මේ තමයි සසරේ හැටි…!

0
7


Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ තණ්හාවේ ලක්ෂණ හැටියට වදාළේ “(යායං තණ්හා පෝනෝභවිකා) මේ පුනර්භවය ඇතිකරවන යම් තණ්හාවක් ඇද්ද, එය (නන්දිරාග සහගතා) ආශ්වාදයෙන් ඇලෙනවා. (තත‍්‍ර තත‍්‍රාභිනන්දිනී) ගිය ගිය තැන ඇලෙනවා.

ගිය ගිය තැන සතුටින් ඇලෙනවා කියන එක අපි මෙහෙම තේරුම්ගනිමු. ඔන්න අපි බදුල්ලේ ඉඩමක් අරගෙන තට්ටු දෙකේ ගෙයක් හැදුවා. තාප්පයකුත් බැන්දා. ඊට පස්සේ හොඳට බෝඩරය තියෙන ගේට්ටුවකුත් ගෙනල්ලා හයිකළා. ඔන්න දරුවෝ කොළඹ ගියා. දරුවෝ කියනවා “අම්මෙ, මෙහෙ වැඩක් නෑ. කොළඹ යන්.” දැන් ඔන්න ගේ වික්කා. ආශාව ඉවරයි. ඊට පස්සේ අලූත් ගෙදර ගියා. ඊට පස්සේ කියනවා “අම්මේ, මෙන්න මේ පොල්වත්ත තියෙනවා. අම්මා බලන්න” කියලා. දැන් ආශාව කොහෙටද බැස්සේ? පොල් වත්තට බැස්සා. ඊට පස්සේ ඒ ඒ තැන සතුටින් පිළිගත්තා.

මෙතැන අත්හරිනකොට වෙන තැනක් සතුටින් පිළිගන්නවා. එතැන අත්හරිනකොට තව තැනක් සතුටින් පිළිගන්නවා. මිනිස් ලෝකය අත්හරින කොට ගියේ පේ‍්‍රත ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. පේ‍්‍රත ලෝකය අත්හරින කොට ගියේ තිරිසන් ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. තිරිසන් ලෝකය අත්හරිනකොට ගියේ නිරයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. මේක තියෙනකම් උපාදානයට කොටුවෙනවා. උපාදානයට කොටුවෙනකම් ඇන්ජිම වැඩකරනවා. ඇන්ජිම වැඩකරනකම් උපදිනවා.

පින්වත්නි, අපි තුළ සිද්ධවෙන්නේ මෙහෙම දෙයක් කියලා මේ රටාව පෙන්වා දුන්නාට අපි බුදුරජාණන් වහන්සේට සදාකාලික ණයගැතියි. මොකද, අපේ ජීවිතවලට සමහර දවස්වලට ඇතිවෙන ප‍්‍රශ්නවලදී අපට ‘මැරුණා නම් අපි මේකෙන් නිදහස් නේද’ කියලා හිතෙනවා. නමුත් නිදහස් වෙන්නේ නෑ. නැවතත් අහුවෙනවා. මොකද, මෙතැනින් චුතවෙන කොට චුතවෙන්නේ කර්මානුරූපව හැදුණු විඤ්ඤාණයක්. එතකොට ගිහිල්ලා මව්කුසක උපදිනවා. එක්කෝ ඕපපාතිකව උපදිනවා. එක්කෝ අණ්ඩජ උපතක උපදිනවා. එක්කෝ ජලාබුජ උපතක හිරවෙනවා. එක්කෝ සංසේදජ උපතක උපදිනවා. අවබෝධ කරලා මිසක් මේකෙන් බේරෙන්න විදිහක් නෑ.

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට හේතුව වින්දනය කියලා. අපට වින්දනය නැතිකරන්න බෑ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවුණාද වින්දනය ඇතිවෙනවා.

