මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ

0
6




මානව විවිධත්වය තරම් විද්‍යා ලෝකය තුළ අතීත, වර්තමාන හා අනාගතය යන තුන්කාලයේ දී ම එකලෙස විද්‍යාත්මකව සාකච්ඡාවට ලක්වන තවත් මාතෘකාවත් නොමැති තරම් ය. හෝමෝ සේපියන්ස්වරු මිහිමත විසූ පළමු හෝ අවසාන මානව විශේෂය වන්නේ නැත. නමුත් ඔවුන් මිහිමත දැනට වාසය කරන බුද්ධිමත්ම හා අනුවර්තිත ම ජීවී කොට්ඨාසය ලෙස අවිවාදයෙන් යුතු ව පිළිගැනේ. බොහෝ කලකට පෙර, තවත් බොහෝ මානව විශේෂ එකිනෙකට සමකාලීනව වෙනත් භූගෝලීය අන්තයන්ගේ විසිරී පැතිරී සිටියේ ය; දැනට සිදුකෙරී ඇති පර්යේෂණවලට අනුව හෝමෝ සේපියන්ස් මානවයින් මීට වසර 300,000 කට පමණ පෙර වඳ වී ගොස් ඇති මානව විශේෂ අටක් සමඟ ජීවත් වී සිට ඇත. මෑතකාලීනව, එනම් අදින් වසර 15,000 කට පමණ පෙර, අප ඩෙනිසෝවන් ලෙස හැඳින්වෙන තවත් මානව විශේෂයක් සමඟ සම වාසස්ථානයන් හි වාසය කළෙමු. එකිනෙකට වෙනස් වූ මානව විශේෂ කීයක් මිහිමත වාසය කර වද වී ගියා ද යන්න නිවැරදිව සොයා බැලීම ඉතා සංකීර්ණ කාර්යයකි, විශේෂයෙන්ම පර්යේෂකයන් හට සම්පූර්ණයෙන්ම වෙනස් සහ කලින් නොදන්නා මානව විශේෂවලට අයත් ෆොසිල සාධක, පුරාවිද්‍යාත්මක පස් ස්ථර අතරින් කලින් කලට මතු වීම, මතු දැක්වෙන කාර්යය තවත් අභියෝගාත්මක කරයි.

නමුත්, මානව පරිණාමයේ එන න්‍යාය සියල්ල සත්‍යය නම්, වර්තමානයේ දීත් වදුරන් හා වානරයින් ඉතිරි වී පවතින්නේ කෙසේ ද?

අදින් වසර ලක්ෂ ගණනකට පෙරාතුව හෝමෝ සේපියන්වරු වන අප, ලොව පුරා සංක්‍රමණය වෙමින්, පස පෙරළා බෝගවගා කරමින්, යකඩ තාක්ෂණයෙන් විප්ලව කරමින් හා ඉතාමත් මෑත කාලීනව සඳ මත පා තබද්දී, චිම්පන්සියන්, ගෝරිල්ලන් හා අනෙකුත් වදුරන් හා වානරයින් – අපගේ සමීපතම ඥාතීන් – ගස්වල රැඳී සිට, පළතුරු හා ශාක කොටස් ආහාරයට ගනිමින් තම සුපුරුදු දිවිපෙවෙත බාධාවකින් තොරව ගත කළහ. නමුත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, නවීන චිම්පන්සි සතුන්, නූතන මිනිසුන්ට වඩා දිගු කාලයක් එනම්, හෝමෝ සේපියන්ස්ගේ වසර ලක්ෂ 3 හා සසඳන විට ඔවුන් අදින් වසර මිලියන 1 කට වඩා විැඩි පරිණාමය ගමන්මගකට උරුමකම් කියයි, නමුත් මිනිසුන් වන අප වසර මිලියන 6 ක් හෝ මිලියන 7 ක් තිස්සේ වෙනම පරිණාමීය ගමන් මගක් ගනිමින් සිටිමු. මානව වර්ගයා හා චිම්පන්සි සතුන් අපේ ඥාති සොහොයුරන් ලෙස සලකන්නේ නම්, අපගේ පොදු පූර්වජයා,  ඔහුගේ පරිණාමීය දරුවන්ගෙන් එක් අයෙකුට පමණක් ශිෂ්ඨත්වය ලබා දී, දෙපයින් නැගී සිටුවා, අනෙකා වර්තමානය දක්වාම වනගත හෝ භෞමික ජීවිතයක් උරුම කර දෙමින්, ශාක ආහාර වෙත හුරු කරවා අඩු පරිණාමීය ලක්ෂණ උරුම කර දුන්නේ ඇයි?

රූපය 1- මානව විවිධත්වය නිරූපණය කෙරෙන ෆොසිල මානවයින්ගේ ප්‍රතිනිර්මිත මුහුණු (උපුටා ගැනීම livescience.com වෙතිනි)
රූපය 1- මානව විවිධත්වය නිරූපණය කෙරෙන ෆොසිල මානවයින්ගේ ප්‍රතිනිර්මිත මුහුණු (උපුටා ගැනීම livescience.com වෙතිනි)

මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ පරිණාමය වීම යනු, දියුණු වීම පමණක් නොවේ. එහි දී අඩු වීම්, අතුරුදහන් වීම් හා පැහැර ගැනීම් වුවද සිදු වීමට වුවමනා තරමට වැඩි ඉඩකඩ ස්වභාවධර්මයා විසින්ම සකස් කර දී ඇත. එනම් පරිණාමය යන්න සත්‍යය වශයෙන්ම අර්ථ දැක්විය හැක්කේ ජීවීන් ඔවුන්ගේ වර්තමාන පරිසරයට අනුගත වන අයුරින් තම සංස්කෘතිය හා චර්යාව කොතරම් හොදින් ගලපගන්නවා ද? හා ඔවුන්ගේ නව අනුගත වීම් තුළින් සිදුවන සංස්කෘතිකමය හා චර්යාත්මක දියුණුව කොතරම් කායිකවිද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ ඔස්සේ නිරූපණය වනවාද යන්න ලෙස ය. මේ අනුව, පරිණාමීය විද්‍යාඥයින්ගේ අදහස් අනුව, මානවයා අනෙකුත් ප්‍රිමාටා විශේෂවලට වඩා “පරිණාමය” වී නැති අතර, නිසැකවම පරිණාමීය ක්‍රීඩාව ජයග්‍රහණය කර නැත. එසේ නම් වර්තමානයේ දී මිනිසුන් හා වානරයින් යන දෙවර්ගයම පැවතීමට හේතු ප්‍රත්‍යය කුමක් ද?

ඒ සදහා තිබිය හැක්කේ එක් සත්‍යයකි. එනම්, අතිශයින්ම මානවයා සතු අනුවර්තනය වීමේ හැකියාව තුළින් එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ පරිසරයන් හැසිරවීමට ඉඩ දෙන අතර, එම හැකියාව මිනිසුන්ව පරිණාමීය ඉණිමඟේ ඉහළින්ම තැබීමට සාධක ලෙස විද්‍යාඥයින් පෙන්වා දේ. නමුත් වර්තමානයේ ඇති වී ඇති විදග්ධ කතිකාවත තුළ දී හුවමාරු වන්නේ, පරිණාමය යන සංකල්පය බොහෝ විය මිණිය හැක්කේ තමා ජීවත් වන පරිසරයට වඩා හොදින් තම අනුවර්තන සකසා ගන්නේ කෙසේ ද විනා, තමා අවට පරිසරය තම වුවමනා එපාකම් අනුව හැඩගැස්වීමෙන් නොවන බවය. එය පරිණාමයක් නොව, ආක්‍රමණයක් ලෙස හුදෙක්ම අර්ථ දැක් වේ. එනම්, සිදුවිය යුත්තේ සියල්ල හා සියල්ල අභිබවා ශක්තිමත්ම හෝ වේගවත්ම වීම යන අදහස අප සතුව ජානමය වශයෙන් පැළ පදියම් වී ඇත, නමුත් පරිණාමීය අර්ථයකින් සිදුකළ යුත්තේ භූගෝලීය කාලරාමුව තුළ වෙනස්වන පරිසර තත්ත්වවලට අනුගත වෙමින් තම දිවිගලවා ගැනීමත්, නව පරිසර තත්ත්ව යටතේ තම වර්ගයා බෝ කිරීමත් ය.

