැටුණාම ලන්තෑරුමක් පත්තු කරගත්ත කියමු. ආයෙමත් අර මතකය දරාගෙන ආ ධර්මය නුවණින් මෙනෙහි කරන්න හොඳ නිදහසක් තියෙනවා.

දැන් අපි ධර්මය ශ්‍රවණය කරන්න යනකොටම අපේ හිත ඇතුලේ තියෙනවා ඔය දේශනාව ආයෙමත්, mp3 වශයෙන් හරි කැසට් පටි වශයෙන් හරි නැවත අහන්න පුළුවන් බව. නැත්නම් අහවල් පොත් වහන්සේ තුළ තියෙනවා කියන එක. ඒ හැඟීම් හින්දා අපි මුළු සිතම යොදවාගෙන අහන්නේ නෑ .මුළු හිතම යොදවලා අහන්නේ නැති නිසා මතකය දරාගන්න තියෙන හැකියාව අඩුයි .එතකොට වචනයෙන් පුරුදු කරන්න විදිහක් නැහැ .ඉතින් අනුපිළිවෙලට ගළපා මතකයේ දරා ගන්නෙ කොහොමද?

ඒ නිසා නුවණින් මෙනෙහි කරන්න විදිහක් නැහැ. අවබෝධය ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන කාරණය මේකයි….

ඔබ ඔබ දෙසම බලන්න… ඔබ පොත් වශයෙන් mp3 වශයෙන් කොතරම් නම් දේශනා රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන තිබෙනවාද?ඒ දේශනාවන්ට වචනයෙන් අනුපිළිවෙලට පැවසිය හැකි අන්දමින් මතක මතකේ දරා ගෙන තිබෙන ප්‍රමාණය ඊට සාපේක්ෂව කොයි තරම් අඩු ද කියා ….

මේ යුගය අයිති මේ ඇස, කන, නාසය, දිව ,කය, මනස ,අයිතිකරුවා ටයි. ඒත් අපිට ධර්මයේ හැසිරෙන්න වෙන්නෙත් ඕවා උපයෝගි කොටගෙන මයි. ඒක, ඔහුගේ ම උපකරන උපයෝගී කරගෙන ඔහුගේ ම ජීවිතයෙන් පැන යාමට උත්සාහ කරනවා වගේ වැඩක්.

එහෙම වැඩක් කරන්න යන කෙනා ඒක කළ යුත්තේ හරිම සීරුවෙන්. හරිම සූක්ෂමව. මොකද අර ආයතන හයේ අයිතිකාරයාට මේක දැනුණොත් ඔහු ඒකට කරන්න පුළුවන් හැම බාධාවක්ම කරන්න පසුබට වෙන්නේ නෑ. ඒ නිසා මතක තබා ගන්න, ඔබ ඔහුට ඉලක්කයක් වෙන්න එපා. ඉතින් අපි කොහොමද පටන් ගන්න ඕනේ මේ සංසිද්ධිය…

අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්න නම්… ජීවිතය තෙරුවනට පූජා කරන්න .

අභ්‍යන්තර ආයතන හය මෙන්ම ඒවාට ගෝචර වන බාහිර ආයතනත් අනිත්‍ය බව, වෙනස් වන බව , අන්‍ය ස්වභාවයකට පත්වන බව, භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒකාන්තයෙන් ම එය සත්‍යයක් ම බව අදහා ගන්න .නුවණින් මෙනෙහි කරන්න. ඒ බව තේරුම් ගන්න.

මේ ගමනට ලොකු පුන්‍ය බලයක් අවශ්‍යයි. ජීවිතය පිනෙනි සවිමත් කරගන්න. ධර්මය අසන විට පෙර කී ආකාරයට ධර්මය ඉතා හොඳින් අසා මනසෙහි දරාගන්න. දැන් හදිසියේ ඔබ මරණාසන්න වුනා කියමු. එතකොට ඔබ සන්තකයේ කොතරම් පොත්පත් mp3 තිබුණත් වැඩක් වෙන්නෙ නැහැනෙ .මෙනෙහි කරගන්න පුලුවන් වෙන සිතේ දරාගෙන තියෙන ටික විතරයි ඔබට පිහිට වෙන්නේ.