වින්දනය ඇතිවෙන එක ස්වභාවයක්. අපට වෙලා තියෙන්නේ අපි එතැනින් නැවතුනේ නෑනේ. ඊට පස්සේ අපිට ආශාව ඇතිවුණා. ආශා කරපු දේට කොටු වුණා. ඊට පස්සේ ඊට අනුව හිතන්න, කරන්න, කියන්න පටන්ගත්තා. කර්මය හැදුණා. ඒ විදිහට විඤ්ඤාණය තමයි හැදි හැදී යන්නේ. මොකද ඒ වින්දනය උපදින්න හේතුව වෙන්නේ ස්පර්ශයයි. (ඵස්ස පච්චයා වේදනා)

ස්පර්ශය කියන්නේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම. ඒ කියන්නේ ඔන්න දැන් අපට ඇස් දෙක තියෙනවා. අපි ඇස් ඇරගෙන ඉන්නවා. ඇස් ඇරගෙන ඉන්න වෙලාවේ අපේ හිත වැඩකරමින් නේද තියෙන්නේ? මේ වෙලාවේ ඇස් ඉස්සරහට රූපයක් එනවා. දැන් මෙතැන ගනිමු. මෙතැන එක පාරට කළුවර වුණොත්…? ඇස් ඉස්සරහට තියෙන්නේ කළුවරක් විතරයි. කළුවර ඇහැට වැටෙනවා. එතකොට අපි කළුවර විතරයි දකින්නේ. එතකොට ලයිට් එකක් පත්තු වෙනවා. නැත්නම් ඉර පායනවා. ඔන්න එළිය වැටෙනවා. ඔන්න රූප පේනවා. රූප ඇස් හමුවට එනවා.

එතකොට විඤ්ඤාණයෙන් තමයි මේක දැනගන්නේ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. හිතින් යමක් හිතන කොට මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. හැම තිස්සෙම මේක එකතු වෙවී තමයි තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාළා “මේ විඤ්ඤාණය වැඩකරන්නේ බීජයක් වගේ” කියලා. බලන්න, බෝංචි ඇටයක් මේසයක් උඩ තියෙනකොට මේක වැඩකරන එකක් කියලා අපට හිතෙන්නේ නෑනේ. හැබැයි මේක පොළොවට දාලා, වතුර දාලා තෙත් කළොත් වැඩකරනවා. ඒක පැළවෙනවා. පහළට මුල් ඇදලා පොළොවේ රස උර උරා දෙනවා. මොකද, මේ ගහක පැළයක් පැළවෙන කොට දෙපැත්තකට යනවා. ඒ තමයි, කොළ ටික උඩට යනවා. මුල් ටික යටට යනවා. මුල් ටිකෙන් පැළය වැඩෙන්න පෘථිවි සාරය ඇද ඇද දෙනවා.

විඤ්ඤාණය කියන්නෙත් බීජයක් වගේ දෙයක්. එතකොට විඤ්ඤාණය ක‍්‍රියාත්මක වෙන්න වින්දනය, හඳුනාගැනීම, කර්මය, සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය උදව් කරනවා. එතකොට විඤ්ඤාණය ඊළඟ උපතකට හැදෙනවා.

අපි දැන් ජීවත් වෙන්නේ ඊළඟ ජීවිතයට හැදුණු විඤ්ඤාණය සමඟ නොවෙයිද? ඊළඟ උපතට සකස් වූ විඤ්ඤාණයක් සහිතවයි අපි ජීවත් වෙන්නේ. අපි ගනිමු පොඩි දරුවෙක්. මව්කුසේම දරුවා මැරෙන අවස්ථාවක් නැද්ද? මව්කුසේම දරුවා මැරෙන කොට දරුවා පිරිනිවන් පාන්නේ නෑනේ. ඊළඟ උපතක් කරා යන්නයි මැරෙන්නේ. ඒ දරුවා ඉපදුණු ගමන් මැරෙනවා. ඒත් ඒ මැරෙන්නේ ඊළඟ උපත කරා යන්නයි. ඒක හොයන්න බෑ හරිම පුදුමයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාට මූලසිරි කියලා පුතෙක් සිටියා. මේ ආනන්ද සිටුවරයා හැමදාම උදේට සේවකයොයි, පුතාවයි වාඩිකරවා ගන්නවා. වාඩිකරගෙන මේ විදිහට අවවාද කරනවා.

