මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි – Sri News

0
7

Moon

මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි

නොවරදින දියුණුවට තිසරණයේ පිහිට ලබා ගන්නා හැටි – 5

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජාතියට මග හසර කියා දෙන්නේ ධර්මාන්විතය දොහොත් මුදුන් බැඳ තබාගෙනය. සත්ත්වයා බිය සහිතව ම ඉපදී, බිය සමඟ ජීවත්වී බිය තුරුළු කරගෙන ම මිය යන බව සමාජ අත්දැකීමෙන් අපි දනිමු. මේ බිය නැති කිරීම උදෙසා ඇත්තේ ධර්ම මාර්ගය ම බව ඤාණානන්ද හිමියෝ අප හට වදාරණ සේක. නිදාගත් ජාතිය අවදි කිරීම පිණිස උන්වහන්සේ වදාරණ දේශනා මාලාවේ අද ලිපිය වෙන්වන්නේ ප්‍රශ්න ඉදිරියේ අසරණ වී ඇති ජාතියට තිසරණයේ බලගතුභාවය කියා දීමට ය.

ඔබ වහන්සේ නිරන්තරයෙන් ම තිසරණය සතු අනන්ත බලය ගැන වදාරනවා. එහෙම බලයක් දරා හිඳින ජාතියක් ඒ බලය ගැන වැඩි සංවේදීතාවයක් නැතුව ඉන්න බව පෙනෙනවා. නැතිනම් එදිනෙදා ප්‍රශ්නවලට තිසරණයේ පිහිට පැතීම ජාතිය අඩුකර ඇති බව පෙනෙනවා. අපි හැමෝට ම තිබෙන එදිනෙදා ප්‍රශ්න සඳහා තිසරණයේ පිහිට ලබා ගන්න පුළුවන්ද?

මේ සඳහා මම අපි දන්න කතාවක් කියලා ඉන්නම්. අපි හඳුනන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මෙයා දරුවන් දෙදෙනෙක් ඉන්න පියෙක්. මේ පියා බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ මහත්තයාගේ බිරිඳ අපේ අසපුවට සම්බන්ධ වෙලා බණ අහන්න පුරුදුවෙලා ඉන්න කෙනෙක්. එක දවසක් මේ බිරිඳ බණ අහන්න මහත්තයත් එක්කගෙන ආවා. ‘අනේ මට බණ අහන්න බැහැ… තමුසෙලා ගිහිල්ලා අහලා එනවා’ කියලා මේ නෝනට මහත්තයා කියලා තියෙනවා. උදේ වරුවේ ධර්ම ශාලාවේ නෝනා වාඩිවෙලා ඉඳගෙන බණ අහන නිසා මහත්තයා ඉඳලා තියෙන්නේ කේන්තියෙන්. බණ ඉවරවෙන කොට වැස්සක් ඇවිල්ලා තියෙනවා. ‘මෙහෙ දානේ දෙනවා. අපි දානෙත් කාලා ම යමුද…? කියලා නෝනා අහලා තියෙනවා. ඒකට කැමති වෙලා දානෙත් අනුභව කළා. ‘දැන්වත් යමන්’ කියලා මහත්තයා නෝනට කිව්වලු.

‘බලන්න මහත්තයා… මේ මිනිස්සු වැස්සේ ඉඳගෙන බණ අහනවා. ආපු එකේ නිකමට බණ පදයක් අහලා යමු’ කියලා නෝනා ඇවිටිලි කළාම ඒකටත් මේ මහත්තයා කැමති වෙලා තියෙනවා. එදා මම දේශනා කරලා තියෙන්නේ බාල පණ්ඩිත සූත්‍රය. එකේ තියෙන්නේ බාලයෙකුගේ ලක්ෂණයි, නුවණැත්තෙකුගේ ලක්ෂණයි. එදා ඒ මහත්තයාගේ හෘද සාක්ෂිය එයාට කතා කරලා තියෙනවා. ‘මම මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ බාලයෙක් වගේ නේද…?’ කියලා කල්පනා වෙලා තියෙනවා. ‘අදවත් මම බාල බවෙන් නිදහස් වෙලා ඉන්නවා කියලා හදවතෙන් කියලා තියෙනවා. ඒ අධිෂ්ඨානය හිතට අරගෙන ගිය මහත්තයා එදා ඉඳලා නොකඩවා බුදුන් වඳින්න පටන් අරගෙන තියෙනවා. මේ විස්තර අපිවත් දන්නේ නැහැ. මෙයා ධර්මය කියවන්න පටන් අරන්. මගේ හැම පොතක් ම කියවන්න පටන් අරගෙන තියෙනවා. මෙහෙම යන කොට ටික ටික ව්‍යාපාරය බංකොලොත් වෙන්න පටන් අරගෙන. එහෙම වුණාට මෙයා තිසරණය රැකගෙන ඉන්නවා. ආයෙමත් ටික කලකින් ව්‍යාපාරය සාර්ථක තත්ත්වයකට ආවා. මෙයා හැමදාම එක දෙයක් කරනවා. හැමදාම දානේ දෙනවා. අඩුම ගානේ මිනිහෙකුට බත් පාර්සලයක් හරි දෙනවා. මෙයා බුදුන් වැඳලා හැමදාම දෙවියන්ට පින් දෙනවා. ඒ සඳහා ලස්සන ක්‍රමයක් මේ මහත්තයා ම හදාගෙන තියෙනවා. රැස් කර ගත්ත පින් මතක් කර ගන්නවා. බිරිඳට සැලකීම, දරුවන්ට සැලකීම, සංඝයාට සැලකීමෙන් දන් පින් කිරීමෙන් ලැබුණු පින් ගැන මෙයා මෙනෙහි කරනවා. ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. මේ අපි කියලා නෙමෙයි. තිසරණය තුළ මනුෂ්‍යයෙක් ශිෂ්ට සම්පන්න වෙච්ච හැටි බලන්න.

