මුනික ජාතකයේ එන සංසාරික අත්දැකීමෙන් යමක් ජීවිතයට

0
25


මුනික ඌරාගේ කථාව
අපට නොතේරුනාට, බොහෝ විට බොහෝ දෙනෙකුට මුහුණ දෙන්ට සිදුවන්නේ එකම විදිහේ සාංසාරික අත්දැකීම් වලටයි.

වෙනත් ආත්මවල සිදු වූ කරදර ඒ ක්‍රමයටම නොවුනත් ඒ කරදර කළවුන් අතින්ම වෙනත් අයුරකින් සිදුවෙන්ට ඉඩ තියෙනවා. කලින් ආත්මේ කරදර ලැබුන අය අතින්ම මේ ආත්මයේදීත් ඔවුන්ට කරදර වෙන්ට පුළුවනි.

මෙයත් එබඳු කථාවක්.

සැවැත් නුවර සිටි එක්තරා තරුණයෙක් මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි බවට පත්වුනා. ටික දවසක් යද්දි පැවිද්දෙකු විසින් කළයුතු ධර්ම ශ්‍රවණය, ධර්මය පාඩම් කිරීම, ධර්ම මනසිකාරය, වත් පිළිවෙත් ආදියට මේ භික්ෂුව කම්මැළි වුනා. දායකයින් සමග කුලුපගව වාසය කරන්ට කැමති වුනා. ඉතින් මේ භික්ෂුවට සැවැත් නුවර එක්තරා නිවසකින් විශේෂ කොට සැලකුවා. ප්‍රණීත කෑම වර්ග වෙනම හදලා දුන්නා. මේ භික්ෂුව රස රාගයට බැඳුනා. මොහු සිතුවේ ඔවුන් ඉතා ශ්‍රද්ධාවෙන් හිතවත්ව ඉන්නවා කියලයි. ඔවුන්ට තිබුනේ වෙනත් අදහසක්. දීග දීගන්ට බැරි ගෙදර කෙලීව මේ භික්ෂුවගේ කරේ එල්ලන්ටයි අදහස තිබුනේ. දවසක් ඒ ගෙදර මෑණියන් දානයෙන් පසු ගෙදර ඇති වත්කම් ගැන කියන්ට පටන් ගත්තා. දීග යන්ට බැරි දියණියත් ඇවිත් ඉඟිබිඟි පාමින් තොඳොල් වෙන්ට පටන් ගත්තා. ප්‍රමාදයෙන් වාසය කළ මේ භික්ෂුවගේ සිත නොමග ගියා. රාගයම වැළඳ ගත්තා. සිවුරු හැර යන්ට ඕනෑ කියලා තීරණය කළා. එදාම තම ආචාර්යයන් වහන්සේ මුණ ගැසී තමන්ට පැවිදි ජීවිතය ගෙනයන්ට අසීරු බවත්, තද හිසේ කැක්කුමක් ඇති බවත්, බොහෝ සෙයින් හිත විසිරෙන බවත් කියා සිටියා. ආචාර්යයන් වහන්සේ තවදුරටත් සිය ශිෂ්‍ය භික්ෂුවගෙන් විමසද්දි කිසියම් ස්ත්‍රියකගේ පෙළඹවීමකින් මොහු නොමග ගොස් ඇති බව වැටහුනා. එතකොට උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ භික්ෂුව කැඳවාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේට සියලු තොරතුරු සැළකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් මෙසේ අසා වදාළා.

“හැබෑද භික්ෂුව…. සිවුරු හරින්ටමද සිතෙන්නේ?”

“එහෙමයි ස්වාමීනී.”

“මොකද එහෙම පැවිද්ද එපා වුනේ?”

“ස්වාමීනී…. ඉතින් ඒ ගෑණු ළමයා නොයෙක් කරුණු කිව්වා. එතකොට මගේ සිත අවුල් වෙලා ගියා. මට දැන් සිවුරට ආසාවක් නෑ.”

“භික්ෂුව, ඔබ දන්නවාද පෙර ආත්මේ ඒ ගෑණු ළමයා කවුද කියලා?”

“නෑ ස්වාමීනී.”