“අහපල්ලා මං කියන එක. මගේ ජීවිතය තුළ මං කෝටි හතළිහක් හෙව්වා. මං මේ කෝටි හතළිහ හෙව්වේ හරියට මහන්සි වෙලා. ඒ නිසා උඹලා මේ කෝටි හතළිහ විශාල ගාණක් කියලා සලකන්න එපා! පුතේ, මතක තියා ගනින්. රුපියලක් වියදම් කළත් ඒක ආදායමක් නෙවෙයි, ඒක වියදමක්. ඒ නිසා මෙන්න මේ කවිය මතක තියා ගන්න” කියලා කවියක් ඉගැන්නුවා. ඒ කවියේ තියෙන්නේ ‘හම්බකරපන් වේයන් වගේ. වේයා තුඹස බඳින්නේ යම් ආකාරයෙන්ද, අන්න ඒ වගේ හම්බ කරපන්. මී මැස්සා වගේ හම්බකරපන්. නමුත් හිඟන්නෙක් වගේ වියදම් කරපන්.’ මේ විදිහට ඉගැන්නුවා. අවවාද කළා. සිටුවරයා මළා.

මැරිලා වැසිකිලි හෝදන, පාරවල් හෝදන, හිඟන පවුලක උපන්නා. මේ ගමේ පවුල් දාහක් තිබුණා. උපන්නට පස්සේ මහා කලබගෑනියක් වුණා. ඒ තමයි, මේ ගමේ අයට කන්න නැතුව ගියා. පැල්පත් ගිනිගත්තා. හරි කරදරයකට පත්වුණා. ඒ පවුල් දාහට නායකයෙක් හිටියා. ඒ රැලේ නායකයා “මේක හරියන්නේ නෑ. මේක හොයන්න ඕන” කියලා පවුල් දාහ පන්සීය පන්සීය බෙදුවා. එතකොට අර දරුවා ඉපදුණ පන්සීයේ ගොඩට ඊට පස්සෙත් ප‍්‍රශ්න. මෙහෙම කොටස් අඩු කර කර බෙදුවා. බෙද බෙද බලද්දි ගාණට මේ පවුල හොයාගත්තා.

ඊට පස්සේ බලනකොට ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා, මාස තුනයි. අපි අනන්ත දුක් වින්දේ නුඹ නිසයි කියලා රැහෙන් පැන්නුවා. දැන් මේ අම්මා හිඟා කකා ජීවත්වෙනවා. ඊට පස්සේ ඔන්න ළමයා ඉපදුණා. ඇස් දෙක තියෙන්නේ මුහුණේ නෙවෙයි. නහය ඇදවෙලා, කණ් ඇදවෙලා, දත් ඇදවෙලා, කුදුවෙලා, වපර වෙලා. ඔන්න ළමයෙක් ඉපදිලා.

මේ අම්මා පුළුවන් තරම් දුක්විඳලා දරුවාව හදලා යාන්තම් ඇවිදගන්න පුළුවන් වෙනකොට පොල්කට්ටක් දුන්නා. අතට දීලා “පුතේ, මට කරන්න දෙයක් නෑ. උඹේ පාඩුවේ උඹ ජීවත් වෙයන්. අම්මා කෙනෙක් හැටියට උඹව ජීවත් කරන්න මම මෙච්චර කල් උත්සාහ කළා. මීට වඩා කරන්න බෑ” කියලා අම්මා මේ පුතා දාලා ගියා. එදා ඉඳලා මේ දරුවා වීදි දරුවෙක්.

