මෙණ්ඩිස්ගේ පිත්ත මාලිමාවක් වෙයි

0
28


නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය නිමා වන විට තරග 2-0 ක් ලෙස ඉදිරිය සටහන් කරමින් තරගාවලියේ ජය සටහන් කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.මේ තරග දෙකේදී සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් වූ තත්ත්වයන් දෙකක් යටතේ පිතිකරුවෙකුගේ පරිණත වගකීම කවරේද යන්න පැහැදිළි කරන දෙයාකාර ජයග්‍රහණ ඉණිම් දෙකක් ක්‍රියාත්මක කළ කුසල් මෙණ්ඩිස්ගේ පිතිකරණය ශ්‍රී ලංකාව නිසි ලෙස ජයග්‍රහණය දෙසට පදවන්නට මඟ පෙන්වන ලද මාලිමාව බවට පත් විය.
ඉතාම නරක තත්ත්වයේ විවේචනවල ගොදුරක් වෙමින්,යම් කිසි ව්‍යාපෘතියක ඉලක්කයක් වෙමින් සිටි මෙණ්ඩිස් සම්බන්ධයෙන් කණ්ඩායම් බලධාරීන් සහ තේරීම් කමිටු දිගින් දිගටම පළ කළ විශ්වාසය, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නමට ද කැළලක් කර ප්‍රහාර එල්ල කරන තත්ත්වයට ළඟා විය.එහෙත් තේරීම් කමිටුවට සහ කණ්ඩායම් කළමණාකාරිත්වයට නිදහසේ ක්‍රිකට් වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ ලබා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු අපවාද දරා සිටිමින් ඔවුන්ගේ ස්වාධීනත්වයට ක්‍රිකට්මය අදහසකින් වැඩ කරන්නට ඉඩ ලබා දුන්නේය.එම තත්ත්වය මත මේ වන විට එක්දින,විස්සයි විස්ස සහ ටෙස්ට් යන අංශ තුනෙන්ම මෙණ්ඩිස් යළි සුපුරුදු තත්ත්වයට පත්වෙමින් තිබෙන බවක් දකින්නට තිබිම සතුටට කාරණයක්ය.

පළමු තරගයේදී දඹුල්ල ක්‍රීඩාංගණයේ දී වර්ෂාව අභිමුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත්ව නවසීලන්තයට දෙවන වර පන්දුවට පහර දෙන්නට සිඳු වුවහොත් අපහසු ඉලක්කයක් ලබා දීමේ වගකීමත් සමඟ ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැඟීය යුතු මොහොතක,ඉතාම සමබරව වේගය සහ හික්මීම යන කාරණා දෙකෙන්ම පොහොසත් ඉණිමක් දියත් කරමින් ලකුණු 143 ක් රැස් කරන්නට කුසල් මෙණ්ඩිස්ට සිඳු වුණා.දෙවන තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පැමිණුනා.පන්දුවට පහර දීම පහසු නැති තණතිල්ලක එහි වාසිය ලබා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශාල වෙහෙසක් දරමින්,නැවතත් වර්ෂාවෙන් බාධා පැමිණෙන තත්ත්වයක් තුළ පන්දු ඕවර් 47 ට සීමා වූ තරගයේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත ඉණිම ලකුණු 209 ට සීමා කරන්නට හැකි වෙනවා.ඒ පන්දු ඕවර් 45.1 ක් තුළ සියල්ල දවා ගන්නට සමත් වෙමින්.
එහිදී හඹායාමේ දී නවසීලන්ත පන්දු යැවීමේ බල ඇණිය තුළ සිටි දඟ පන්දු යවන්නන්ගේ විවිධාකාරී අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් විශාල පීඩනයකට මුහුණ දුන්නා.කුසල් මෙණ්ඩිස් සමඟ පළමු තරගයේදී වාර්තාගත කඩුලු සබඳතාවයක් තබමින් ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 ට දවා ගන්නට සැන්ට්නර් සමත් වුණා.සැන්ට්නර්,මිචෙල් බ්‍රේස්වෙල්,ඉස් සෝඩි සහ ග්ලෙන් පිලිප්ස් යන දඟ පන්දු යවන්නන් සිව් කට්ටුවම හැම තත්පරයක්ම ශ්‍රී ලංකා පිතිකරුවන් කෙරෙහි පිඩනය ඇති කිරිමේ උවමනාව පෙරදැරිව කටයුතු කළා.බ්‍රේස්වේල් ලකුණු 36 ට කඩුලු 4 ක් දවා ගනිමින් එම පීඩනය උපරිමයෙන් ඇති කරනු ලැබුවා.

