මේ ධර්මය, සසර දුකට ඖෂධයක් – Sri News

0
9

කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සතී
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ

මේ ගාථා රත්නය ධම්ම පදය ජරා වග්ගයේ පළමුවැන්න. ඒ ගාථාවේ අදහස වන්නේ
“මේ ලෝකවාසීන් නිරන්තරයෙන්ම ගිනි එකොළහකින් දැවෙනවා. එහෙම දැවෙද්දී මොන හිනාවක්ද? මොන සතුටක්ද? අවිද්‍යා කියන ගන අඳුරෙ ඉන්න ඔබ ඒ අඳුර දුරලන්න නැණ පහන නොදල්වන්නේ ඇයි?” කියායි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුබණ ඉතාම පිරිසුදුයි, පිවිතුරුයි. මුලින් ගත්තත් මැදින් ගත්තත් අගින් ගත්තත් පිරිසුදුයි, සත්‍යයි. ඒ වගේ පරම පිවිතුරු සත්‍ය ධර්මයක් අහන්න ලැබීමත් වාසනාවක්.

ඒ ධර්මය ඔබේ මතකයේ තබා ගෙන ඒ අනුව ජීවත්වෙන්න ලැබීමත් වාසනාවක්. ඒ නිසා ධර්මයට හොඳට සවන් දෙන්න. සවන් දුන් ධර්මයට අනුව සිතන්න. කතා කරන්න. කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ නමක් බුදු බවට පත් වී දේශනා කරන ධර්මය සසර දුකට ඖෂධයක්. ඒ ඖෂධයෙන් සදා නිවී සැනසුන උතුමන් වහන්සේට මහ රහතන් වහන්සේ යැයි කියනවා.

ඒ ධර්මය අනුගමනය කරන හැමෝම බෞද්ධයෝ. හැමෝම සැනසිල්ලට පත්වෙනවා.

දැන් අපි මාතෘකාව ගැන කතා කරමු. මේ මාතෘකා කළ ගාථා රත්නය, තථාගතයන් වහන්සේ දේශනා කළේ විශේෂ අවස්ථාවක. සැවැත්නුවර සැනකෙළි උත්සවයක් තිබුණා සතියක් පුරාම. මේ කාලයේ ගැහැනු, පිරිමි හැමෝම නිදහසේ කමින් බොමින් විනෝද වුණා. සැදැහැති අය මේ කාලයට සෑහෙන තරමේ දානෝපකරණ විහාරාරාමවලට ගෙනගොස් තැබුවා. ඒවායෙන් දානය පිළියෙළ කර දෙන්න අයත් පත් කළා.

මේ වගේ කාලෙක විශාඛා උපාසිකාව දිනක් කල්පනා කළා, හුඟ දවසකින් බුදු හාමුදුරුවෝ දකින්න ලැබුණෙ නෑ, බණ පදයක් අහන්න ලැබුණෙ නෑ, දන් හැන්දක් බෙදන්න, ගිලන්පස ටිකක් පූජා කරන්න ලැබුණෙ නෑ, යන්න ඕනැ පන්සලට කියල.

මෙහෙම හිතපු විශාඛාව බුදුපියාණන් වහන්සේ දක්නට යන්න සූදානම් වුණා. ගිලන්පසට අවශ්‍ය අඩුම කුඩුම ලැහැස්ති කර ගත්තා. යෙහෙළියො පිරිසක් දුවගෙන ආවා. අපිත් එනව පන්සල් යන්න, අපිත් එනව පන්සල් යන්න කියා බැගෑපත් වුණා. විශාඛාවගෙ අවසරය ලැබුණා. හැමෝම දෙව්රම් වෙහෙරට ගියා. විශාඛාව බුදු හාමුදුරුවන්ට ගිලන්පස පූජා කරලා සතුටු සාමීචියෙ යෙදුණා. ඇයගෙ යෙහෙළියෝ පන්සලට ආවේ තමන්ගෙ රෙදි පෙරෙදි අස්සෙ රා කළ සඟවාගෙන. ඔවුන් විහාරයට මුවා වී රා බිව්වා. හැබැයි විශාඛාව මේ මොකුත් දන්නෙ නෑ. බුදුහාමුදුරුවන්ට වැඳලා, පැමිණ සිටි පිරිස එක්කම ගිහින් බණ මඩුවෙන් වාඩි වුණා.