දැන් මෙයා ජීවත් වෙන්නේ පදික වේදිකාවේ. මෙහෙ වගේ නෙවෙයි එහෙ සීත කාලෙට සීතලයි. රස්නෙ කාලෙට මේ වගේ නෙවෙයි ගින්දර වගේ. වැස්ස කාලෙටත් ඒ වගේ. සීතලට, වැස්සට, පින්නට මුහුණ දිදී දැන් මේ ළමයා හිඟා කකා යනවා. දැන් මේ ළමයට කන්න නෑ, අඳින්න නෑ. වීදියේ ඉන්නේ. බලන්න කලින් ජීවිතයේ මෙයා ආනන්ද කියලා සිටුවරයෙක්.

ආනන්ද සිටුවරයා මැරුණට පස්සේ අවමංගල්‍යෝත්සවය බොහෝම ජයට ගත්තා. එදා ඉතින් ‘මෙයා රටට කළා, ගමට කළා, ප‍්‍රදේශයට කළා’ කියලා බැනර් ගැහුවා. මේ උත්සවය ගෞරව සම්මාන ඇතුව හරි සරුවට ගත්තා. මේ සිදුවීමෙන් පස්සේ ආනන්ද සිටුවරයාගේ පුතාට සිටු තනතුර ලැබුණා. පුතා අර මාළිගාව තවත් විශාල කළා.

අර හිඟන ළමයා දවසක් හිඟා කකා ගිහිල්ලා නොදැනීම අර මාළිගාව තිබුණු පාරට වැටුණා. දැන් මෙයා යනවා. එයාගේ වෙලාව කියන්නේ එදා මාළිගාවේ ගේට්ටුව ඇරලා. එතැන ඉන්න සේවකයෝ මේ ළමයාව දැක්කේ නෑ. මේ ළමයා මාළිගාව දිහා බලනවා. දැන් මේ ළමයට පුදුමයි. මොකක්දෝ වෙනවා. දැන් මේ ළමයට යමක් මතක් වෙලා වගේ, වසඟ වෙලා හෙමින් හෙමින් ගේට්ටුවෙන් ඇතුළටත් ගියා. ගේ දිහා බලාගෙන, කට ඇරගෙන, ඇස් ලොකු කරගෙන, කල්පනා කර කර, මාළිගාව ඇතුළටම ගියා. දොර ඇරලා තිබුණා. ඒ නිසා සාලෙටම ගියා.

ඒ වෙලාවේ මූලසිරි සිටුතුමාගේ බබාලා සෙල්ලම් කරනවා. දැන් මෙයා ගිහිල්ලා අරගොල්ලෝ මැද්දේ පොල් කට්ටක් තියාගෙන හිනාවෙන්න ගත්තා. ළමයි ටික කෑ ගැහුවා “මෙන්න අප්පච්චි… මෙන්න අම්මේ… පෙරේතයෙක් ඇවිල්ලා…” කියලා. සේවකයෝ ඔක්කොම ආවා. දැක්කා භූතයෙක් වගේ සතෙක්. පයින් ගැහුවා. විසිවෙලා ගිහිල්ලා වැටුණා. පයින් ගගහම ගේට්ටුවෙන් ඇදලා දැම්මා. දැන් ඇඟපත හැමතැනම සීරිලා, ලේ පෙරාගෙන. ගේට්ටුවෙන් එළියට දාලා, දැන් මේ ළමයට නැගිටගන්න බෑ. වැටිලා ඉන්නවා.

එදා මේ ගේ ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ ළමයා ගාව නැවතුණා. නැවතිලා “මේ ආනන්ද සිටුතුමානේ… මූලසිරි සිටුතුමාට එන්න කියන්න” කියලා සේවකයෝ යැව්වා. ඉතින් සිටුතුමා ආවා. ඇවිත්,

“ඇයි, භාග්‍යවතුන් වහන්ස…?”

