මේ කාලේ කසාද බඳිනවනම් ගමරාළගේ ලේලි වගේ කෙනෙක් හොයාගන්න

0
13


මනෝඋපදේශිකාවක් විදිහට මාව දන්න කියන ඇතැම් හිතවතුන් වෙලාවකට ඔවුන්ගේ ගැටලු මගෙත් එක්ක කතා කරනවා. පීඩනයකින් ඉන්න කෙනෙක්ට ඇහුම්කන් දෙන එක තරම් වටින දෙයක් නැහැයි කියනවනේ. ඉතින් එහෙම කෙනෙක්ට ඇහුම්කන් දෙන්න මමත් දෙපාරක් හිතන්නේ නැහැ. මේක මෑතකදි ඒ වගේ හිතවතෙක් ඔහුගේ බිරිඳ ගැන නැගුව මැසිවිල්ලක්. මේ කාලෙට වටිවී කියලා හිතෙන නිසා අද ඒ කතාව කියන්න හිතුවා.

මගේ මේ හිතවතා හොඳ රැකියාවක් කරන අයෙක්. ඔහුගේ දෙමව්පියන්ටත් යහමින් දේපළ ඉඩකඩම් තිබුණු නිසා ඒ උරුමකමුත් ඔහුට තියෙනවා. ඉතින් ඔහුට මුදල්හදල්වලින් අඩුපාඩුවක් නැහැ. ඒ නිසාම ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නෙත් නැහැ. ඔහු හැම මාසෙකම මුල මාසෙටම හරියන්න ගෙදරට අවශ්‍ය කරන කෑම් බීම් බඩු මුට්ටු ගෙනැල්ලා දානවලු. හැබැයි ඔහුගේ බිරිඳ සති දෙකක් යන්න කලින් ඒ දේවල් අහවර කරනවා කියන එක තමයි ඔහු කරපු චෝදනාව.

මේ බිරිඳ හැම දවසකම මාලුපිනි හතර පහක් හදනවලු. මේ යුවළට දරු මල්ලෝකාරිය එහෙමත් නැහැ. හැබැයි බිරිඳ හැම දවසකම හතර පස් දෙනෙක්ට හරියන ප්‍රමාණෙන් කෑම උයනවා කියලයි ඔහු කිව්වේ. එහෙමයි කියලා ඒ කෑම ඉවර කරන්නෙත් නැහැල්ලු. කාගන්න බැරි තැන පුංචි පෙට්ටිවලට අසුරලා ශීතකරණයේ දානවලු. පස්සේ සුමාන දෙක තුනක් තියලා ඒ කෑම විසි කරන බවත් ඔහු කිව්වා.

කෑම සකස් කරනකොට ඇය ආහාර අමුද්‍රව්‍ය විතරක් නෙමෙයි ජලය එහෙමත් අනවශ්‍ය විදිහට නාස්ති කරනවලු. මේ කාරණා ගැන බිරිඳ එක්ක වාද කළත් ඇය නෙමෙයිලු ඒවා කනකටවත් ගන්නේ. ඒ නිසා ඔහු දැන් ඒ ගැන ඇයත් එක්ක කතා නොකරන බව තමයි ඔහු කිව්වේ. ඒ වගේම බඩුවක් මුට්ටුවක් ගන්න වෙළඳපොළට යද්දිවත් ඔහු බිරිඳව එක්කරගෙන යන්නේ නැහැල්ලු. ගෙදරට උවමනා ආහාර ගන්න ගියාමත් බිරිඳ වැඩි වශයෙන් මිලදී ගන්නේ මිල අධික අරුමෝසම් කෑම බීම එහෙමලු.

අපි පුංචි කාලෙදි අපේ අම්මලා නම් ඔහොම කෑම නාස්ති කළේ නැහැ. වැටකොළු ගෙඩියක් හැදුවොත් ඒ පොතු ටිකෙන් පහුවෙනිදට රසට මැල්ලුමක් හදනවා. අලුකෙසෙල් ලෙලි ටික වුණත් තෙලට දාලා ගන්නවා. ඒ වුණාට මේ ගෑනි කෑම විනාශ කරන හැටි දැක්කම මගේ බඩ පපුව හෝස් ගාලා යනවා.