ඊට පස්සේ මෙයා ලෙඩ වෙන්න පටන් අරගෙන තියෙනවා. ටික ටික දකුණු අත පණ නැතිවෙන්න පටන් අරගෙන තියෙනවා. වම් කකුලත් පණ නැති වෙන්න පටන් අරගෙන. දැන් හැමතැන ම ඉස්පිරිතාලවලට යනවා. ගිහිල්ලා බෙහෙතුත් ගන්නවා. වාඩිවෙලා ඉන්න බැහැ, බෙල්ල කඩාගෙන වැටෙනවා. එතකොට එක එක්කෙනා ඇවිල්ලා ‘අසවල් දේවාලයට යන්න… අහවල් තැනට බාර ගැට ගහන්න…’ ආදී වශයෙන් කියලා තියෙනවා. මෙයා ඒ වෙලාවේ කල්පනා කරලා තියෙනවා ‘මම නීච පුද්ගලයෙක් වෙලා ඉඳලා, තිසරණය නිසයි මෙතැනට ආවේ. මට මෙහෙමනම් වෙන්න තියෙන්නේ මම මේක පිළිගන්නවා’ කියලා. ඔහොම ඉන්න අතරේ මෙයා අපි කවුරුත් හිතපු නැති දෙයක් කරලා. ‘මේ කඬේ අද දවසේ ලාභය මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා’ කියලා හිතලා තියෙනවා. එදා බුදු හාමුදුරුවන්ට පහන තියලා අද කඬේ ලැබෙන ආදායම මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා එයා හිතලා වැඩ පටන් ගත්තාලු. වෙනදට දොළොස්දාහක් පමණ වෙළඳාම තියෙන කඬේ එදා ආදායම රුපියල් එක් ලක්ෂ දොළොස් දාහක් ලැබිලා. එදා ලැබුණු අදායම මෙයා ධර්ම ශාලාවක් හදන තැනකට පූජා කරලා. මෙයා තමන්ට තිබෙන රෝගවලින් විඳෝ විඳෝ ඉන්නවා, තිසරණයට මොකුත් කියන්නේ නැහැ. එක දවසක් මල් පෝච්චියක් උස්සන්න ගිහිල්ලා, අත පණ නැතුව වැටිලා තියෙනවා. ඒත් එයා මොකුත් හිතන්නේ නැහැ. තිසරණය විශ්වාස කරගෙන ඉන්නවා. හැමදාම පිරිත් කියනවා. දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මෙයා පරලොවත් මෙනෙහි කරගෙන ඉන්නවා. දේවතානුස්සතිය වඩාගෙන ඉන්නවා, මොනවා හරි වුණොත් යන්න කියලා.