ලකුණු 23 ට එක් කඩුල්ලක් සටහන්ව තිබෙන මොහොතේ පිටියට පිවිසි කුසල් මෙණ්ඩිස් මේ පීඩනය හමුවේ සිය අනෙක් අන්තයේ පිතිකරුවන් අසාර්ථක වෙද්දී,ඔවුන් ද මෙහෙයවමින් ඉතා අපූරු තැන්පත් ඉණිමක් ක්‍රීඩා කරමින් තරගයේ ජයග්‍රහණය දක්වාම රැදී සිටියා.තරගයේ හතළිස් හයවන පන්දු ඕවරයේ අවසාන පන්දුවට මහේෂ් තීක්ෂණගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 2 සමඟ ජයග්‍රහණය වාර්තා වෙද්දී කුසල් සහ තීක්ෂණ 8වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක නොබිදුණු සබඳතාවයක් එක් කර ගෙන තිබුණා.පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම මෙහෙය කළ තීක්ෂණ ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගැනීමෙන් නොනැවතී,කණ්ඩයෙමේ පිතිකරණයේ විශ්වාසවන්ත බව තහවුරු කර ගනිමින් සිටි කුසල් මෙණ්ඩිස්ට උපරිම සහයක් දෙමින් නොදැවී ලකුණු 27 ක් එක් කරන්නට ද සමත් වුණා.අටවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණ එම ලකුණු 47 ක නොබිඳි සබඳතාවය ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු සබඳතාවය ද වුණා.
නවසීලන්තය වෙනුවෙන් කුසල් මෙණ්ඩිස් වර්ගයේම පිතිකරණයක නියැලි මාර්ක චැප්මන් ප්‍රවේගකාරී ලකුණු 76 ක් රැස් කරන්නට සමත් වුණා.කඩුලු රකින මිචෙල් හේයි ලකුණු 49 ක් ලබා සිය පළමු එක්දින අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියා.වනිඳු හසරංගගේ හිස් තැන පුරවන්නට ඊයේ කණ්ඩායම යොදා ගත් ජෙෆ්රි වැන්ඩර්සේ යළිත් තමන්ට ලැබෙන අවස්ථාව ඉහළින්ම අගය කළ හැකි පන්දු යැවිමක නියැලෙමින් ලකුණු 46 ට කඩුලු 3ක් දවා ගත්තා.

අමතක කළ නොහැකිම කාරණය මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමේදී පෙන් වූ විශිෂ්ඨත්වයයි.පන්දු රැකීම ජයග්‍රහණයේ සාධකයක් බවට පත් කරමින් අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක රැක ගත් උඩ පන්දු ඉතා ඉහළ මට්ටමක පැවතුණා.සැබවින්ම අවිශ්ක රැක ගත් චැප්මන්ගේ උඩ පන්දුව නවසීලන්ත ඉණිමට වැටුණු දැඩිම බාධාව වූ අතර එය වැදගත් වන්නේ පන්දුව රැක ගැනීම පහසු වන ආකාරයෙන් එල්ල වූ සියයට සියයේ පහසු උඩ පන්දුවක් නොවීමයි.එය උඩ පන්දුවක් කර ගැනීමේ ගෞරවය මෙන්ම නායක මිචෙල් සැන්ටර් දවා ගැනීමට පැතුම් නිශ්ශංක රැක ගත් උඩ පන්දුවද,උඩ පන්දුවක් කර ගැනීමේ හැකියාව තිබුණේ පන්දු රැකීමේ දක්ෂතාවය මතයි.
විස්සයි විස්ස තරගය 1-1 ක් ලෙස සමව නිමා කළ ශ්‍රී ලංකාව මේ මොහොත වන විට එක්දින තරගාවලිය ජය ගෙන අවසන්.ලබා ගත් ජයග්‍රහණ දෙක ශ්‍රී ලංකාව ළඟා කර ගත්තේ එකිනෙකට වෙනස් ක්‍රම මඟින්.මේ මොහොතේ මේ ජයග්‍රහන වඩා වැදගත් වන්නේ ද ශ්‍රී ලංකාව විවිධ තත්ත්වයන්ට ජයග්‍රාහීව මුහුණ දෙන්නට දක්වන දක්ෂතාවය මේ හරහා පිළිඹිඹු කරන නිසයි.

කුසල් තරගයේ සුපුරුදු පා චලනයන් සමඟ තමා සතු සුවිශේෂි ලකුණු අවියක් වන ස්විප් පහරට යා නොහැකිව තිබියදී සිය කඩුල්ල රැකගෙන පන්දුවට පහර දිම ගැන තරගය අවසානයේ පැවසුවේ එය දීර්ඝ බලපෑමක් ඇති කරනු නැති බවයි.එසේම ඒ තත්ත්වය තුළ ජයග්‍රහණය කරා යන්නට පැතුම් නිශ්ශංක ලබා ගත් ආරම්භය වගේම මැද පෙළින් පැමිණි දුනිත්,ජනිත් සහ මහේෂ් තීක්ෂණ ලබා දුන් සහය ද කුසල්ගේ ගෞරවයට පාත්‍ර වුණා.
චරිත් අසලංක පැවසුවේ තමන් තරගයට පෙර තණතීරුව කියවා ගැනීමේ දී යම් වරදක් කර තිබෙන බව හැඟෙන බවයි.පහර දීමට අසීරු තණතීරුවේ පිතිකරුවන් දෙදෙනෙක් තිදෙනෙක් එක්ව මෙවැනි තරග දිනවිය යුතු බව චරිත්ගේ අදහස වූ අතර ඔහු පැවසුවේ දීර්ඝ බලාපොරොත්තු සමඟ යන ගමණක මෙ ජය ද හොඳ සළකුණක් වන බවයි.එසේම චරිත් ඊ ළඟ තරගයේදී අතිරේක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි ද අවධානය යොමු කිරීමේ අදහසක් ගැන ද පැවසුවා.
පිත්තෙන්ද පන්දුවෙන්ද තරගයේ කැපි පෙණුන මහේෂ් තීක්ෂණ ද තරගයේ තණතීරුව ගැන අපේක්ෂිත හැසිරිම සිඳු නොවුණු බව පැවසුවා.බොහෝ විට පිණි සමඟ හැසිරීමේ තත්ත්වයට නවසීලන්ත ක්‍රීඩකයින් දුර තියා දැන හුරුව ආවේද යන්නත් මෙහිදී ශ්‍රී ලංකාවේ අවධානයට යොමු විය යුතු වෙනවා.ජයග්‍රාහී ලකුණ දක්වාම කුසල් සමග සිටි තීක්ෂණ කුසල්ට ලකුණක් දී තමන්ගේ කඩුල්ල ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන බව දැන බිමින් පහර දෙමින් දුර්වල පන්දුවක් දුටු සැණින් හතරේ පහර එල්ල කරන්නට ක්‍රියා කළ බව ද පැවසුවා.

මෙහිදී නවසීලන්ත නායක මිචෙල් සැන්ටර් තරගයේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් පමණක් නොව අසිත ප්‍රනාන්දු ද හොදින් පන්දු යවමින් පීඩනය පවත්වා ගෙන ගිය බව පෙන්වා දුන්නා.එම තත්ත්වය ඇති නොවී ලකුණු 240 වැනි ලකුණු ගණනකට යාමට හැකි වූවා නම් මේ තත්ත්වය වෙනස් විය හැකිව තිබුණු බව ද සැන්ටර්ගේ අදහසයි.පිණි මත ද හොඳින් පන්දුව දඟ කැවීමට තමන්ගේ පන්දු යවන්නන්ට ද හැකියාව තිබුණු බව කී සැන්ටර් කුසල් තත්ත්වය අවබෝධ කරගෙන ඉතාම හොඳින් ක්‍රීඩා කළ බවත්,ඔහු සමග අවසානයේ තීක්ෂණ ද සිය උපක්‍රම මඟ හැර ජයග්‍රහණය කරා ගිය ආකාරයද ඇගයීමට ලක් කළා.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්නට අවස්ථාව තිබෙනවා.
https://es.pn/40RqKJ3



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here