චිම්පන්සින් හා අප එක් පොදු පූර්වජයෙකුගෙන් අපසරණය වීම මීට කදිම නිදසුන් සපයයි. වර්තමානයේ දී වුවද අප සතුව සම්පූර්ණ මානව හෝ ප්‍රිමාටා ෆොසිල වාර්තාවක් සංරක්ෂණය වී නැති අතර, ජීවවිද්‍යාඥයන් වර්තමාන ප්‍රිමාටා සතුන්ගෙන් ලබාගත් ජාන සහ චර්යාත්මක සාක්ෂි සමඟ පොසිල සාක්ෂි ඒකාබද්ධ කර වර්තමානය වන විට වඳ වී ගොස් ඇති විශේෂයන් ගැන අදහස් පළ කර ඇත. එකී විද්‍යාඥයින්ට අනුව මානව පූර්වජයා හා ප්‍රිමාටා පූර්වජයා එකිනෙකින් වෙන්කර හදුනා ගැනීමට හැකිවීම, ඔවුන් වැඩි කාලයක් භූමියේ හෝ රුක්වැසිව ගත කළ කාලය හා අනුයාත වන බවයි. බොහෝවිට මානව පූර්වජයින් වන ආහාර ප්‍රදේශ සොයායමින් සිටියා විය හැකි ය. නමුත් වානරයින්ට වඩා මානවයින් වැඩි ජීවිත කාලයක් ගත කිරීමට හේතුවූ කරුණු විද්‍යාඥයින් අනාවරණය කරමින් සිටී.

එයින් පළමුවැන්න ඔවුන්ගේ ආහාර රටාවයි. මෙතෙක් කල් ශාක තන්තුමය ආහාර හා ධාන්‍යවර්ග ආහාරයට ගනිමින් සිටි මානව පූර්වජයින් අදින් වසර මිලියන 2.6කට පෙර ශිලා මෙවලම් නිර්මාණය කර සතුන්ගේ මාංශ හා අස්ථි එකිනෙකින් වෙන් කර ගත්හ. කාලයාගේ ඇවෑමෙන් මෙම අධි ශක්තිජනක ආහාරයක් වන මාංශවල අඩංගු පෝෂ්‍ය කොටස් අවශෝෂණය කර ගැනීමට සහ ජීර්ණය කිරීමට පහසුවන පරිදි බඩවැලේ දිග ප්‍රමාණය අඩු වීමෙන්, හා මොළයේ සහ ශරීරයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තවමත් වනාන්තරයේ ජීවත්වන ශාකභක්ෂක ඥාතීන් මෙන් නොවන ඔවුන් ශරීර ශක්තියෙන් හා දරාගැනීමේ හැකියාවෙන් ඔපවැටිණි. තවදුරටත්, පරපෝෂීතයින් ආසාදනය වූ  අමු මාංශ ආහාරයට ගැනීමේදී සංකූලතා උත්තේජනය වූ අතර, ඊට ප්‍රතිචාර ලෙස මානවයා විසින් කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරන ජානයක් වන ඇපොලිපොප්‍රෝටීන් E (Apolipoprotein E) හි අද්විතීය ප්‍රභේද පරිණාමය කළේ ය. ඒ තුළින් ආමාශගත සංකූලතා මෙන්ම, මොළයේ හා ධමනිවල වයස්ගත වීමේ බොහෝ අංශ සුවපත් කරන ලදී.

මානව පරිණාමය ජාන විද්‍යාත්මක ක්‍රම යොදාගෙන පර්යේෂණයේ නියැලෙනන්නගේ අදහස වන්නේ ApoE3 ලෙස හඳුන්වනු ලබන සියලුම නූතන මානව ජනගහනවල දක්නට ලැබෙන එක් ප්‍රභේදයක්, දළ වශයෙන් වසර 250,000කට පෙර, “අප්‍රිකාවේ හෝමෝ සේපියන්ස් පරිණාමයේ අවසාන අදියරට පෙර” මතු වූ බවය. මෙකී ApoE3 බොහෝ වයස්ගත රෝග වල අවදානම අඩු කරන අතර, විශේෂයෙන් හෘද රෝග සහ ඇල්සයිමර්, සහ වැඩි ආයු කාලයක් සමඟ ධනාත්මක ව සම්බන්ධ වේ. එම ජාන ප්‍රභේදය මානවයින් පරිභෝජනය කරන අධික මේද සහිත මස් ආහාරයෙන් ඇතිවෙන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට එරෙහිව පැන නැගී ඇති බව විද්වතුන්ගේ මතයයි. එහි අතුරුඵලයක් ලෙස මොළයේ වර්ධනය වේගවත් කරන බව ද කියවේ.

මානව විවිධත්වය හා නව මානව විශේෂ ඇති වීම….

මිනිසුන් යනු සත්ව රාජධානියේ වඩාත්ම විවිධත්වයෙන් යුතු ජීවී කොට්ඨාසය බව අවිවාදිත ය. ඒ සදහා සාක්ෂි ලෙස, අප කරන බොහෝ රළු, අනවශ්‍ය, පරස්පර විරෝධී සහ සරලව පැහැදිලි කළ නොහැකි ක්‍රියාකාරකම් දැක්විය හැකි ය. මෙම ලිපි පෙලේ පසුගිය ලියවීම් තුළින් දැක්වූ පරිදි හෝමෝ ගණයේ පළමු සාමාජිකයා වන්නේ හෝමෝ හැබිලිස් මානවයා ය. ඉන් අනතුරුව හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියැන්ඩතාලෙන්සිස් හා අවසානයේ හෝමෝ සේපියන්ස් මානවයා ලෙස රේඛීය ගමන් මගක් කෙරෙහි අදහස් දක්වා ඇත. නමුත්, එහි සැගවූ සත්‍යය වන්නේ එකී ප්‍රධාන මානව වර්ගවලට අමතරව තවත් මානව වර්ග රාශියක් අතීතයේ දී මෙන් ම, වර්තමානයේ දී ද නාමකරණය කර ඇති බවය. ඒවා වඩා ජනප්‍රිය නොවීමට හේතුව වන්නේ එම මානව විශේෂ, ප්‍රධාන මානව විශේෂ දෙකක් අතර අතරමැදි පරිණාමීය ලක්ෂණ එනම්, ජනප්‍රිය ලක්ෂණවල ශේෂ වූ සාධක හෝ නව ලක්ෂණයක අංකුර දැරීම ය. මෙම ලිපියේ එවැනි මානව විශේෂ කීපයක් පිළිබද ව සංක්ෂිප්තව කරුණු දැක්වීමට බලාපොරොත්තු වේ.

හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයා Homo rudolfensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1986
  • ජීවත් වූ ස්ථානය: නැගෙනහිර අප්‍රිකාව (උතුරු කෙන්යාව, උතුරු ටැන්සානියාව සහ මලාවි)
  • ජීවත් වූ කාලය: වසර මිලියන 1.9 සිට මිලියන 1.8 කට පමණ පෙර

මෙම මානව විශේෂය සතු ඇත්තේ හොදින් සංරක්ෂණ වූ එක් ෆොසිලයක් පමණි: එය KNM-ER 1470 ලෙස නම්කර ඇති අතර, කෙන්යාවේ තුර්කානා විලෙහි කූබි ෆෝරා වෙතින් අනාවරණය කරගෙන ඇත. එහි වන එකම තීරණාත්මක ලක්ෂණය ලෙස, කපාල ධාරිතාවය ඝන සෙන්ටිමීටර 775ක් වන අතර, එය හෝමෝ හැබිලිස් මානවයාට වඩා සැලකිය යුතු ලෙස ඉහළින් පවතී. මුල් අර්ථකථනයේ දී මුලින් හෝමෝ හැබිලිස් නිදර්ශකයක් ලෙස සලකනු ලැබූ අතර, රුඩොල්ෆෙන්සිස් වෙනස් වන්නේ ඔහු සතු විශාල මොළය, දිගු මුහුණ සහ විශාල චාර්වක හා පුරස් චාර්වක දත් මගිනි. කෙසේ වෙතත්, අවසාන ලක්ෂණ දෙක නිසා, සමහර විද්‍යාඥයන් තවමත් අදහස් දක්වන්නේ මෙම විශේෂය විශාල මොළයක් ඇති නමුත්, තවමත් ඔස්ට්‍රලෝපිතෙකස් ගණයෙහි ලා සැලකිය හැකිද යන්නයි!

