මිහින්තලාවෙන් බැස එන පඩි පෙල අතරේ.. ගලා හැලේ සදහම් අම ගඟුලැලි දහරේ… – Sri News

0
5


 

අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වාගේම අති පාරිශුද්ධ දවසක්.

ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවය වට පාත්‍ර වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවා බුදු බුදු දහම හදුන්වා දීම සිදු කළ පින්බර පොසොන් දවස නිසයි.

බුදුදහම මෙරට වැසියන්ට අදත් තිබෙන උත්තම සම්පතක් වුවත් සීල භාවනා දන්සැල් වැනි අධ්‍යාත්මික සුවය ගෙන එන මේ දවස පොසොන් දවසේ සුව හදවතට තව තවත් දනවන්නක්..

කලාව සාහිත්‍යය කෘෂිකර්ම වැව් පොකුණු වැනි මේ සියලු දායාදයන් වගේම අදීන අතීත පෞරුෂයකින් හෙබි ජාතියක් රටක් ලෙස අදත් ලොවේ ගෞරවයට පාත්‍ර වන්නේ බුදුදහම නිසයි.

වසර දෙදහස් පන්සීයකට අධික අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ පරිවර්තනය සිදු වූ සංසිද්ධිය ලෙස හඳුන්වන්නට පුළුවන් වන්නේ බුද්ධ වර්ෂ 236 දී පොසොන් පොහොය දිනය හා සම්බන්ධ වන මහින්දාගමනයයි.

ධර්මදූතයන් වහන්සේ නමක් වශයෙන් ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ප්‍රචාරය කිරීම පමණක් නොවෙයි, අප රටෙහි භාෂාව සාහිත්‍ය කලාශිල්ප සිරිත් විරිත් ආදී ජන ජීවිතයේ සෑම අංශයකම පෝෂණය ඇති කිරීමට අදාළ පසුබිම සකස් කිරීමේ නියමුවාණන් බවට පත්වුණා. මිහිඳු හිමියන් විසින් ලක්දිවට හඳුන්වාදුන් බුදු දහම ඇදහීම් වලින් හා සමාජයට ඉදිරිපත් කළ නව දර්ශනයක් පමණක් නොව ජීවන මාර්ගයක් බවටද පත් වුණා.

මේ නව දර්ශනය ශ්‍රී ලාංකිකයන් වැළඳ ගත්තේ අන්ධ භක්තිකයන් ලෙසට නොවෙයි. මිහිඳු මාහිමියන් වැඩම වන විට මෙරට සංවිධානාත්මක දියුණු ආගමක් නො පැවතුනත් යම් දෙයකින් විමසීමෙන් යුතුව පිළිගැනීමට තරම් බුද්ධිමත් ජන කොටසක් ජීවත් වූ බව පිළිගන්නට පුළුවන්.

ඒ බව වඩාත් තහවුරු වන්නේ මිහිඳු මා හිමියන් දම් දෙසීමට පෙර දේවානම්පියතිස්ස රජතුමා විමර්ශනයට ලක් කළ සංවාදය තුලින්..එහි දී රජතුමා විසින් ලබාදුන් පිළිතුරු වලින් පැහැදිලි වුනේ ගැඹුරු ලෙස සිතා මතා යමක් පිළිගැනීම හෝ බැහැර කිරීමට අවශ්‍ය වන බුද්ධිමත් භාවය රජු තුළ පැවතුන බවයි.

එපමණක් නොවෙයි මාහිමියන් විසින් රජතුමා ඇතුළු පිරිසට ප්‍රථමයෙන් දේශනා කළ චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙහි තේමාව වන්නේ ද සිතීමේ හා විමසීමේ ශක්තිය මත යථාර්ථය අවබෝධ කර ගැනීමේ ක්‍රම වේදයයි.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට රැගෙන ආ සම්බුද්ධ ධර්ම දායාදය රජු ඇතුළු රාජකීය පිරිස එකහෙලාම අනුගමනය කිරීමෙන් දහම් මගට පිවිස, රට දැය සමය වෙනුවෙන් හෙළ රජ්ජුරුවෝ යුග මෙහෙවරක් සිදුකර ඇත.

එදා මිහිඳු මා හිමියන්ගේ වැඩම වීමෙන් අනතුරුව පළමුවන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුර “මහ මෙවුනා උයන” තුළ පිහිට” මහා විහාරය”පළමුවන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට කියන්නට පුළුවන්.

