මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් සොයා විමර්ශන

0
3

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැළක සේවිකාවකට වෙඩි තැබූ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සේවිකාව වෙඩි තැබීමට ලක්ව තිබුණේ අද අලුයම් කාලයේදීයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම කාන්තාවට වෙඩි තබා වෙළඳසැළේ තිබූ මුදල් මංකොල්ල කා පලා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වෙඩි වැදීමෙන් සුළු තුවාල ලැබූ එම කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැර ගෙන එම නිලධාරියාට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එම සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ වරද යටතේ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වතුරගම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී රිවොල්වරයක්, ජිව උණ්ඩ 03ක්, හිස් කොපු 02ක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකාරිය උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බිංගිරිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මේ අතර වෙඩි වැදීමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

පසුගිය 10වනදා අලුයම් කාලයේදී මල්වතුහිරිපිටිය, බටේපොළ ප්‍රදේශයේදී වෙඩි වැදීමට ලක් වූ පොලිස් නිලධාරියා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී සිදු කළ වයස අවුරුදු 51ක් වූ එම පොලිස් සැරයන්වරයා මණ්ඩාවල, ඉහළ ලුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here