ඔහු කතා කළේ බොහොම කණගාටුවෙන්. මේ යන විදිහට සල්ලි තිබ්බා නැතා ඉස්සරහට කාට කාටත් කෑම බීම හිඟ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු මේ කාරණාව ගැන ඉස්සරටත් වඩා වද වෙන බව තමයි ඔහුගේ කතාවෙන් මට තේරුණේ. බිරිඳත් එක්ක කතා කරලා ඔහුගේ ගැටලුව විසඳලා දෙන්න මට පුළුවන් වේවි කියලා මම ඔහුට කිව්වා. ඉතින් දවසක බිරිඳව මට මුණගස්වන්නම් කියලා එවෙලේ ඔහු මට කිව්වත් සිදුවීම වෙලා මාස දෙකක් විතර ගත වෙලත් අද වෙනතුරුත් මට නැවත ඔහුව මුණගැහුනේ නැහැ.

බිරිඳ ආහාර අපතේ අරිනවා නැත්තම් ගෙදර බඩුමුට්ටු ගැන කිසි අරපිරිමැස්මක් නැහැයි කියලා මාත් එක්ක චෝදනා කරපු එකම සැමියා ඔහු නෙවෙයි. මතුපිටින් බැලුවම පුංචි සිදුවීමක් කියලා හිතුණට මේක පවුලක ආර්ථිකය විතරක් නෙමෙයි පවුල් ජීවිතයම අසාර්ථක වෙන්න බලපාන ගැටලුවක්.

දැන් කාලේ කසාදයක් බඳිනකොට ගොඩක් වෙලාවට බලන්නේ කාන්තාවකගේ රූපේ ලස්සනනේ. හැබැයි ඒ කාලේ අරපිරිමැස්ම කියන්නේ විවාහ වෙන කාන්තාවකට තියෙන්නම ඕන කරන ගති ලක්ෂණයක්. එහෙම කියද්දි මට පොඩි කතාවක් මතක් වුණා. එක ගමක ගමරාළ කෙනෙක්ට අවශ්‍ය වුණාලු තමන්ගේ පුතාට මනාලියක් තෝරගන්න. ඉතින් ඔහු කළේ විවාහයට යෝජනා වෙන යුවතියන්ව ගඟ ළඟට එක්කරගෙන ගිහිල්ලා ඉඳුල් වළං සෝදන්න දීපු එකලු. ඔතැනදි ගොඩක් යුවතියන් කළේ එක් එක් වළඳ ගානේ ගඟේ ඔබලා හැළි වළං සෝදපු එකලු. හැබැයි එක යුවතියක් විතරක් ගත් වතුර වළඳින් වළඳට මාරු කර කර වළං සේදුවලු. ගඟේ ඇති පදමට වතුර තියෙද්දිත් අරපිරිමැස්මෙන් වතුර පාවිචිචි කළ නිසා ගමරාල ලේලිය විදිහට තෝරගත්තේ ඇයවලු. සකසුරුවමින් දේවල් පරිභෝජනය කරන්න ඕනේ නැතිබැරි කාලෙට විතරයි කියලා හිතන අය අදටත් ඕන හැටියේ ඉන්නවා. තියෙන කාලෙට අරපිරිමැස්මෙන් වැඩ කරනවා නම් කවදාවත් නැතිබැරි කාලයක් උදාවෙන්නේ නැහැයි කියන එකයි මගේ අදහස.