රූපය 2- නව මානව විශේෂයක් වන හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයාට අයත් ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 2- හෝමෝ රුඩොල්ෆනේසිස් මානවයාට අයත් ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

වර්ෂ 1972 දී රිචඩ් ලීකිගේ පර්යේෂණ කණ්ඩායම විසින් රුඩොල්ෆ් විල (වර්තමානයේ ටර්කානා විල ලෙස හැඳින්වේ) ආසන්නයේ හෝමෝ රුඩොල්ෆෙන්සිස් ෆොසිල සොයා ගැනීමෙන් පසුව රුසියානු විද්යාඥ වී.පී. ඇලෙක්සීව් විසින් 1986 දී මෙම විශේෂය මුල්කාලීනව Pithecanthropus rudolfensis ලෙස නම් කරන ලද නමුත් පසුව හෝමෝ ගණයට උසස් කරන ලදී. හෝමෝ හැබිලිස් හා සසඳන විට හෝමෝ රුඩොල්ෆෙන්සිස් හට විශාල සහ පළල් ආකාර දත් ඇත. ඔවුන්ගේ දත් ශක්තිමත් ඔස්ට්‍රලෝපිතකස් ෆොසිලවල දක්නට ලැබෙන ඒවාට වඩා මදක් කුඩා වූ අතර, හෝමෝ හැබිලිස් තුළ දක්නට ලැබෙන දැඩි ලෙස ගොඩනඟන ලද හකු සහ ශක්තිමත් හකු මාංශ පේශී බැඳීම් නොතිබුණි. මෙම ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් කෙරෙන් හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ වඩා ශක්තිමක් හැපීමේ හැකියාවක් තිබූ පෙර ඔස්ට්‍රලෝපිතිකස් විශේෂ අතර විවිධ වූ  ආහාර රටාවක් පෙන්නුම් කළේ ය.

අනෙකුත් මුල් හෝමෝ විශේෂ මෙන්ම හෝමෝ රුඩොල්ෆෙන්සිස් ද ඔවුන්ගේ ආහාර සැකසීමට ගල් ආයුධ භාවිතා කරන්නට ඇත. කෙසේ වෙතත්, මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ වූ කාලයේ මුල් මානව වර්ග එකකට වඩා වැඩි ගණනක් ජීවත් වූ බැවින්, පළමු ගල් මෙවලම් සෑදීමට සහ භාවිතා කිරීමට වගකිව යුත්තේ කුමන විශේෂද යන්න විද්‍යාඥයින්ට නිශ්චිතව පැවසීමට අපහසුය. හෝමෝ රුඩොල්ෆෙන්සිස් ෆොසිල හා සමාන ස්ථරවල දැනට ශිලා මෙවලම් හමු වී නැත, නමුත් හෝමෝ රුඩොල්ෆෙන්සිස් ජීවත් වූ එම කාල වකවානුවටම කාලනිර්ණ වී පවතින ශිලා මෙවලම් තිබේ. නමුත්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ හෝමෝ හැබිලිස් ඇත්ත වශයෙන්ම වෙනස් මානව විශේෂද, නැතහොත් ඔවුන් තනි, විචල්‍ය විශේෂයක කොටසක්ද? එකිනෙකාගෙන් ව්‍යුත්පන්න වූ පූර්වජයින්ද යන පැන වර්තමානය දක්වාම නොවිසදී පවතී.

හෝමෝ ඇන්ටිසෙසර් මානවයා Homo antecessor

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1994
  • ජීවත් වූ ස්ථානය: යුරෝපය
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර ලක්ෂ 8කට පමණ පෙර

1994 සිට 1996 දක්වා ග්‍රාන් ඩොලීනා (Gran Dolina) පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු අතරතුර, ස්පාඤ්ඤ පර්යේෂණ කණ්ඩායමක් විසින් දළ වශයෙන් වසර 800,000 කට පෙර ජීවත් වූ ආදි මානවයින් හය දෙනෙකුට අයත් ෆොසිල අවශේෂ සොයා ගත්හ (Carbonell et al., 1999; López-Polín et al., 2017). මෙම මානව විශේෂයේ දත් හෝමෝ ඉරෙක්ටස්ගේ දත් මෙන් ප්‍රාථමික වූ නමුත් මුහුණේ අංග – විශේෂයෙන් නාසික කලාපයේ හැඩය සහ රදනක දතට ඉහළින් මුහුණේ අවපාතයක් පැවතීම – නූතන මිනිසුන්ගේ ලක්ෂණ වලට සමාන ය (Bermúdez-de-Castro et al., 2017; Welker et al., 2020). මෙකී නවීන සහ ප්‍රාථමික ගතිලක්ෂණවල අද්විතීය මිශ්‍රණය 1997 වසරේ දී නව මානව විශේෂයක් ලෙස හෝමෝ ඇන්ටිසෙසර් නම් කිරීමට හේතු විය (Bermúdez de Castro et al., 1997). 2008 වසරේ දී ස්පාඤ්ඤයේ අටප්‍යුරේකා හි සිමා ඩෙ එළිෆන්ටෙ ගුහාවෙන් (Sima del Elefante, Atapuerca) සොයාගත් අර්ධවශයෙන් සංරක්ෂණය වූ යටි හකු මෙන්ම වසර මිලියන 1.2 කට පමණ ස්ථරයකින් හමුවූ ශිලා මෙවලම් ආධරයෙන් හෝමෝ ඇන්ටිසෙසර් ජීවත් වූ කාලය දිර්ඝ කිරීමට හැකිවිය. හෝමෝ ඇන්ටිසෙසර් ෆොසිල පිළිබද ස්පාඤ්ඤයෙන් පිටත හමුවන එකම සාක්ෂිය වන්නේ පැරණි බටහිර පුරාවිද්‍යා භූමියක් වන Happisburgh හි තිබී සොයාගත් වසර 800,000කට පමණ කාලනිර්ණය කල හැකි ශිලා මෙවලම් ය. මෙම මානව විශේෂය තවමත් අප්‍රිකාවෙන් සොයා ගෙන නැතත්, හෝමෝ ඇන්ටිසෙසර් සඳහා අප්‍රිකානු සම්භවයක් තිබිය යුතු ය. තවද, පර්යේෂකයන් පවසන්නේ නූතන මිනිසුන්ගේ සෘජු පූර්වගාමියා ලෙස සැලකෙන හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් (H. heidelbergensis) නූතන මානවයාට වඩා නියැන්ඩතාල් මානවයාට සමාන ලක්ෂණ දරන බවත්, හෝමෝ ඇන්ටිසෙසර් විසින් හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් හට පරිණාමීය ලක්ෂණ උරුමකර දුන් බවත්, ඒ අනුව නියැන්ඩතාල්වරුන්ගේ ආදිතම මූල, හෝමෝ ඇන්ටිසෙසර් කෙරෙහි රදාපවතින බවත් ය (Arzarello et al., 2007).

රූපය 3 – හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

නමුත් හෝමෝ ඇන්ටිසෙසර්ට අයත් යැයි අනාවරණය කරගෙන ඇති ෆොසිල බොහෝමයක් වැඩිහිටි තත්වයේ නොව ළමා හෝ තරුණ අවධියේ පසුවූ අයගේ වෙයි. ග්‍රෑන් ඩොලිනාහිදී හමුවූ පුද්ගලයන් හය දෙනාගෙන් අවුරුදු 20ක් පමණ වයසැති වැඩිහිටියන් යැයි සැලකෙන්නේ දෙදෙනෙක් පමණි (Carbonell et al., 2008; Rosell et al., 2017). එනයින් පුරාමානවවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ හෝමෝ ඇන්ටිසෙසර් යනු නූතන මානවයාගේ ම තරුණ අවධිය නිරූපණය කරන්නක් විය හැකි බවයි. එනම් ඔවුන් වැඩිවිය පැමිණෙන විට ශාරීරික ලක්ෂණ වෙනස් වීම ඉන් අදහස් කෙරේ. එනයින් හෝමෝ ඇන්ටිසෙසර්ට අයත් වැඩිහිටි මානව ෆොසිල අනාවරණය කරගන්නා තෙක් එම ගැටළුව නොවිසදී පවතිනු ඇත.