ඒ වාගේම ජීවිතය ගත කරද්දී ආයතන හය පිනවන සියලු කාමයන් කුසල් දහම් වල නොඇල්ම, පිපාසය හා බඩගින්න, තණ්හාව, නිදිමත ,බිය, දහම ගැන ඇතිවන සැකය, දැඩි බව හා ගුණමකු බව, ලාභ සත්කාරවලට යට වන සුළු බව, මානය,තමා උසස් කොට අනුන් පහත් කොට තැකීම, යන කරුණු දස මාර සේනා බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ වායින් ඔබ වෙලා ගන්නා හැම විටම ඔබ ඒ සේනාවට අසුවී ඇති බවට සිහි එලවා ගන්න.

ඇස බැඳ තබන නව තාක්ෂණික උපකරණ සියල්ලම ඔහුගේ මෙවලම් බව සිහි තබා ගන්න. කන බැඳ තබන නව තාක්ෂණික උපකරණ සියල්ලම ඔහුගේ මෙවලම් බව සිහි තබා ගන්න. මේ ආකාරයට අනෙකුත් ආයතන සඳහා සුවඳ, රස ,සුව පහසුව ,අරමුණු වශයෙන් ඇති නවීන උපාංග සියල්ලම ඔහුගේම මෙවලම් බව සිහි තබා ගන්න.

ඒ කියන්නේ ගිහි අපි රූපවාහිනී නරඹන එක පවා සීමා කළ යුතුයි කියන එකද කියලා ඔබට හිතෙයි.අපි බලමු …

භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිතර නෘත්‍ය ශාලා චරණය පිරිහීමට කරුණක් කියලයි .මේක ඒ යුගයට ගලපා බලන්න. ඒ යුගයේ දවස ගානෙ කඩපිල, නාට්‍ය පෙන්නුවා කියල හිතන්න බෑ .සමහරවිට මාසෙකට වතාවක් දෙවතාවක් පෙන්වන්න ඇති. එවන් විතර බැලීමත් පිරිහීමට කරුණක් නම්, මෙසේ අයිතිකාරයා ගෙදර සාලෙ මැද දවසට නාට්‍ය තුන හතර බලන්නට සැලසීම තුළින්, ඔබගේ පිරිහීම කොතෙක් දුරට තීව්‍ර කරලාද කියලා හිතාගන්න.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි යුගයේදීම ස්වාමීන් වහන්සේලා හිසට තබා ගත් ලී කොට්ටය වෙනුවට පුළුන් කොට පාවිච්චි කරන්නට ගත්ත කාරණය නිසා, රහතන් වහන්සේලා බිහි වීම අඩු වෙලා ගිය බව මා අසා තිබෙනවා.

එතකොට මේ යුගයේ ආයතන හය උදෙසාම භාවිතා කරන දේවල් ඔබ අවබෝධයෙන් කොතරම් ඈතට ගෙන යයිද?

මතක තියාගන්න ..දහම් මග කියන්නේ පටිසෝතගාමි ගමනක්…

මෙහෙම බලනකොට අපිට ගැලවෙන්නම බැරි විදිහේ දැලක පැටලිලා නේ තියෙන්නේ …

ඉතින් බලමු අපට රැකවරණයක් නැද්ද කියලා….

තියෙනවා….

ඒ තමයි පිය උරුමය….

නිතර සතර සතිපට්ඨානය තුළ ම සිහිය රඳවා ගන්න.

සතර ධ්‍යාන තුළම සමාධිය පවත්වාගන්න .

ශක්තිය ධෛර්යය ඔබ සතුයි …ඒවා මෙහෙයවමින් ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට ආශිර්වාද කරමු .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here