බුද්ධ කාලේ හිටි හොඳම වෙදැදුරා විදිහට කියැවෙන ජීවක වෙදැදුරා දවසක් උදේනි රජතුමාගේ බිරිඳගේ හිසේ රුජාවකට බෙහෙත් කරන්න ගියාලු. එතැනදි වෙදැදුරා අතින් ගිතෙල් ටිකක් බිමට හැලුනලු. බිම වැටුණු ගිතෙල් ටික පුළුන් කෑල්ලකට අරන් පරිස්සමට තියන්න කියලා බිසව කිව්වලු. මේ තරම් ධනස්කන්ධයක් තියෙන බිසව ගිතෙල් බිඳටත් ලෝබ නම් මට තුටුපඬුරු දෙන එකක් නැහැයි කියලා එවෙලේ ජීවකයාණෝ හිතුවා. ඔය සිතුවිල්ල වටහාගත්තු බිසව මේ ගිතෙල් ටික දුප්පතෙක්ගේ අතේ පයේ ගාගන්න දෙන්න පුළුවන්, නැත්තම් පහනක් පත්තු කරන්න ගන්න පුළුවන් කියලා ඔහුට කාරණාව පැහැදිලි කළාලු. යහමින් අවශ්‍ය දේවල් තිබුණත් ඒ දේවල් සකසුරුවමින් පරිහණයට කරන එක කාන්තාවකගේ වටිනාකම වැඩි වෙන්න හේතුවක්. හැබැයි දැන් ගොඩක් ගෙවල්වල උදේට උයන එක රෑට කන්නේ නෑ. ගොඩක් අය කඩ කෑමවලට ඇබ්බැහි වෙලා. දැන් ඉන්න දරුවන්ට වුණත් කෑම බීමවල වටිනාකමක් නැහැ. යමක්කමක් තේරුම්ගන්න පුළුවන්  වයස්වල ඉන්න දරුවන් පවා කොච්චර නම් කෑම නාස්ති කරනවද? ඉතින් දරුවන්ට වුණත් ආහාරවල වටිනාකම පුංචි කාලේ ඉඳලම උගන්වන්න ඕනේ. කෑම බෙදාගන්නකොට ඇති තරමට බෙදාගන්න ඔවුන්ට කියලා දෙන්න. පිට තැනක කෑමට ගියත් ගොඩක් අය කෑම බෙදාගන්නේ බඩේ තරමට නෙමෙයි හිතේ ආශාවට. අවසානෙදි ඒ කෑම කන්නත් බැරිව අහක දානවා. දෛනිකව ලෝකේ මිනිස්සු 25,000ක් කන්න නැතුව මැරෙනවා කියලා කෑම කුණු කූඩෙට දානකොට මතක් කරගන්න පුළුවන් නම් හොඳයි.

ඉස්සර හැම ගෙදරක වගේ මිටි හාල් මුට්ටිය, කොස් ඇට මල්ල, ලුණුදෙහි බෝතලේ, අටු දෙල් මල්ල වරදින්නේ නැහැ. කෑමට අරන් ඉතිරි වෙන දෙල්, කොස්, දෙහි, අල, බතල පවා වේළලා පස්සේ කෑමට ගන්නවා. ඒ අරපිරිමැස්ම නිසා අපේ උදවිය කවමදාකවත් හාමතේ ඉඳලා නැහැ. හැබැයි දැන් ආර්ථික ක්‍රමය එක්ක වෙළඳපොළට ගියාම අපිට කරන්න තියෙන තේරීම් එක්ක මිනිස්සු මංමුලා වෙලා. කඩේට ගියාම ගන්න යන දේ නෙමෙයි ගෙදර ගේන්නේ. ලුණුමිරිස, ලුණුදෙහි බෝතලේ පවා සල්ලි දීලා කඩෙන් ගන්නේ.

මේක අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආහාර අර්බුදයකට ගමන් කරන මොහොතක්. ආහාර අඩුවෙන් භාවිතා කරන්න කියලා සංකල්පයක් මේ දවස්වල ලෝකේ පුරාම තියෙනවා. ඉතින් බඩෙන් බාගයක් කාලා ජීවත් වෙන්න කියන එක නෙමෙයි මට කියන්න ඕනේ. අද කෑම වැඩි වුණා නම් හෙට ඊට අඩුවෙන් උයන්න. පුළුවන් තරම් කල්තියාගන්න බලන්න. බිරිඳක් මවක් විදිහට අරපිරිමැස්මෙන් කටයුතු කරන්න පුළුවන් නම් දරුවන්ව කවදාවත් බඩගින්නේ තියන්න වෙන්නේ නැහැ කියන එකයි මට මතු කරන්න ඕන කාරණාව.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here