දවසක් රාත්‍රී තුනහමාරට විතර සුදු පාට එළියක් මෙයා ගාවට ඇවිල්ලා “පුත්‍රය ඔබ බොහෝම දුකසේ තිසරණය රැකගෙන සිටිනවා නේද…?” කියලා අහලා තියෙනවා. “මම ආවේ උඹට පිහිට වෙන්නයි…” කියලා අතින් අල්ලලා. අතින් අල්ලපු ගමන් මෙයා ඇඳෙන් ඉස්සුනාලු. උඩකට එක්කගෙන ගිහිල්ලා කියලා තියෙනවා, එතැන නිල් පාට එළියක් තිබිලා තියෙනවා. “මේ දරුවා බොහෝම දුකට පත්වූ කෙනෙක්” කියලා එතැනදී කියලා තියෙනවා. ඒ නිල් පාට එළිය කියලා තියෙනවා “පුත්‍රය, තුණුරුවන් ගුණ සිහි කරපන්…” කියලා. එතකොට නිල් පාට එළිය ඔළුවට අත තියලා. මෙයා බුදු ගුණ සිහි කරන්න අරගෙන තියෙනවා. මෙයාට පේනවාලු, තමන්ගේ ඇඟ ඇතුළෙන් ලාටුවලින් හැදිච්ච ස්ත්‍රියක් එළියට එන්න හදනවා. ඇවිල්ලා ආයිමත් ඇඟ ඇතුළට යනවාලු. නිකං කොහොල්ලෑවලින් වගේ ඇදිලා ඇඟ ඇතුළට යනවාලු. මෙහෙම තුන්පාරක් වෙලා. තුන්වෙනි පාර එළියට ම ඇදිලා ගියාලු. ඒ පාර නිල් පාට එළියෙන් කියලා තියෙනවා “පුත්‍රය, දැන් නුඹට සනීපයි. නුඹට පහළට යන්න පුළුවන් ” කියලා. එයා ඒ පාර හිමිහිට පහළට ඇවිල්ලා. මෙයා සද්ද කරනවා, නෝනට ඇහිලා තියෙනවා. අත් දෙක ම නළලට තියාගෙන ඉතිපි සෝ ගාථාව හයියෙන් කියනවා නෝනා අහගෙන ඉඳලා තියෙනවා. ඒ පාර මෙයා ඇහැරුණා. අතත් හොඳයි. කකුලත් හොඳයි. බෙල්ලත් හොඳයි. මෙයා නැගිටලා උඩ පැනලා බැලුවලු. කලින් දවසේ මල් පෝච්චියක් උස්සන්න ගිහිල්ලා වැටිච්ච කෙනා, වම් අත පණ නැතිව හිටපු කෙනා. දකුණු කකුල පණ නැතිව හිටපු කෙනා, බෙල්ල කඩා වැටුණු කෙනා තමයි මේ.

මේ මහත්තයා මට කතාව කියන කොට කිව්වා “ස්වාමීනි, මම අතේ හයිය බලන්න නෝනාව අත් දෙකෙන් ඉස්සුවා. පස්සේ තනි අතින් ඉස්සුවා. ඒ තරම් හයියක් මට ආවා. මේ කතාව මම වෙන කෙනෙකුට කියන්නේ නැහැ. මම ධර්මය ඉගෙන ගත්ත, ගුරු දේවයන්ට කියනවා” කියලා, මේ කතාව මට ඇවිල්ලා කිව්වා.

බලන්න තිසරණයේ බලය. කොයිතරම් ප්‍රශ්න ආවත් තිසරණය කෙරෙහි නොසැලී පිහිටා ඉන්නවා නම් ඒ බලය ම තමයි පිහිටක් වෙන්නේ.

අපේ හාමුදුරුවනේ… මේ කතාව අහගෙන ඉන්න කොට ප්‍රශ්නයක් එනවා, කවුද අර ලාටු වගේ ඇඟ ඇතුළේ ඉඳන් ආපු ස්ත්‍රිය කියලා…

ඔය වගේ ලාටු ස්ත්‍රීන්ගෙන් අපේ සමාජයේ පුරුෂයන් කොයි තරම් බැට කනවා ඇද්ද…? සමහර භූත කොටස් මිනිස්සුන්ගේ ඇඟට වැහෙනවා. හොඳ වැදගත්, සීලයට ආස පුරුෂයන් ස්ත්‍රීන්ගේ ඇඟට සමහර භූත කොටස් වැහිලා ඉන්නවා. ඒ අය දුස්සීල කරලා, ඒ කොටස් ආශ්වාදයක් විඳිනවා. මේ වගේ අය අපේ ඇඟේ ඉඳගෙන අපේ තිසරණ සහ පන්සිල් රැකීම බිඳින්න හදනවා කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ ඒක අපේ අවශ්‍යතාවයක් කියලා.

මේ බලවේග මැඩපවත්වන්න හොඳම තැන රුවන්වැලිසෑය. මේ අසපුවට සම්බන්ධ පිටරටවල දායකයෝ දැන් ලංකාවට එන්නේ ගෙදර අය බලන්නයි, මහා සෑය වඳින්නයි. මහා සෑය වැඳලා, පාදම සිඹලා, මහා චේතියට ජීවිතය පූජා කරලයි ඒ අය ආපසු යන්නේ.

මේ මහා සෑය කෙරෙව්වේ සුළු පටු උත්තමයෙක් ද…? සිංහල ජාතියේ මහා වීරයා දුටු ගැමුණු මහ රජතුමා තමයි මහා සෑය කරවපු කෙනා. අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ දකුණත් සව් වන්නේත් එතුමා. ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ පාරමී බලයෙනුයි එතුමා මනුෂ්‍ය ලෝකයට ආවේ. දුටුගැමුණු රජතුමා පැමිණියේ බුද්ධ ශාසනය බබළවන්නයි. එතුමාට යුද්ධ කරන්නට සිදු වුණේ සසරේ ගමන් කරන විට ලැබුණු විපාකයක් නිසා. දුටුගැමුණු රජතුමාට ඒක විපාක දෙන්න අවස්ථාවක් නැති බව මහාවංශයේ සඳහන් වෙනවා. ආයෙත් එතුමා මනුෂ්‍ය ලෝකයට එන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ දකුණත්සව් වෙන්නයි. මේ වෙද්දී එතුමා, තුසිතයේ දිව්‍ය රාජයෙක් විදිහට ඉන්නවා. සියලුදෙනා බලාගෙන ඉද්දි දිව්‍ය රථයෙන් මහා සෑය පැදකුණු කරලා එතුමා තුසිතයට ගිය ආකාරය මහාවංශයේ විස්තර කරනවා. එතුමාට අපි දිනපතා පිං දෙන්න ඕනේ. එතැන තමයි අපේ ජාතියේ දියුණුව තියෙන්නේ. දුටුගැමුණු අභය මහා රජතුමා විසින් පිහිටුවන මහා සෑයට ධාතු වෙන්කරන්න කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අනාගතය බලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වදාරපු තැනනේ මේක. නව වරක් පාදම ගිලා බැස සවිමත් ලෙස ඇති මහා නිදානයක් නේ මේක.

එක්තරා අවස්ථාවක මට ධර්මය උගන්වපු ගුරු දේවයන් සමඟ මම රුවන්වැලි මහා සෑය වඳින්න ගියා. මහා සෑ මළුව පාළුවට ගිහින් තිබ්බේ. තරුණ කොලුගැටව් වගයක් ඩොල්කියක් ගහගෙන මහා සෑය වටේ ගියා. මට එදා හරි දුකක් දැනුණා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. දිනපතා මල් පූජා කරනවා. වඳින්න පුදන්න සෙනඟ එනවා.

ඉස්සර ඔය උඩ මළුවට යන්න පුළුවන් රාජ රාජ මහාමාත්‍යවරුන්ටත් සියලු සංඝයාටත් විතරයි. අනෙක් අය වඳින්න ඕනේ වැලි මළුවේ ඉඳන්. දැන් මළුවට ගොඩවෙන්න සියලුදෙනාට වාසනාව තියෙනවා. මළුවට ඇතුළු වූ මොහොතේ සිට බුද්ධානුස්සතියේ යෙදෙන්න ඕනේ. දෙතිස් කතාවෙන් වළකින්න ඕනේ. තමන්ගේ ප්‍රශ්නයක් මහා සෑයට කියනවා කියන්නේ, බුදුහාමුදුරුවන්ට කියනවා වගේ. ව්‍යාපාර දියුණු කරන්න කැමති, ව්‍යාපාර පටන් ගන්න හදන සියලු දෙනා තිසරණයේ පිහිටලා රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න ඕනේ. තමන්ට කුසල ශක්තිය තියෙනවා නම් දේවතා ආශිර්වාදයෙන් ඒ ව්‍යාපාරය දියුණු වෙයි.

දේවාල වැඳලා පුරුදුවෙලා තියෙන නිසා මහා සෑයත් දේවාලයක් කියලා හිතන්න නරකයි. මේ යන්නේ තමන්ගේ ශාස්තෘවරයාණන් හමුවෙන්න කියලා හිතාගෙනයි යන්න ඕනේ. හොඳින් තිසරණය මත පිහිටා, ගාථා කියලා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි මුලින්ම කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු වුණහම මහා සංඝයා විෂයෙහි දානයක් පිරිනමලා ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරනවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එතකොට දාන, ශීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුන ම සිදු වෙනවා.

බොහෝ අය වරද්දා ගන්නේ ව්‍යාපාරය සාර්ථක වුණාට පස්සෙයි. පටන් ගන්න කොට ධාර්මිකව ඉන්න අය ව්‍යාපාරය දියුණු වෙන කොට නරක යහළුවන් ඇසුරට යනවා. ව්‍යාපාරය පිරිහෙන්න පටන් ගන්නේ එතැනිනුයි. තමන් පරිසරයෙන් වෙනස් වෙන්න නරකයි. තමන්ගේ ශීලය ඕනෑම අභියෝගයක් ඉදිරියේ ආරක්ෂා කර ගැනීමයි කළ යුත්තේ.

තව කොටසක් ලබන සතියේ…

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

The post මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here