“භික්ෂුව, පෙර ආත්මේ ඔබව විනාශ කළේ ඔය ගෑණු ළමයා තමයි. ඔය ගෑණු ළමයාගේ කසාදෙ දවසේ ඔබට ඒ වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වෙලා මිනිස්සුන්ගේ ආහාරය පිණිස මඟුල් මේසයට යන්ට සිද්ධ වුනා” එතකොට භික්ෂූන් වහන්සේලාට ඒ කථාව දැනගන්ට ඕනෑ වුනා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ එක්තරා ගමක ගොවි ගෙදරක ගවයෙක් වෙලා උපන්නා. ඔවුන් ඒ ගවයාට මහාලෝහිත කියා නම දැම්මා. ටික කලකින් ඒ ගෙදර ගව දෙනට තවත් පැටියෙක් ලැබුනා. ඔහුට චුල්ල ලෝහිත කියා නම දැම්මා. මේ සහෝදර ගවයන් දෙන්නා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා ම ඒ ගෙදරට සෑහෙන දියුණුවක් ලැබුනා. ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.

“බලන්ට…. මේ ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරන්නේ අපි. නමුත් අපට ලැබෙන්නේ තණකොළයි පිදුරුයි විතරයි. හප්පා…. ඒකට අර…. බලන්ට එපායැ මුනිකයාට තියෙන සැළකිළි. අර…. කෑම්බීම් ඔක්කෝම ගිහින් කවන්නේ පොවන්නේ ඒකාට නොවැ. එහෙම සැළකිළි ලබන්ට කාරණය මොකක්ද?”

“හා…. හා…. චුල්ල ලෝහිත, මේකාගේ කෑමට නම් ආසා කොරන්ට එපා. ඔය ඌරා අනුභව කරන්නේ මරණ බතයි. තව ටික දොහයි ඕකා කෑම කන්නේ. මං අසාගෙන සිටියා අර කෑම දෙන කුමාරිව සහේට ගන්ට මිනිහෙක් එනවා. එදා මඟුල් දවස. ඒ මංගල්ලෙට එන මිනිස්සුන්ගේ මඟුල් මේසෙට යවන්ට හදන්නේ ඌරා මරාපු මසින් හදන වෑංජනයි…. අපට මේවා දෑසින් දකින්ට ම ලැබේවි” කියලා ගාතාවක් කිව්වා
මේ එහි සරල අදහසයි..

“මුනිකයා කන බොජුන් ගැන නම්
එපා ආසාවක් කරන්නට
තලු මරා අනුභව කරන්නේ
යන තුරා තමන්ගේ මරණෙට
ලැබෙන පිදුරු ටික කන්ට හෙමිහිට
මෙය දිගාසිරි ලබන කරුණය අපගේ!”

එතකොට චුල්ල ලෝහිත කාරණය තේරුම් ගත්තා. වැඩි දවසක් ගියේ නෑ. මඟුල් දිනය පැමිණියා. මිනිස්සු ආවා. මර ලතෝනි දෙන මුනිකයාගේ හඬ ඇසුනා. ඔහුගේ මස් වලින් වෑංජන් සැදී මේසයට ආවා. බෝධිසත්වයෝ චුල්ල ලෝහිතට කථා කළා. “හා…. දරුව, කෝ දැන් මුනිකයා?”

“සොයුර, මං දැක්කා මුනිකයා කෑම කාපු ඵලය. හප්පා…. මේ තණකොළ ඒ ආහාර වලට වඩා සිය දහස් ගුණයක් වටිනවා. උතුම්. නිවැරදියි. දිගාසිරි ලැබෙනවා” කියලා පිළිතුරු දුන්නා.

“පින්වත් භික්ෂුව, මේ ගෑණු ළමයා තමයි එදා ඔබ ඌරා වෙලා සිටියදී කෑම කන්ට දුන්නේ. ඇය නිසාමයි එදා මරණයට පත්වුනේ. මේ ආත්මේ ඈ ඇවිත් ඔබේ යහපත නසන්ටයි හදන්නේ” කියලා සසරේ බිහිසුණු අනතුරු දක්වමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ සිවුරු හරින්ට සිටිය භික්ෂුව සෝවාන් ඵලයට පත්වුනා. “මහණෙනි, එදා මුනික නමැති ඌරා වෙලා සිටියේ ඒ ගෑණු ළමයා නිසා සිවුරු හරින්ට සිතාපු මේ භික්ෂුවයි. ගෑණු ළමයා එයාමයි. චුල්ල ලෝහිත වුනේ අපේ ආනන්දයන්. මහා ලෝහිත වුනේ මං නොවැ” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ මුනික ජාතකය වදාළා.

නොදන්නා කරුණු නිසාම වරදින ජීවිතයේ කරුණු පහදවාගෙන සාර්තක මං විවර කරන හේතු ඵල දහමක් තියෙද්දි …ජීවිතේ ජය ගන්න ඔබේ ශක්තීන් අවදි වේවා යන්න බෞද්ධ සහෝදරත්වයේ එකම පැතුමයි…

තෙරුවන් සරණයි…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here