රූපය 4 - හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන හකු අස්ථියක් හා දත් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 4 – හෝමෝ ඇන්ටිසෙසර් මානවයාට අයත් යැයි සැලකෙන හකු අස්ථියක් හා දත් (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයා Homo heidelbergensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 1908
  • ජීවත් වූ ස්ථානය: යුරෝපය, ආසියාව, නැගෙනහිර හා දකුණු අප්‍රිකාව
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර ලක්ෂ 7කට පමණ පෙර

1908 දී ජර්මනියේ හයිඩෙල්බර්ග් නගරයේ දී, කම්කරුවෙකු විසින් හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් වර්ගයේ නිදර්ශකයක් මුවර් ගම්මානයට උතුරින් පිහිටි රොෂ් වැලිනිධියෙන් සොයා ගන්නා ලදී. මෙම හකු අස්ථියේ පුරස්චාර්වක දත් හා සහ පළමු වම් චාර්වක දත් දෙක හැරණුවිට අංගසම්පූර්ණ නිදර්ශකයක් විය; ජර්මානු මානවවිද්‍යාඥ Otto Schoentensack මෙම නිදර්ශකය මුලින්ම අධ්‍යනය කළ අතර හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් යන විශේෂ නාමය යෝජනා කළේය. මෙම විශේෂය නම් කිරීමට පෙර, විද්‍යාඥයන් විසින් හෝමෝ ඉරෙක්ටස් සහ නූතන මානවයන් යන දෙඅංශයටම සමාන ලක්ෂණ පෙන්නුම් කරන බැවින් නිදර්ශකය පෞරාණික හෙවත් මුල්කාලීන හෝමෝ සේපියන්ස් ලෙස හැඳින්වූහ. හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් ෆොසිල හමුවන පැරණිතම ස්ථානය ඉතියෝපියාවේ බෝඩෝ ක්ෂේත්‍රයයි (අදින් වසර ලක්ෂ 6). යුරෝපයේ හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් නිදර්ශක සොයාගත් ක්ෂේත්‍ර ගණනාවක් ඇත (උදා: Steinhei) ඒවා අදින් වසර ලක්ෂ 5 තරම් ඈත අතීතයේ සිට ස්පාඤ්ඤයේ සිට නැගෙනහිර යුරෝපය දක්වා විහිදේ. වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ස්පාඤ්ඤයේ අටප්‍යුරේකා කඳුකරයේ සිමා ඩි ලොස් හියුසෝස් (Sima de los Huesos) ක්ෂේත්‍රයෙනි. චීනයේ ඩාලි මිනිසා ඇතුළු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් විශේෂයේ නියෝජිතයන් ලෙස ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන පුරාක්ෂේත්‍ර කිහිපයක් ආසියාවේ ඇත. උතුරු අප්‍රිකාවේ Jebel Irhoud; නැගෙනහිර අප්‍රිකාවේ Omo, Bodo, Ndutu, Eyasi සහ Ngaloba; සැම්බියාවේ Kabwe; සහ දකුණු අප්‍රිකාවේ Florisbad සහ Elandsfontein ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වේ.

රූපය 5 - හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන හිස්කබලක්- අප්‍රිකා මහද්වීපයේ සැම්බියාවෙන් හමු වූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ. (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 5 – හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන හිස්කබලක්- අප්‍රිකා මහද්වීපයේ සැම්බියාවෙන් හමු වූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ. (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)

සාමාන්‍යයෙන්, හෝමෝ හයිඩෙල්බර්ගෙන්සිස් , හෝමෝ ඉරෙක්ටස්ට වඩා හිස්කබල සහ පශ්චාත් හිස්කබල යන දෙඅංශයෙන්ම අඩු ශක්තිමතියකින් යුතු වූ අතර නූතන මානවයාට වඩා ශක්තිමත් විය. හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මූලික වශයෙන් එහි කපාල ධාරිතාව (1100–1400 cc) සහ හිස් කබලේ නවීන හැඩය මගින් ඉරෙක්ටස් මානවයාගෙන් වෙන්කර හඳුනාගත හැකිය. මස්තිෂ්ක ප්‍රසාරණය, විශේෂයෙන් ප්‍රාචීර කොටස්, හිස් කබලේ ඉහළ කොටසේ හිස් කබලේ පළල වැඩි කිරීමට හේතු වූ අතර එමඟින් වඩාත් සිරස් අතට යොමු වූ හිස් කබලක් ඔහුට උරුම වී ඇත. මාංශ පේශිවල ශක්තිමත් බව අඩු වීම නිසා හිස්කබලේ ඔක්සිපිටල් කලාපය අඩු කෝණික අගයක් ගනී. සමහර නිදර්ශකවල ඉතා උච්චාරණය කරන ලද ඇහිබැමි නිරීක්ෂණය කළ හැකි ය. විශේෂයෙන් ම දන්ත සංයෝජනය සලකා බැලීමේ දී රදනක දත් ආශ්‍රිතව ඇති පසුබැසීම අනෙකුත් මානව විශේෂවලට වැඩිපුර කැපී පෙනේ, එමගින් ඔවුන් ඔවුන්ගේ මුඛය සහ දත්, මෙවලම් ලෙස භාවිතා කළ බව හැගවේ  නිදසුනක් ලෙස, අස්ථි හා මාංශ වෙන් කරගැනීමට රදනක දත් උපයෝජනය කිරීම දැක්විය හැකි ය. එක් ෆොසිල නිදර්ශකයක මැද කණ අස්ථිය සොයා ගන්නා ලද අතර එමඟින් ඔවුන්ගේ ශ්‍රවණ හැකියාව අප මානව වර්ගයා සමඟ සැසඳිය හැකි බව තීරණය වී ඇත.

රූපය 6 - හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක්- ජර්මනියේ හයිඩ්ල්බර්ග් නගරයෙන් හමුවූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)
රූපය 6 – හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාට අයත් යැයි සැලකෙන ෆොසිලයක්- ජර්මනියේ හයිඩ්ල්බර්ග් නගරයෙන් හමුවූ පළමු හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ෆොසිලය ද වේ (උපුටා ගැනීම The Australian Museum වෙතිනි)ො

ඩෙනිසෝවන් මානවයා Denisovan Man

ඩෙනිසෝවන් මානව විශේෂය අර්ථ දක්වනු ලබන්නේ සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවෙන් ලද ෆොසිලීකරණය වූ මානව ඇගිලි පුරුක් ආශ්‍රයෙනි. විද්‍යාඥයින්ට අනුව, කුඩා ගැහැණු දරුවකුට අයත් වූ එම ඇගිලි පුරුක, අදින් වසර 90,000 කට කාලනිර්ණය කළ හැකි අතර, එම දරුවා දෙමුහුන්කරණයෙන් එනම්, මව නියැන්ඩතාල් විශේෂයකට අයත් ලෙසද, පියා ඩෙනිසෝවන් මානව විශේෂයකට අයත් බව නිගමනය කෙරිණි (Slon et al., 2018). විශේෂයෙන් මෙම අල්ටායි කලාපය සහ එම ගුහාව නියැන්ඩර්තාල්වරුන්ගේ නිවහනක් ලෙස ප්‍රසිද්ධ ය. මෙම ෆොසිල නිදර්ශකය පළමුවරට හදුනාගන්නේ 2008 වසරේ දී වන අතර, ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකරන ලද පර්යේෂණ තුළින් එම මානව විශේෂය නූතන මානව හෝ නියැන්ඩතාල් මානව ජාන වෙත සමීප නොවීම හේතුවෙන් වෙනම මානව විශේෂයක් ලෙස ඩෙනිසෝවා ගුහාව මූලික කරගනිමින් ඩෙනිසෝවන් මානවයා යන නම් තැබී ය (Krause et al., 2010). එහිදී සිදුකරන ලද වැඩිදුර පර්යේෂණවල දී එම අස්ථියේ DNA කොටස් වලින් 40%ක් පමණ නියැන්ඩර්තාල් DNA වලට ගැලපුණු අතර, තවත් 40%ක් ඩෙනිසෝවන් ජාන සමග ගැලපේ. ලිංගික වර්ණදේහ (sex chromosomes) අනුපිළිවෙල සලකා බලා පර්යේෂකයන් විසින් මෙම අස්ථි කොටස පැමිණියේ ගැහැණු ළමයෙකුගෙන් බව තීරණය කළ අතර, අස්ථියේ ඝනකම අනුව ඇයගේ වයස අවුරුදු 13 ක් වත් විය යුතු බව තීරණය කරන ලදී (Brown et al., 2016; Fu et al., 2015).