“දන්නවද මේ කවුද කියලා…?”

“අනේ… දන්නේ නෑ.”

“මේ ඤාතියෙක්නේ…”

“අනේ නෑ. මේ ඤාතියෙක් නෙවෙයි. මේ කොහේද ඉඳලා ආපු සතෙක්.”

“නෑ… නෑ… මේ ළඟම නෑදෑයා.”

සිටුවරයාට කේන්ති ගියා.

“නෑ… බුදුරජාණන් වහන්ස, එහෙම කියන්න එපා! අපි හරි වැදගත්. බොහොම වංශවත් පරම්පරාවක්. අපේ ළඟ අහල පහලවත් මේ වගේ සතෙක් නෑදෑයෙක් වෙලා නෑ.”

“නෑ… නෑ… මේ ඔබේ තාත්තා!”

සිටුතුමා උඩ ගිහින් බිම වැටුණා.

“අනේ මට නම් පිළිගන්න බෑ. ස්වාමීනී, මං වැඳලා කියන්නම්, මේකට තාත්තගේ නම නම් ගාවගන්න එපා! මගේ තාත්තට නම් ඔය කතාව කියන්න එපා! භාග්‍යවතුන් වහන්ස, මං කැමති නෑ අපේ තාත්තට අපහාස කරනවට.”

“කලබල වෙන්න එපා සිටුතුමනි, මේ තාත්තා තමයි.”

එතකොට දැන් සිටුතුමාට කේන්ති ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ වදාළා.

“කේන්ති ගන්න එපා. මං මේ ළමයගෙන්ම මේක අහන්නම්.”

බුදුරජාණන් වහන්සේ ළමයා මෝහනය කළා. ළමයගෙන් ඇහුවා,

“සිටුතුමනි, ඔබතුමා හංගපු වස්තුව තියෙනවාද?”

“තියෙනවා…”

“මේ ළමයි දන්නවද?”

“ළමයි දන්නවා ඇති.”

පුතාගෙන් ඇහුවා, “සිටුතුමනි, මොනවද තාත්තා හංගපු වස්තුව…?”

“ස්වාමීනී, තාත්තා බත් කාපු රත්තරන් පිඟානට වුණ දෙයක් නෑ. තාත්තා දාපු රත්තරන් සෙරප්පු දෙකටත් වුණ දෙයක් නෑ. රත්තරන් හැරමිටියක් තිබ්බා. ඒකට වුණ දෙයක් නෑ.”

අර ළමයා හිනාවෙවී කිව්වා,

“මම අරන් තියලා තියෙනවා.”

හරි පුදුමයි මේ ජීවිතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

“සිටුතුමනි, එන්න බලන්න….”

දැන් අර ළමයා වත්තෙ කොණට ගිහිල්ලා, “මෙන්න මෙතැන” කිව්වා. හෑරුවා. මෙන්න එනවා පොඩි පෙට්ටියක්.. ඇතුළේ රත්තරන් හැරමිටියක්. රත්තරන් පිඟානක්. සෙරෙප්පු දෙකක් මෙන්න එළියට එනවා.

බලන්න ආශාව නිසා පුද්ගලයාව අරන් යන දිහා. ආශාව විසින් මනුස්සයාව කරකවන කරකැවිල්ල අසාධාරණ එකක්. හැබැයි ඒ අසාධාරණකම තමන් විසින්ම තමන්ටම කරගන්න එකක්. ඒකයි මේකෙ තියෙන ප‍්‍රශ්නය. මට නම් මේ සසර සාධාරණ එකක් කියලා පේන්නෙ නෑ. හරිම අසාධාරණ එකක්. හැබැයි මේ අසාධාරණකම තමන් විසින් තමන්ටමයි කරගන්නේ. තමුන් ඒක දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගන්න කියලා වදාළා…

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

The post මේ තමයි සසරේ හැටි…! appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here