මෙම මහා විහාරයේ භික්ෂූන් වහන්සේට පූජා කරනු ලැබුවේ දෙවනපෑතිස් මහ රජතුමා විසින්. ඒ සමඟම මිහිඳු මාහිමියන් සඳහාම කාලපාසාද පිරිවෙන හදා පූජා කරනු ලැබුවා. ඒ හැර තවත් බොහෝ පිරිවෙන් පොකුණු රාත්‍රි හා දිවා ස්ථාන, හදා පූජා කරනු ලැබුවා.

රජතුමා සෙසු ඇමතිවරුන් විසින් මිහින්තලාවේ අටසැටලෙන් හෙවත් ලෙන් 68 සාදවා පූජා කරනු ලැබුවා. මිහිඳු මාහිමියන් විසින් එදා හඳුන්වා දෙනු ලැබූ නවතම දහම හෙවත් බුදු දහම මෙම ලෙන් ගුහා පිරිවෙන් යන භික්ෂු වාසස්ථාන වල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා විසින් ලංකාවේ දස දිසාවෙහි පැතිරවීමත්, පරම්පරාවෙන් පරම්පරාවට ස්ථිරසාර ලෙස දිගුකල් පවත්වාගෙන යාමත්, එදා උන් වහන්සේ අපේක්ෂා කළ ප්‍රධාන කාර්යයක් ලෙස සළකන්නට පුළුවන්.

මේ නිසා මෙහි පැවති මෙම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණක් පරම්පරාවෙන් මෙම දහම පවත්වාගෙන යාම. එසේනම් ලේඛන කලාවක් ලෙස එය සිදු කළ නොහැකි වූ තැන එය පවත්වාගෙන යාමේ මාධ්‍ය බවට පත්වී තිබුණේ එම ධර්මය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාමයි. මේ නිසා මෙදා පැවැති අධ්‍යාපන ක්‍රමයේ ධර්ම වනපොත් කිරීම බෞද්ධ අධ්‍යාපන ලාභියා ගෙන් අපේක්ෂා කරන මූලිකම වූ කාර්යයක් බවට පත්වුණා.

මිහිඳු මාහිමියන් හඳුන්වාදුන් අධ්‍යාපන ක්‍රමයේ තවත් ලක්ෂණයක් වුනේ ධර්මය දැන හඳුනාගත් භික්ෂුව බහුසෘත භාවය ඉහල ස්ථරයක සිටීමයි. තවත් වචනයකින් විස්තර කරන්නේ නම් වියත් බව කියා පෙන්වා දෙන්නට පුළුවන්.

ශ්‍රී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වඩින විට ලංකාව තුළ විවිධ ආගම් ඇදහිලි විශ්වාස තිබූ අතර ඒවා ආගම් ඇදහිලි විශ්වාස මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කිරීමට හැකියාව තියෙනවා.

පළමුවන කොටස ආගම් ඇතුළත් වන අතර දෙවන කොටස ලෙස ඇදහිලි විශ්වාස තුළත් කරන්න පුළුවන්.

කොටස් දෙක එක කොටසක් ලෙස ගෙන ඇතැම් අය කතා කරත් එහෙම කතා කරන එක යුක්ති සහගත වෙන්නේ නැහැ. මෙය කොටස් දෙකක්. ආගම් කියන්නේ කිසියම් ආගමික නායකයෙකු දේශනා කළ අදහස් සමාජගත වීම. ආගමකට නායකයෙකු බොහෝවිට සිටියත් ඇදහිලි විශ්වාස වලට එලෙස නායකයෙකු නැහැ. දේශනා කළ ශාස්තෘවරයකු නැහැ. එය සංස්කෘතිය තුළ කාලයෙන් කාලයට පරපුරෙන් පරපුරට වෙනස් වෙමින් අලුත් වෙමින් නැවතත් වෙනස් වෙමින් ගලා ගෙන යන ක්‍රමවේදයක් .

ඒක හඳුන්වන්නේ ඇදහිලි විශ්වාස කියලා .කිසියම් ආගමක් තුළ වුණත් ඇදහිලි විශ්වාස තියෙන්න පුළුවන් නමුත් ඇදහිලි විශ්වාස තිබුණු පමණින්ම එය ආගමක් වෙන්නේ නැහැ. අද දවස කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින විට පෙර ශ්‍රී ලංකාව තුළ තිබුණු ආගමික පසුබිම සහ ඇදහිලි විශ්වාස තත්ත්වයයි.

ඉන්දියාවේ තිබුණු හැම ආගමක් ම වාගේ ශ්‍රී ලංකාව තුළ තිබුණු බව අපට පැහැදිලියි. එයට පුරාවිද්‍යාත්මකව සාධක ඔප්පු කිරීමට හැකියි. ඓතිහාසික සාධක ඕනෑ තරම් තියෙනවා.

පුරාවිද්‍යාත්මක සාධක නැති බොහෝ දේ අප තහවුරු කරන්නේ ඓතිහාසික සාධක තුළින්. ශ්‍රී ලංකාව තුළ තිබුණ ආගම් අතර මිහිඳු මහරහතන් වහන්සේ වඩින ප්‍රථම කාලය තුළ මූලික වශයෙන්ම බ්‍රාහ්මණ ආගමට විශේෂත්වයක් හිමි වුණා. බ්‍රාහ්මණ ආගම ශ්‍රී ලංකාව තුළ තිබුණු බව සඳහන් කරන්නේ මහා වංශය. මිහිදු මහරහතන් වහන්සේ වැඩම වීමට පෙර බ්‍රාහ්මණාගම ලංකාව තුළ පැවතුණාය කියන කාරණය ඉතාමත් පැහැදිලිව මහා වංශය පරිච්ඡේදවල සඳහන් වෙනවා.

බ්‍රාහ්මණාගම මුලින්ම තිබුණේ ඉන්දියාවේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය මවන ලද්දේ ය.. මේ ලෝකය හදන ලද්දේය.. මේ ලෝකයට මග පෙන්වන ලද්දේ ය.. කියා මූලික ඉගැන්වීම් මත බමුණු ආගම පැවතුනත් එය සංවිධානාත්මක ආගමක් වුණා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ජයින ආගමක් තිබුණා. ජෛනාගම තිබුණේ ඉන්දියාවේ. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයෙහි ජෛන මහා වීර නිගණ්ඨනාථපුත්ත එම ආගමේ ශාස්තෘවරයා වෙලා හිටිය. නිගණ්ඨනාථපුත්ත ජෛනාගමේ පළමුවන ශාස්තෘවරයා නොවන අතර නිගණ්ඨනාථපුත්තට පෙර ජෛනාගම තුළ ශාස්තෘවරු ගණනාවක් සිටියා ඉන්දියාවේ තිබුණු මේ ජෛන ආගම වෙළෙන්දන් මාර්ගයෙන් වෙනත් ගමන් බිමන් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. ඒ වගේම ඉන්දියාව තුළ තිබූ වෙනත් විවිධ ආගම් විශ්වාස ශ්‍රී ලංකාව තුළ පැවැතී තිබෙනවායැයි කාරණාව ඓතිහාසික මූලාශ්‍රවලින් තහවුරු කරගන්නට පුළුවන්. ඉන්දියාව තුල කිසියම් දෙයක් තිබුණා ද විශ්වාස කලාද අද ඒ දේ ලංකාව තුළ තිබුණේ නැහැ යි කීමට හැකියාවක් නොමැති තරම්.. ශ්‍රී ලංකාව තුළ තිබූ ආගමික විශ්වාසය පිළිබඳව කතා කිරීම අපට එය වැදගත්. පෙර සඳහන් කළ පරිදි කිසියම් විශ්වාසයක් ගොඩනැගෙන්නේ ආගමික සංකල්ප වලින් පරිබාහිරව. මෙම තත්ත්වය පරපුරෙන් පරපුරට ගලාගෙන ගියා. පරම්පරාවෙන් පරම්පරාවට අලුත් වෙමින් වෙනස් වෙමින් ආගමික විශ්වාස ගමන් කරන බව ආගමික විශ්වාස පිළිබඳව සමීක්ෂණය කරන සමාජ විද්‍යාඥයන් ප්‍රකාශ කරනු ලැබුවා. මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ පෙර පැවති ආගමික විශ්වාස මොනවාද යන්න විමසා බලමින් ඒවා මහින්දාගමනයට පසු වෙනස් මුහුණුවරකට හැඩගැසී සිංහල සංස්කෘතිය තුළ වූ ආකාරය පැහැදිලි කරගැනීම අවශ්‍ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය යනු සිංහලයන්ට පමණක් සීමා වූ පටු ජාතිවාදී සංකල්පයක් නොවේ. එහි අන්තර්ගත වන්නේ අපගේ දේශයට උරුම වූ ජාතික අනන්‍යතාවයයි. එහි පැහැදිලි ලක්ෂණය වන්නේ ජාති ආගම් වර්ග භේදවලින් තොර සියලු දෙනා සමග සහජීවනයෙන් ක්‍රියා කළ හැකි වීමයි. මිහිඳු මා හිමියන් අපට ලබාදුන් එම උත්තරීතර පණිවිඩය බටහිර අර්ථ කතන වලින් විකෘති වීමට ගැති නොවී සියලු ජන කොටස් අතර සමගිය සාමූහිකත්වය වර්ධනය කරමින් දේශීය අනන්‍යතාවය ශක්තිමත් කිරීමට ක්‍රියා කිරීමයි…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here