අර කාන්තාවොත් ඇවිල්ල බණ අහන පිරිස අතරෙ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේත් වැඩම කරල, බුද්ධාසනයේ වැඩ ඉන්නවා. විශාඛාවත් ඉස්සරහින් වාඩි වෙලා ඉන්නවා. විශාල පිරිසකුත් බණ අහන්න රැස්වෙලා. ටික වේලාවක් යන විට අර රා බිවූ කුමාරිකාවරු සින්දු කියන්න ගත්තා. සමහරු නටන්න, අත්පොළසන් දෙන්න පටන් ගත්තා. දැන් අපට අපූරු දර්ශනයක් පේනවා. විශාඛාව වට පිට බැලුවා. දුටු දෙයින් ඇය මහත්වූ ලජ්ජාවට පත් වී මුහුණෙ අත තියාගෙන බිම බලා ගත්තා. පැමිණි පිරිස කලබල වී විශාඛාවටත් එක්ක දොස් කියන්න ගත්තා. මේ අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ මහා ගන අන්ධකාරයක් මැවුවා. මේ අන්ධකාරය පෙනෙන්නේ අර කාන්තාවන්ට පමණයි. ඔවුන් මහා බියට, තැති ගැන්මට පත්වුණා. පියෙවි සිහිය ලැබුණා. බුදුපියාණන් වහන්සේ ආලෝකයක් මැවුවා. කුමාරිකාවරු මහත්වූ ලජ්ජාවෙන් බිම බලාගෙන හිටියා. ඒ වෙලාවෙදි තථාගතයන් වහන්සේ වදාළ ගාථා රත්නය තමයි අපේ මාතෘකාව වුණේ…

‘කෝ නු හාසෝ කිමානන්දෝ – නිච්චං පජ්ජලිතේ සතී – අන්ධකාරේන ඕනද්ධා – පදීපං න ගවෙස්සථ” නිතරම රාගාදී එකොළොස් ගින්නකින් දැවෙද්දී මොන සිනාවක්ද? මොන සතුටක්ද? අවිද්‍යා නමැති ගන අඳුරෙහි ඇලී, ගැලී, වෙලී සිටින ඔබ නැණ පහන නොදල්වන්නේ ඇයි? එයයි බුදු හාමුදුරුවෝ දේශනා කළ ධර්මය.

අපි පුංචිම පුංචි කාලෙ පහනේ දැල්ල අල්ලන්න හදන කොටම අපේ අම්මා, තාත්තා විදුලි වේගයෙන් අප වළක්වා ගත්තා මතකද? ඒත් ටිකෙන් ටික අපි වියපත් වෙනකොට ඒ ගින්නට තිබෙන බිය දුරස් වී ගියා. ගින්දරට පිළිස්සෙන බව දන්න නිසා අද අපි ගින්දර අල්ලන්න යන්නේ නෑ. ඒත් පුංචි කාලෙ නොකළ සමහර වැරැදි වියපත් වෙන විට කරන්න බොහොම දෙනා පෙළැඹෙනවා නේද?

බලන්න ඔබ අතින් වරදක් වුණාම ඔබ මොන තරම් දැවෙනවාද? මෙලොවදී දැවෙනවා, තැවෙනවා පමණක් නොවෙයි මරණෙන් මතු උපදින්නෙත් දැවෙන පිච්චෙන තැන්වලමයි. අප වැඩි දෙනාගේ සිත් බොහෝ වේලාවට තිබෙන්නෙ, ගිනි ඇවිළුන ගමන්. මොනවගේ ගිනිවලින්ද ඇවිළී තිබෙන්නෙ?

රාගෝ ච දෝසෝ ච මෝහෝ ච ව්‍යාධි
ජරා ච මරණම්පි ච සෝකමේව
පරිදේවදුක්ඛම්පි ච දෝමනස්සං
පායාසමේකාදසමග්ගිමාහු

රාගය, ද්වේෂය, මෝහය, ලෙඩ රෝග, ජරාව, මරණය, ශෝකය, වැළැපීම්, කායික දුක, නොසතුට හෙවත් සිතේ දුක සහ දැඩි ආයාසය ඒ ගිනි එකොළහයි. මේ ගිනි එකොළහෙන් සිත් ගිනිගෙන දැවෙනවා. අපට තිබෙනවා දොරටු හයක්. මේ දොරටු හය නිතරම ඇවිළෙනවා. මොනවද මේ දොරටු හය? ඇස, කන, නාසය, දිව, කය සහ මනැස. පාලියෙන් ඒ හයට කියනවා චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය සහ මන. ඔය දොරටු හය ගිනි තබන අය හය දෙනෙක් ඉන්නවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු. මේ ඇස, කන ආදී දොරටු හය හරියට ආයතන හයක් වගේ. ඇස නමැති ආයතනයෙන් කෙරෙන්නේ රූප බැලීමයි. ඒ බලන රූප හොඳ, නරක හැටියට ගැනීමෙන් ඇලෙනවා, ගැටෙනවා. ඇලුනත් ගිනි ගන්නවා. ගැටුනත් ගිනි ගන්නවා. කන නමැති ආයතනයෙන් කෙරෙන්නේ ශබ්ද ඇසීමයි. ශබ්ද ගැන හොඳ, නරක හැටියට ඇලෙනවා. ගැටෙනවා. ඇලුනත්, ගැටුනත්, ගිනි ගන්නවා. නාසය නමැති ආයතනයෙන් කෙරෙන්නේ, ගඳ සුවඳ විඳීමයි. ඒවයෙ හොඳ නරක සිතා ඇලෙනවා, ගැටෙනවා.ඒ තැනත් ගින්නක්. මේ ආකාරයට දිව, ශරීරය සහ මනැස යන ආයතනවල හැටියත් එහෙමමයි. එහෙනම් අපි ඉන්නෙ ඇවිලෙන ගින්නක් මැද්දේ. ඔය ගින්න අතරේ ශරීරය දිරන්න, වයසට යන්න පටන් ගන්නවා. මේ සියල්ල මහා දුකක්.

මේ ගින්න ඇති වෙන්නෙම අවිද්‍යාව නිසයි. අවිද්‍යාව කියන්නෙ සත්‍ය නොදැනීමයි. මොන වගේ සත්‍යයක්ද? ශරීරය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකීම, සිත පිළිබඳ ඇති තතු වටහා ගැනීම තමයි යථාර්ථය. මේ ඇත්ත ගැන අනවබෝධය නිසා හැම තිස්සේම ගිනි ඇවිලුණ ගමන්. හරියට ලැව් ගින්නක් වගේ. ටිකෙන් ටික හැමදේම ගින්නට බිලිවෙනවා. අවිද්‍යාව නිසා සිතේ, කුසල්, අකුසල් සකස් වෙනවා. මේ කාලයේ බොහොම දෙනාගේ සිත් අවිද්‍යා අන්ධකාරයට වැටිල තිබෙන්නේ. ඔබ මේ ගැන සිතා බලන්න. ඔබ කර්මය විශ්වාස කරන්නෙ නැද්ද? කර්ම විපාක විශ්වාස කරන්නෙ නැද්ද? එහෙම විශ්වාස නොකරනවානම් ඔබේ අතින් වැරැදි සිදුවෙනවා වැඩියි. අවිද්‍යාවෙන් ඔබ මුළා වෙලා. එහෙම වුණාම ඔබ ඉන්නෙ රාගයෙන් රත් වුණු ගමන්, තරහවෙන් දූෂිත වූ ගමන්, මෝහයෙන් මුළා වුණු ගමන්. එතකොට මේ අම්මා, මේ තාත්තා, මේ අයියා, මේ අක්කා, මේ නංගි, මේ මල්ලි, මේ පුතා, මේ මුනුපුරා, මේ මිනිපිරි කියා වෙනසක් දකින්නෙ නෑ, පෙනෙන්නෙ නෑ.

කාරුණික පින්වත්නි, මජ්ඣිම නිකායේ මුල්ම සූත්‍ර දේශනාව තමයි මූල පරියාය සූත්‍රය.ඒ සූත්‍රයේ දී එක් එක් අයගේ ප්‍රඥාවේ හැටියට පුද්ගලයන් කොටස් තුනකට බෙදා තිබෙනවා. පෘථග්ජන, සේඛ සහ අසේඛ හැටියට. පෘථග්ජන අයගෙ ප්‍රධාන ලක්‍ෂණය වන්නේ ඇස, කන ආදී ඉන්ද්‍රියවලට ගෝචර වන හැම අරමුණක්ම මම, මගේ, මාගේ ආත්මය, හැටියට පිළිගැනීම.

ඒ පෘථග්ජන අදහස්වලට වඩා ඉදිරියට ගිය අය තමයි සේඛ පුද්ගලයෝ. ඔවුන් කෙලෙස් නසන ප්‍රතිපදාව අනුගමනය කරමින් රහත් වීමට භාවනා වඩන අයයි. මේ රූපය මගේ, මේ රූපය මම, මේ රූපය මගේ ආත්මය යන අදහස ඇති වෙනවාත් එක්කම විදර්ශනා ඥානයෙන් ඒ මිථ්‍යා දැකීම ඉවත් කර ගන්නවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි ගැනත් එහෙමයි. අසේඛ පුද්ගලයෝ කියන්නේ, අරිහත් මාර්ග ඵලයට පත්වූ අයටයි. රාග, ද්වේෂ, මෝහාදී ගිනි සහමුලින් නිවී යන්නේ අසේඛ බවට පත්වීමෙන්.

එසේනම් පින්වත්නි, අපි හොඳ සිහිනුවණින් යුතුව සත්‍ය අවබෝධ කර ගැනීමට උනන්දුවෙන්න ඕනෑ.

සැමට තෙරුවන් සරණයි!.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here