රූපය 7 - මානව පරිණාමීය ගමන් මගේ ඩෙනිසෝවන් මානවයාගේ ස්ථානගත වීම (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 7 – මානව පරිණාමීය ගමන් මගේ ඩෙනිසෝවන් මානවයාගේ ස්ථානගත වීම (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)
රූපය 8 - ඩෙනිසෝවා ගුහාවෙන් සොයාගත් චාර්වක දත අදින් වසර 50 000කට පෙර ජීවත් වූ කාන්තාවකට අයත් යැයි සැලකේ (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 8 – ඩෙනිසෝවා ගුහාවෙන් සොයාගත් චාර්වක දත අදින් වසර 50 000කට පෙර ජීවත් වූ කාන්තාවකට අයත් යැයි සැලකේ (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)
රූපය 9 - ඩෙනිසෝවා ගුහාවේ පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුර (උපුටාගැනීම - nationalgeographic.com වෙතිනි)
රූපය 9 – ඩෙනිසෝවා ගුහාවේ පුරාවිද්‍යාත්මක කැණීම් අතරතුර (උපුටාගැනීම – nationalgeographic.com වෙතිනි)
රූපය 10 - ඩෙනිසෝවා අවශේෂ අයත් යැයි සැලකෙන කුඩා ගැහැණු දරුවාගේ කායවිලාසය ප්‍රතිනිර්මාණය (උපුටාගැනීම - nature.com වෙතිනි)
රූපය 10 – ඩෙනිසෝවා අවශේෂ අයත් යැයි සැලකෙන කුඩා ගැහැණු දරුවාගේ කායවිලාසය ප්‍රතිනිර්මාණය (උපුටාගැනීම – nature.com වෙතිනි)

මෙම තොරතුරු තර්කානුකූලව විශ්ලේෂණය කර බලන විට, ඩෙනිසෝවන් සහ නියැන්ඩතාල් DNA සමාන ප්‍රමාණවලින් අන්තර්ගත වීම ආකාර දෙකකට විස්තර කළ හැකි ය. ඉන් පළමුවැන්න නම් මෙම කුඩා ගැහැණු දරුවාගේ මව්පියන් ඩෙනිසෝවන් හා නියැන්ඩතාල් මානවයින් විය හැකි ය. දෙවැන්න නම්, එම මව්පියන් ද ඩෙනිසෝවන්-නියැන්ඩර්තාල් දෙමුහුන් ගහනයකට අයත් විය හැකිය (Warren, 2018). එම කරුණ තහවුරු කිරීම සදහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

රූපය 11 – 2010 වර්ෂයේ දී ටිබෙට් සානුවෙන් අනාවරණය කරගත් ඩෙනිසෝවා හකු අස්ථිය අදින් වසර 160 000ක් පමණ පැරණි යැයි සැලකේ (උපුටාගැනීම - nature.com වෙතිනි)
රූපය 11 – 2010 වර්ෂයේ දී ටිබෙට් සානුවෙන් අනාවරණය කරගත් ඩෙනිසෝවා හකු අස්ථිය අදින් වසර 160 000ක් පමණ පැරණි යැයි සැලකේ (උපුටාගැනීම – nature.com වෙතිනි)

හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා   Homo floresiensis

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 2003
  • ජීවත් වූ ස්ථානය: ආසියාව (ඉන්දුනීසියාව)
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර 100,000 – 50,000කට පෙර

මෑතකදී සොයා ගන්නා ලද මුල් මානව විශේෂවලින් එකක් වන හෝමෝ ෆ්ලොරෙන්සිස් (‘Hobbit’ යන අන්වර්ථ නාමය) ගේ අවශේෂ මෙතෙක් හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් (Flores) දූපතෙන් පමණි. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ ෆොසිල දළ වශයෙන් වසර 100,000 ත් 60,000 ත් අතර කාලයකට පෙර දිවෙන අතර, මෙම විශේෂය විසින් සාදන ලද ශිලාමෙවලම් වසර 190,000 ත් 50,000 ත් අතර පැරණි වේ. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් දළ වශයෙන් අඩි 3 යි අඟල් 6 ක් උසකින් යුක්ත වූ අතර, කුඩා මොළයක්, ඔවුන්ගේ කුඩා ප්‍රමාණයට සාපේක්ෂව විශාල දත්, උරහිස් පුළුල් නොවූ, නිකට මොට වූ, නළල පහතට වැටුණු සහ කෙටි කකුල් හා සාපේක්ෂව විශාල පාද තිබූ බව ෆොසිල නිදර්ශක ඇසුරේ නිරීක්ෂණය කල හැකි ලක්ෂණ අතර විය. හමුවන පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යාත්මක සංස්කෘතික අවශේෂ අනුව, ඔවුන් කුඩා ශරීර ප්‍රමාණ්ය හා කපාල ධාරිතාව නොසලකා ශිලා මෙවලම් භාවිතා කළේය, කුඩා අලි ඇතුන් සහ මීයන් දඩයම් කළේය, යෝධ කොමෝඩෝ මකරුන් වැනි විලෝපිකයන් සමඟ සහවාසීව ජීවත් වූ අතර, ගින්දර සාර්ථකව භාවිතා කර ඇත.

රූපය 12 – හෝමෝ ෆ්ලොරෙන්සිස් අස්ථි සැකිල්ලක් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 12 – හෝමෝ ෆ්ලොරෙන්සිස් අස්ථි සැකිල්ලක් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ උස සහ සාපේක්ෂව අඩුඅගයක් ගන්නා කපාල ධාරිතාවය, සීමිත ආහාර සම්පත් සහ විලෝපිකයන් නොමැති කුඩා දූපතක දිගු කාලීන හුදකලා වීමේ ප්‍රතිඵලයක් වන පරිණාමීය ක්‍රියාවලියක් ලෙස සැලකෙන දූපත් වාමනවාදයේ (Island Dwarfism) ප්‍රතිඵලයක් විය හැකිය. වර්තමානයේ දී වඳ වී ගොස් ඇති ෆ්ලෝරස් දූපතේ විසූ පිග්මි අලි ද එම අනුවර්තනය පෙන්නුම් කළහ. කුඩාම හෝමෝ සහ ස්ටෙගොඩන් (Stegodon) අලි විශේෂ දෙකම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ දක්නට ලැබේ. කෙසේ වෙතත්, වර්තමානයේ දී විද්‍යාඥයන් සලකා බලමින් සිටින්නේ හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයාගේ මුතුන් මිත්තන් පළමු වරට ෆ්ලෝරස් දූපත වෙත ළඟා වන විටත් මෙම ශරීර ප්‍රමාණයෙන් ම යුතු වූවේද යන්නයි.

මෙම පර්යේෂණ මාලාව දියත් කරන්නේ ඉන්දුනීසියානු-ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් වන අතර,එහි ප්‍රතිඵලයක් ලෙස අදින් වසර 80,000කට පමණ පෙර ජීවත් වූ කුඩා මිනිසෙකුගේ සම්පූර්ණ කාන්තා ඇටසැකිල්ලක් (LB-1) ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ ලියාං බුවා (Liang Bua) ගුහාවෙන් සොයා ගන්නා ලදී. ඇටසැකිල්ලේ ඇති කුඩා ශරීර ප්‍රමාණය හා කපාල ධාරිතාවය වැනි සුවිශේෂි ලක්ෂණ නිසා විද්‍යාඥයන් විසින් ඇටසැකිල්ල එය සොයාගත් දූපත අනුව නම් කර, විශේෂ නාමය Homo floresiensis නම් නව විශේෂයකට පැවරීමට හේතු විය.

රූපය 13 – හෝමෝ ෆ්ලොරෙන්සිස් හා නූතන මානවයකුගේ පාද අස්ථි සංසන්දනය (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 13 – හෝමෝ ෆ්ලොරෙන්සිස් හා නූතන මානවයකුගේ පාද අස්ථි සංසන්දනය (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

මෙම පළමු සොයාගැනීමේ සිට, හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් 12 දෙනෙකු නියෝජනය කරන අස්ථි සහ දත් Liang Bua ගුහාවෙන් සොයා ගෙන ඇත – එය හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් මෙතෙක් සොයාගෙන ඇති එකම ස්ථානයයි. හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයින් හා සම්බන්ධ සොයාගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් වසර 100,000 ත් 60,000 ත් අතර කාලයකට පෙර දිවෙන අතර, මෙම විශේෂය විසින් සාදන ලද ගල් මෙවලම් වසර 190,00 ත් 50,000 ත් අතර කාලයකට අයත් බව විද්‍යාඥයින්ගේ අදහසයි. ෆ්ලෝරස් දූපතෙන් හමුවූ ශිලා මෙවලම්වලින් පෙනී යන්නේ මුල් මානව පූර්වජයින් අවම වශයෙන් අදින් වසර මිලියනයකට පමණ පෙර එහි පැමිණි බවයි, නමුත් ආසන්නතම දූපත මුහුද හරහා කිලෝමීටර 9 ක් (සැතපුම් 6) දුරින් පිහිටා ඇති බැවින් මුල් මිනිසුන් එහි පැමිණියේ කෙසේදැයි තවමත් නොදනී. පුරාමානව විද්‍යාඥයින් විසින් හෝමෝ ෆ්ලොරෙන්සිස් හා සම්බන්ධ බොහෝ ශිලා මෙවලම් සොයා ගෙන ඇති අතර, මෙම මෙවලම් Flores හි සහ මානව පරිණාමීය පඨීතය (එනම්, ආසියාවේ පහළ පැලියොලිතික් මෙවලම් හෝ අප්‍රිකාවේ Oldowan මෙවලම්) කලින් සොයාගත් ඒවාට පුළුල් ලෙස සමාන වේ. හෝමෝ ෆ්ලොරෙන්සිස් ස්ථර ආශ්‍රිතව Stegodon අස්ථි කොටස් සිය ගණනක් දක්නට ලැබෙන අතර මෙම Stegodon අස්ථිවලින් සමහරක් මත සීරුම් සලකුණු පෙන්නුම් කරන හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා විසින් Stegodon සතුන් දඩයම් කළ බවට නිගමනය කළ හැකි ය (Kaifu et al., 2015).

වර්තමානය වන විට මානව පරිණාමය පිළිබද විදග්ධ කතිකාවතේ එක් ප්‍රධාන තේමාවක් ලෙස, මෙකී LB-1 ලෙස හැදින්වෙන හෝමෝ ෆ්ලොරෙන්සිස් නිදර්ශකය, කිසියම් රෝගයක් හෝ වර්ධන අක්‍රමිකතාවක් ඇති නූතන මානවයෙකු නියෝජනය කළ හැකිද යන්න පිළිබඳව සැලකිය යුතු විද්‍යාත්මක විවාදයක් පැවතියද, බොහෝ විද්‍යාඥයන් හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා මානව වර්ගීකරණයට ඇතුළත් කර ඇති අතර, අමතර ව  නූතන හෝමෝ සේපියන් මානවයින්ට වඩා රූපවිද්‍යාත්මකව වෙනස් මානව විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. ඊට සමගාමී ව හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා හෝමෝ ගණයේ අනෙකුත් විශේෂවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න නිවැරදිව සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටිති. උදාහරණයක් ලෙස, හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා පරිණාමය වූයේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පෙර ජනගහණයකින්ද, නැතහොත් Dmanisi (ජෝර්ජියාවේ) සිට හමු වූ මුල් මානවයන් වැනි කුඩා විශේෂයකින් හෝ සමහර විට හෝමෝ ගණයේ වෙනත් මුල් විශේෂයකින් පරිණාමය වූවාද? යන්න පිළිබදව නූතන විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ සාක්ෂි හඹා යාම වර්තමානයේ දී ත් සිදුවේ.

හෝමෝ ලූසොනෙන්සිස්  Homo luzonensis

ශරීර ප්‍රමාණයෙන් කුඩා පැරණි මානව විශේෂයක් වන හෝමෝ ලුසොනෙන්සිස් 2004 වර්ෂයේ දී පිලිපීනයේ කැලාඕ (Callao Cave) ගුහාවෙන් අනාවරණය කරගැනුණු ෆොසිල නිදර්ශක මත විස්තර කර ඇත (Détroit et al., 2019). එවකට අග්නිදිග ආසියාවේ ෆ්ලෝරස් දූපතේ කුඩා මානව විශේෂයක් ජීවත් වීමේ සම්භාවිතාව පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කළ බැවින් හෝමෝ ෆ්ලොරෙන්සිස් මානවයා මානව පරිණාමීය කතිකාවත උණුසුම් කළේ ය. ඒ් ඇසිල්ලේ ම මෙම නවතම හෝමෝ ලුසොනෙන්සිස් සොයාගැනීම එම ආඛ්‍යානය පෝෂණය කළේ ය. මේ පිළිබද ව අධ්‍යනය කරන ලද පර්යේෂකයන් විසින් කැලාඕ ගුහාවේ අවසාදිත ඇසුරෙන් අදින් වසර 67,000 කට පමණ කාලනිර්ණය කරන ලද, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකුගෙන් අස්ථි 13 ක් අනාවරණය කරගෙන ඇත. මෙම අවශේෂ මත පදනම්ව සිදුකරන ලද ප්‍රමාණන විශ්ලේෂණ අනුව ලූසොනෙන්සිස් මානවයා ශරීර ප්‍රමාණයෙන් කුඩා නමුත්, හෝමෝ ෆ්ලොරෙන්සිස් තරම් කුඩා නොවන බව ය (Mijares et al., 2010).

රූපය 14 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ ඇගිලි අස්ථියක් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 14 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ ඇගිලි අස්ථියක් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)
රූපය 15 – හෝමෝ ලුසොනෙන්සිස් ෆොසිල අනාවරණය කරගත් පිලිපීනයේ ලූසොන් ගුහාව (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 15 – හෝමෝ ලුසොනෙන්සිස් ෆොසිල අනාවරණය කරගත් පිලිපීනයේ ලූසොන් ගුහාව (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ ලුසොනෙන්සිස් නූතන මානවයින්ට යම් භෞතික සමානකම් දරයි, නමුත් අනෙකුත් ලක්ෂණ අනුව වසර මිලියන දෙකත් හතරත් අතර කාලයකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතෙකස් හා අර්ධ ද්විපාදකරණීකරණය වූ වානර මානවයින් මෙන්ම හෝමෝ කුලයට අයත් මුල්ම පූර්වජ ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් දරයි. ඇඟිලිවල වක්‍ර වී ඇති අස්ථි, කඳු නැගීම මෙම විශේෂයට වැදගත් ක්‍රියාකාරකමක් බව යෝජනා කරයි. සමහර ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂවල ද මෙම ලක්ෂණය නිරීක්ෂණය කළ හැකි ය. ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂවලට අග්නිදිග ආසියාවට ළඟා වීමට හැකි වූවා නම්, එය අප මානව පරිණාමය ගමන් මගේ මුලින්ම අප්‍රිකාව හැර ගියේ කවුරුන්ද යන්න පිළිබඳ අප දැනටමත් දන්නා අදහස් වෙනස් කරනු ඇත. එනම්, මීට වසර මිලියන 1.9 කට පමණ පෙර හෝමෝ ඉරෙක්ටස් අප්‍රිකානු නිජබිම හැර ගිය අපගේ සෘජු රේඛාවේ පළමු සාමාජිකයා යැයි සාධක තහවුරු වනු ඇත. තවදුරටත් මෙම භූගෝලීය ප්‍රදේශය, ලුසොන් වෙත ප්‍රවේශ විය හැක්කේ මුහුදෙන් පමණක් බැවින්, මෙම අනාවරණිත මානව විශේෂ දූපතට ළඟා වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් නොවිසදී ඇති ප්‍රශ්නයක් ලෙස ඉතිරි වී තිබේ.

රූපය 16 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ දත් (උපුටාගැනීම - The Australian Museum වෙතිනි)
රූපය 16 – හෝමෝ ලුසොනෙන්සිස් මානයාගේ දත් (උපුටාගැනීම – The Australian Museum වෙතිනි)

හෝමෝ නලඩි  Homo naledi

  • අනාවරණය කර ගැනීම: වර්ෂ 2015
  • ජීවත් වූ ස්ථානය: දකුණු අප්‍රිකාව
  • ජීවත් වූ කාලය: දළ වශයෙන් වසර 335,000 – 236,000කට පෙර

2013 ඔක්තෝම්බර් මස සිට ලී බර්ගර් (Lee Berger) විසින් මෙහෙයවන ලද ගවේෂණ වලදී දකුණු අප්‍රිකාවේ දිනලෙඩි (Dinaledi) ප්‍රදේශයේ, ද රයිසින් ස්ටාර් ගුහා සංකීර්ණයේ (the Rising Star Cave system) කෙරෙන්  ෆොසිල මානව නිදර්ශකය ප්‍රථම වරට සොයා ගන්නා ලදී (Berger et al., 2015; Dirks et al., 2015). ඒහි දී අවම වශයෙන් හෝමෝ නලඩි මානවයින් 15 දෙනෙකුගෙන් නිදර්ශක ෆොසිල 1550 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. මෙම කැණීම අප්‍රිකාවෙන් සොයාගෙන ඇති තනි හොමිනින් විශේෂයක විශාලතම එකතුව ලෙස වාර්තා අතරට එක් විය. නැවත 2013 දී එම ගුහාවේ ම Lesedi කොටසෙන් තවත් හෝමෝ නලඩි නිදර්ශක 133 ක් සොයා ගත් අතර, ඒවා අවම වශයෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු – වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවකු නියෝජනය කළේ ය (Hawks et al., 2017). පසුකාලීනව එනම්, 2017 දී මෙම හෝමෝ නලඩි ෆොසිල වසර 335,000 ත් 236,000 ත් අතර කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇත (Dirks et al., 2017).

රූපය 17 – හෝමෝ නලඩි මානව අවශේෂ (උපුටාගැනීම - elifesciences.org වෙතිනි)
රූපය 17 – හෝමෝ නලඩි මානව අවශේෂ (උපුටාගැනීම – elifesciences.org වෙතිනි)

හෝමෝ නලඩි හා සම්බන්ධ වෙනත් සත්ව ෆොසිල හෝ මෙවලම් හමු නොවීම නිසා මෙම විශේෂයේ පරිසර විද්‍යාව සහ පැවැත්ම ගැන දන්නේ ඉතා අල්ප වශයෙනි. එම විශේෂයේ දත් දකුණු අප්‍රිකානු මානව විශේෂයේ ආහාර රටාව සහ පැවැත්ම පිළිබඳව යම් සමානතාවක් දරන බව අනාවරණය වී ඇත. එහි දත්, ඇත්ත වශයෙන්ම, එම කාලය තුළ ජීවත් වූ අනෙකුත් හෝමෝ විශේෂවලට වඩා වෙනස් වේ (Bolter et al., 2018). එබැවින්, වෙනත් බොහෝ රූප විද්‍යාත්මක සමානකම් තිබියදීත්, හෝමෝ නලඩි වෙනත් හෝමෝ විශේෂ ජීවත් ව සිටි පරිසරයට වඩා වෙනස් පරිසරයක වාසය කළ බවටත් විද්වත් මත යෝජනා වී තිබේ. හෝමෝ ගණයේ පරිණාමීය වෘක්ෂය තුළ හෝමෝ නලඩි ස්ථානගත කිරීම දැනට අර්බුධකාරී වේ. හෝමෝ නලඩි සතුව ඔස්ට්‍රලෝපිතිකස් ලක්ෂණ (විශේෂයෙන් ශ්‍රෝණිය සහ උරහිසෙහි) සහ නූතන හෝමෝ ලක්ෂණ (විශේෂයෙන් අත් සහ පාදවල සහ එහි මොළයේ ප්‍රමාණය) මිශ්‍රණයක් විද්‍යාමාන වේ. හෝමෝ ඉරෙක්ටස් සහ හෝමෝ කුලයට අයත් අනෙකුත් විශේෂවලට හෝමෝ නලඩි සම්බන්ධ වූ ආකාරය පිළිබඳ වැඩිදුර හැදෑරීමට තවත් සංසන්දනාත්මක පර්යේෂණ අවශ්‍ය වේ.

ෆොසිල වාර්තාවේ අසම්පූර්ණත්වය නිසා බොහෝවිට මෙම මානව විශේෂයේ අර්බුධකාරී තත්ත්ව හා පරස්පරවිරෝධී තත්ත්ව පැන නැගී ඇත. උදාහරණයක් ලෙස, හෝමෝ නලේඩිගේ හස්ත රූපවිද්‍යාව (Kivell et al., 2015) මගින් ගස් නැගීමේ කාරර්යේ තවදුරටත් යෙදී සිටි බවක් යෝජනා කරන අතර, පාදය රූපවිද්‍යාව අධ්‍යයනයෙන් (Harcourt-Smith et al., 2015) පෙන්නුම් කරන්නේ භූමිෂ්ඨ ජීවන රටාවකට අනුවර්තනය වී සිටි බවයි. එය එසේ වන්නේ කුමන හේතූන් අරඹයා ද? එසේ වී නම් හෝමෝ නලඩි ජීවත් වූයේ කුමන ආකාරයේ වාසස්ථානවලද? යන ගැටළු තවමත් නොවිසදී පවතී.

හෝමෝ බෝඩෙන්සිස්  Homo bodoensis

වඩාත් මෑත කාලීනව නාමකරණයට ලක් වූ මානව විශේෂය ලෙස හෝමෝ බෝඩෙන්සිස් හැදින්විය හැකි ය. මෙම විශේෂය අදින් වසර 500,000 කට පමණ පෙර මධ්‍ය ප්ලයිස්ටොසීන යුගයේ අප්‍රිකාවේ ජීවත් වූ අතර, නූතන සේපියන්ස් පරම්පරාවේ සෘජු මුතුන් මිත්තන් ලෙස හැදින්වේ (Roksandic et al., 2022); කෙසේ වෙතත්, මෙම විශේෂය යුරේසියානු (නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන්) සහ අප්‍රිකානු (හෝමෝ සේපියන්ස්) හොමිනින්ගේ වඩාත් මෑතකාලීන පොදු මුතුන් මිත්තන් ලෙස සැලකිය නොහැකි ය. එනම් හෝමෝ බෝඩෙන්සිස් මානව විශේෂය නාමකරණය කිරීම මධ්‍ය ප්ලයිස්ටොසීන කාල පරිච්ඡේදයේ සිට අප්‍රිකාවේ සහ යුරේසියාවේ පවතින මානව ෆොසිල නැවත තක්සේරු කිරීම මත පමණක් පදනම් වේ. ඒ අනුව නැවත පරීක්ෂණයට භාජනය කෙරුණු ෆොසිල නිදර්ශක හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් හෝ හෝමෝ රෙඩෙසියන්සිස් යන විශේෂ දෙකටම අදාල වන ලෙස පවරා ඇති අතර, බොහෝ විට පරස්පර අර්ථ දැක්වීම් දැරූ ඒවා වීම විශේෂත්වයකි.

රූපය 18 - හෝමෝ බෝඩෙන්සිස් මානව නිදර්ශකය (උපුටා ගැනීම Wikipedia වෙතිනි)
රූපය 18 – හෝමෝ බෝඩෙන්සිස් මානව නිදර්ශකය (උපුටා ගැනීම Wikipedia වෙතිනි)

එහි පළමු නිදර්ශකය ඉතියෝපියාවේ Bodo D’ar හි Bodo 1 ලෙස නම් කර තිබුණු අතර, 1976 වසරේ දී එය අදින් වසර ලක්ෂ 6ක් පමණ පැරණි යැයි කාලනිර්ණය කර මූලිකවම හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් විශේෂයක් යැයි සලකා වැඩිදුර පර්යේෂණ මෙහෙයවා තිබිණි. එය අනුමාන වශයෙන් පිරිමි පුද්ගලයෙකුගේ අර්ධ හිස්කබලක් වූ අතර, ඉදිරි මුහුණ හා කපාලය හොදින් ආරක්ෂා වී තිබිණි. මෙම ෆොසිල නිදර්ශකය මධ්‍ය ප්ලයිස්ටොසීන අයත් අප්‍රිකාවෙන් සහ අග්නිදිග යුරෝපයෙන් (උදා:  Sima de los Huesos) අනාවරණය කරගැනුණු මානවයින් සමග නැවත සලකා බැලිණි. විද්‍යාඥයින්ගේ අදහස අනුව යුරේසියානු මානව ආකෘතීන් වන නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානව විශේෂ බෙදී වෙන්වීමට පෙර හෝමෝ බෝඩෙන්සිස් එයින් වෙන් ව තනි ගමනක් ආරම්භ කර ඇත.

රූපය 19 - හෝමෝ බෝඩෙන්සිස් මානව ප්‍රතිනිර්මාණය (උපුටා ගැනීම Sci-News.com වෙතිනි)
රූපය 19 – හෝමෝ බෝඩෙන්සිස් මානව ප්‍රතිනිර්මාණය (උපුටා ගැනීම Sci-News.com වෙතිනි)

සමාලෝචනය…

එකිනෙකට වෙනස් වූ මානව විශේෂ කීයක් මිහිමත වාසය කර වද වී ගියා ද යන්න නිවැරදිව සොයා බැලීම ඉතා සංකීර්ණ කාර්යයකි. නමුත් අපට ශක්‍යතාවයක් ඇත්තේ ලොව කොතනකින් හෝ හමුවන ෆොසිල මානවයින් ඇසුරෙන්, අප මානව විශේෂයට එනම් නූතන සේපියන් මානවයින්ගේ පරිණාමීය කෘත්‍යය උදෙසා කෙතරම් දායකත්වයක් ලබා දී ඇත් ද යන්න ප්‍රමාණනය කිරීම ය.

කෙටි වාර්තා චිත්‍රපට

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Arzarello, M., Marcolini, F., Pavia, G., Pavia, M., Petronio, C., Petrucci, M., Rook, L., & Sardella, R. (2007). Evidence of earliest human occurrence in Europe: the site of Pirro Nord (Southern Italy). Naturwissenschaften, 94(2), 107–112.

Berger, L. R., Hawks, J., de Ruiter, D. J., Churchill, S. E., Schmid, P., Delezene, L. K., Kivell, T. L., Garvin, H. M., Williams, S. A., DeSilva, J. M., Skinner, M. M., Musiba, C. M., Cameron, N., Holliday, T. W., Harcourt-Smith, W., Ackermann, R. R., Bastir, M., Bogin, B., Bolter, D., … Zipfel, B. (2015). Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa. ELife, 4.

Bermúdez de Castro, J. M., Arsuaga, J. L., Carbonell, E., Rosas, A., Martı́nez, I., & Mosquera, M. (1997). A Hominid from the Lower Pleistocene of Atapuerca, Spain: Possible Ancestor to Neandertals and Modern Humans. Science, 276(5317), 1392–1395.

Bermúdez-de-Castro, J.-M., Martinón-Torres, M., Martín-Francés, L., Modesto-Mata, M., Martínez-de-Pinillos, M., García, C., & Carbonell, E. (2017). Homo antecessor : The state of the art eighteen years later. Quaternary International, 433, 22–31.

Bolter, D. R., Hawks, J., Bogin, B., & Cameron, N. (2018). Palaeodemographics of individuals in Dinaledi Chamber using dental remains. South African Journal of Science, 114(1/2).

Brown, S., Higham, T., Slon, V., Pääbo, S., Meyer, M., Douka, K., Brock, F., Comeskey, D., Procopio, N., Shunkov, M., Derevianko, A., & Buckley, M. (2016). Identification of a new hominin bone from Denisova Cave, Siberia using collagen fingerprinting and mitochondrial DNA analysis. Scientific Reports, 6(1), 23559.

Carbonell, E., Bermúdez de Castro, J. M., Parés, J. M., Pérez-González, A., Cuenca-Bescós, G., Ollé, A., Mosquera, M., Huguet, R., van der Made, J., Rosas, A., Sala, R., Vallverdú, J., García, N., Granger, D. E., Martinón-Torres, M., Rodríguez, X. P., Stock, G. M., Vergès, J. M., Allué, E., … Arsuaga, J. L. (2008). The first hominin of Europe. Nature, 452(7186), 465–469.

Carbonell, E., Esteban, M., Nájera, A. M., Mosquera, M., Rodrı´guez, X. P., Ollé, A., Sala, R., Vergès, J. M., Bermu´dez de Castro, J. M., & Ortega, A. I. (1999). The Pleistocene site of Gran Dolina, Sierra de Atapuerca, Spain: a history of the archaeological investigations. Journal of Human Evolution, 37(3–4), 313–324.

Détroit, F., Mijares, A. S., Corny, J., Daver, G., Zanolli, C., Dizon, E., Robles, E., Grün, R., & Piper, P. J. (2019). A new species of Homo from the Late Pleistocene of the Philippines. Nature, 568(7751), 181–186.

Dirks, P. H., Berger, L. R., Roberts, E. M., Kramers, J. D., Hawks, J., Randolph-Quinney, P. S., Elliott, M., Musiba, C. M., Churchill, S. E., de Ruiter, D. J., Schmid, P., Backwell, L. R., Belyanin, G. A., Boshoff, P., Hunter, K. L., Feuerriegel, E. M., Gurtov, A., Harrison, J. du G., Hunter, R., … Tucker, S. (2015). Geological and taphonomic context for the new hominin species Homo naledi from the Dinaledi Chamber, South Africa. ELife, 4.

Dirks, P. H., Roberts, E. M., Hilbert-Wolf, H., Kramers, J. D., Hawks, J., Dosseto, A., Duval, M., Elliott, M., Evans, M., Grün, R., Hellstrom, J., Herries, A. I., Joannes-Boyau, R., Makhubela, T. v, Placzek, C. J., Robbins, J., Spandler, C., Wiersma, J., Woodhead, J., & Berger, L. R. (2017). The age of Homo naledi and associated sediments in the Rising Star Cave, South Africa. ELife, 6.

Fu, Q., Hajdinjak, M., Moldovan, O. T., Constantin, S., Mallick, S., Skoglund, P., Patterson, N., Rohland, N., Lazaridis, I., Nickel, B., Viola, B., Prüfer, K., Meyer, M., Kelso, J., Reich, D., & Pääbo, S. (2015). An early modern human from Romania with a recent Neanderthal ancestor. Nature, 524(7564), 216–219.

Harcourt-Smith, W. E. H., Throckmorton, Z., Congdon, K. A., Zipfel, B., Deane, A. S., Drapeau, M. S. M., Churchill, S. E., Berger, L. R., & DeSilva, J. M. (2015). The foot of Homo naledi. Nature Communications, 6(1), 8432.

Hawks, J., Elliott, M., Schmid, P., Churchill, S. E., Ruiter, D. J. de, Roberts, E. M., Hilbert-Wolf, H., Garvin, H. M., Williams, S. A., Delezene, L. K., Feuerriegel, E. M., Randolph-Quinney, P., Kivell, T. L., Laird, M. F., Tawane, G., DeSilva, J. M., Bailey, S. E., Brophy, J. K., Meyer, M. R., … Berger, L. R. (2017). New fossil remains of Homo naledi from the Lesedi Chamber, South Africa. ELife, 6.

Kaifu, Y., Kono, R. T., Sutikna, T., Saptomo, E. W., Jatmiko, & Due Awe, R. (2015). Unique Dental Morphology of Homo floresiensis and Its Evolutionary Implications. PLOS ONE, 10(11), e0141614.

Kivell, T. L., Deane, A. S., Tocheri, M. W., Orr, C. M., Schmid, P., Hawks, J., Berger, L. R., & Churchill, S. E. (2015). The hand of Homo naledi. Nature Communications, 6(1), 8431.

Krause, J., Fu, Q., Good, J. M., Viola, B., Shunkov, M. v., Derevianko, A. P., & Pääbo, S. (2010). The complete mitochondrial DNA genome of an unknown hominin from southern Siberia. Nature, 464(7290), 894–897.

López-Polín, L., Bermúdez de Castro, J. M., & Carbonell, E. (2017). The preparation and conservation treatments of the human fossils from Lower Pleistocene unit TD6 (Gran Dolina site, Atapuerca) – The 2003–2009 record. Quaternary International, 433, 251–262.

Mijares, A. S., Détroit, F., Piper, P., Grün, R., Bellwood, P., Aubert, M., Champion, G., Cuevas, N., de Leon, A., & Dizon, E. (2010). New evidence for a 67,000-year-old human presence at Callao Cave, Luzon, Philippines. Journal of Human Evolution, 59(1), 123–132.

Roksandic, M., Radović, P., Wu, X., & Bae, C. J. (2022). Resolving the “muddle in the middle”: The case for Homo bodoensis sp. nov. Evolutionary Anthropology: Issues, News, and Reviews, 31(1), 20–29.

Rosell, J., Rodríguez, J., & Benito-Calvo, A. (2017). What’s happening now in Atapuerca? Latest research at the Sierra de Atapuerca sites. