මේ වෑයම දැහැමි සමාජයකටයි – Sri News

0
4


දැහැමි සමාජයක් ඇතිකරලීමේදී ප්‍රමුඛතාව ගතයුතු කරුණු කාරණා රාශියකි.
දැහැමි සමාජයක් යන ප්‍රස්තුතය කණට වැටෙන කල අපට ධර්‍මශෝක මහ අධිරාජයන් සිහියට නැගෙනවා. බුද්ධ වර්‍ෂයෙන් දෙසියදාහතරක් ගතවූ සමයෙහි දඹදිව ආධිපතීත්වයට පත්වූ මෙතුමා ප්‍රථමයෙන් හඳුන්වනු ලැබුවේ චණ්ඩාශෝක කියලා.

 

 

කාලිංග යුද්ධයට පසුව සිත් තැවුලට පත්වූ අධිරාජයා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක මුණ ගැසීමෙන් නව අත්දැකීමක් ලැබුවා වගේම
පසුව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතුන් වහන්සේගෙන් බුදුදහම උගෙන බෞද්ධ අධිරාජයකු වූ බව ශාසන ඉතිහාසයෙහි දැක්වෙනවා.

 

බුදු දහම වැළඳගත් මෙතුමා තම රටවැසියාද ධර්‍මානුකූලව හැඩ ගැස්වීමට උත්සාහ කළ අයුරු එතුමා විසින් පිහිටුවන ලද විවිධ සෙල්ලිපි හා ටැම් ලිපිවලින් සනාථ වෙනවා.

ධර්මය ප්‍රචාරය කිරීම සඳහා “ධර්‍ම මහා මාත්‍ර” නම් අධිකාරිය ස්ථාපනය කරන්නට යෙදුණා.

බෞද්ධ සාහිත්‍යයෙහි එන දස සක්විති වත් සහ දසරාජ ධර්‍ම අනුව පාලක පක්‍ෂය ක්‍රියා කරන කල්හි දැහැමි පාලකයන් අනුගමනය කරන පාලකයන්ද දැහැමි බවට පත්වීම නිරායාසයෙන් ම සිදුවෙනවා.

 

සක්විතිවත් වල එන ප්‍රධාන කාය¸යක් වනුයේ මිනිසුන් පමණක් නොව ජීවත්වන සතා සිවුපා ආදී සියලු දෙනා කෙරෙහි රැකවරණය හා ආරක්‍ෂාව සැලසීමයි. ආර්ථික සුරක්‍ෂිතභාවය ඇතිකරලීම ද දැහැමෙන් සෙමෙන් පාලනය කිරීමද ප්‍රවීණ උගත් මහණ බමුණන්ගෙන් උපදෙස් ලබාගැනීමද සක්විති වත් වල එන අනෙක් කරුණු වෙනවා.

දානය, සීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, තපස, ක්‍රෝධ නොකිරීම, හිංසා නොකිරීම, ඉවසීම හා විරුද්ධ නොවීම යන දස රාජ ධර්‍මයන් අනුව රටක පාලනය පවත්වා ගැනීම දැහැමි සමාජයක පහළවීමට හේතු වෙනවා.

 

 

ප්‍රතිපත්ති ගරුකව සීලයෙන් හා තපසින් අනූනව දානයෙන් හා පරිත්‍යාගයෙන් රටවැසියාට අවශ්‍ය සම්පත් ලඟාකර දෙමින් සෘජු ගුණයෙන් හා අවංක භාවයෙන් යුතුව රට වැසියා කෙරෙහි අනුකම්පාවෙන් පාලනය කිරීම රජයක වගකීම වෙනවා.
එම ගුණාංග අතර සෘජු අවංක භාවය, ඉතා වැදගත් වෙනවා. එම ගුණය පිරිහුණු කල්හි අල්ලස්, දූෂණ සහ වංචා ආදියට බෙහෙවින් ඉඩකඩ විවෘත වෙනවා.

 

 

බෞද්ධ සමාජයෙහි පැවැදි උතුමන් පමණක් නොව උපාසක උපාසිකා පිරිස ද ප්‍රතිපත්ති ගරුක විය යුතුය. ආය¸ අෂ්ඨාංගික මාර්‍ගය ම අනුගමනය කළ යුතුය. එයින් බැහැර වූ ප්‍රතිපදාවක් නොමැත. සීල-සමාධි හා ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂා අනුව පිරිසුදු ජීවිතයක් ගත කළ යුතුය. අරී අට මගෙහි ගුණාංග අට වැඩිය යුතුය.
ආරම්භය සීලයයි.තමන් සමාදන්ව රක්නා ශීලය අතිශයින් පිරිසුදු විය යුතුය. සීලයෙහි පිහිටි හෙතෙම සමාධිය සඳහා වෙර වැඩිය යුතුය. සමාධියෙන් එකඟබවට පත්වූ සිත් ඇත්තේ ප්‍රඥා භාවනාව කළ යුතුම වේ. බුදු දහමෙහි හරය ඇත්තේ එම ප්‍රතිපදාවෙහිමය.

 

බුදු දහම නිදහස් චින්තනයට ඉඩ සැලසූ දහමක් ලෙස කවුරුත් දන්නවා. ලොව ජීවත්වන සියලු දෙනාම විවිධයි. “නානත්ත කායා නානත්ත සඤ්ඤී” යන පාඨය ප්‍රසිද්ධ එකක්.

සත්ත්වයා ශරීර වශයෙන් ද හැඟීම් හැ දැනීම් වශයෙන් ද විවිධයි. ඒ ඒ අයට රිසි පරිදි ජීවිත යාත්‍රාව පදවනවා.

“බෝධි වන්දනා” “ බෝධි පූජා” අද ඉතා ජනප්‍රිය පූජා විධි බවට පත්වෙලා තිබෙනවා. එහි වරදක් අප දකින්නෙ නැහැ. බෝධිය යනුවෙන් ජන වහරෙ බෙහෙවින් භාවිතා වෙන්නේ ඇසතු වෘක්‍ෂයටයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ එම වෘක්‍ෂය මූලයේ නිසා එයට බෝධීන් වහන්සේ කියලා ව්‍යවහාරයට ආවා. එවන් බෝධීන් වහන්සේ යට බෝපත් සැළෙන සිසිල් මද පවනෙ නිස්කලංකව අමා මෑණී බුදුපියාණන් වහන්සේගේ ගුණ සමුදාය සිහිකිරීම අති උදාර පින්කමක් බවට පත්වෙනවා.
“බෝධි” කියල අදහස් කරන්නේ බුද්දත්වයටමයි. සත්‍යය අවබෝධ කරන නුවණයි. 

”බෝධිවුච්චති චතුසු මග්ගේසු ඤාණං” කියල තැනක අර්ථ දැක්වෙනවා. සතර මාර්ග සිත්වල උපදින ඤාණය බෝධි යන පදයෙන් හඳුන්වනු ලබනවා. ඒ අනුව බලන කොට බෝධි පූජාව කියන්නේ බුද්ධ ඤාණයට කරනු ලබන පූජාවක් ලෙසද සැළකිය හැකිවෙනවා.
ඔබ අසා ඇති දස බල බුද්ධඤාණ, චුද්දස බුද්ධඤාණ, තෙසැත්තෑඤාණ, සත්සැත්තෑ ඤාණ ආදී යෙදුම්. මේ සියල්ල ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පහළ වුණු ඤාණයන්මයි. බුද්ධ ඤාණයන් මෙනෙහි කරමින් සිදු කැරෙන වන්දනාව එක අතකින් බුද්ධානුස්සති භාවනාව බවට පත්වෙනවා. එයින් සැහැදැ බව වැඩෙනවා. සිත එකඟ බවට පත්වෙනවා. බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනා බොහොමයකින් තම සන්තානය උපචාර සමාධිය දක්වා වඩන්නට හැකිවෙනවා.

 

මොකක්ද උපචාර සමාධිය කියන්නෙ?
ධ්‍යාන සිතට ළංවූ හෙවත් ධ්‍යානය ළඟ හැසිරෙනවා කියන අරුතයි. ධ්‍යාන සිත කියන්නෙ අපට සාමාන්‍යයෙන් උපදින කාමාවචර කුසල සිතට වඩා බලවත්වූ සිතක්. සිත බලවත් වෙන්නෙ ඒ සිත සමඟම උපදින චිත්ත ගති හෙවත් චෛතසික ධර්‍මයන් නිසා.
අනුස්සති භාවනා කියල කලින් සඳහන් කළේ
සමත භාවනා- විපස්සනා භාවනා කියල භාවනා ක්‍රම දෙකක් බුදු දහමෙ විස්තර කරනවා. සමථ භාවනාව කියල හඳුන්වන්නේ චිත්ත සන්තානයෙහි ඒකාග්‍රතාවය ගොඩ නැංවීම සඳහා කරනු ලබන භාවනාව.

 

සුදුසු අරමුණක් තෝරාගෙන එය නැවත නැවත මෙනෙහි කිරීමෙන් සිත ඒ අරමුණට තදින් කාවදිනවා. චිත්ත පරම්පරාව එම අරමුණෙහිම රැඳී පවතිනවා. එවැනි අරමුණු හතළිහක් නම් කරල තියෙනවා. සම සතළිස් කර්මස්ථාන කියලා. ඒවායින් දහයක්ම අනුස්සති භාවනා කමටහන්. බුදුගුණ සිහි කරන භාවනාව – බුද්ධානුස්සති භාවනාවයි. දහම් ගුණ මෙනෙහි කරන භාවනාව – ධම්මානුස්සති භාවනාවයි.
ඒ ආකාරයට සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතාසති ආනාපාන සති කියල භාවනා ක්‍රම දහයක් තියෙනවා. ඒ අතුරෙන් කායගතා සති කියන කයෙහි දෙතිස් කුණප මෙනෙහි කරන භාවනාව සහ ආනාපාන සති භාවනාව කියන ආස්වාස-ප්‍රස්වාස අරමුණු කරන භාවනාව වඩන අයට ඒ මගින් ධ්‍යානයද ලබන්නට හැකි වෙනවා. අනෙක් අනුස්සති භාවනා අට වඩලා සිත දියුණු කළ හැකි වන්නේ ධ්‍යාන සිත ආසන්නයට පමණයි. ධ්‍යානය උපදවන්නට ඉඩ ලැබෙන්නේ නැහැ.

 

බෝධිපූජා පැවැත්වීම ප්‍රතිපත්ති පූජාවට අයත් වන්නක්..
ලොකු කුඩා කවුරුන් විසිනුත් සිදු කරනු ලබන වන්දනා කිරීම්, ආහාර බුද්ධ පූජා, ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා ආදී මේ සියල්ල සාමාන්‍යයෙන් ආමිස පූජා ගණයට ඇතුළත් වෙනවා. ඒවා පවත්වනු ලබන සිතිවිලි දාමය අනුවයි එය වටහාගත යුතු වන්නේ. භාවනාව ප්‍රතිපත්ති පූජාවට අයත් වෙනවා. “පිළිවෙතින් පෙළ ගැසෙමු” කියන තැන බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ බොදු මග ගමන් කිරීමයි. සීල, සමාධි හා ප්‍රඥා වැඩීමයි.
මේ කාලෙත් ප්‍රතිපත්ති පුරලා බෞද්ධයකුට ආය¸ භාවයට පත් වෙන්න පුළුවන්..
බුදුහාමුදුරුවෝ වදාළේ යමකු ධර්‍මයෙහි හැසිරෙන තාක් ලෝකය රහතන් වහන්සේලා ගෙන් හිස් නොවන බවයි. නිර්මල බුද්ධ ශාසනය පවත්නා මෙම වකවානුවේද පිළිවෙතින් පෙළ ගැසෙමු. අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු. සැනසීමට මඟ එයමයි.

 

 

    සහෝදරත්වයෙන් එක්වෙමු!

 

©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here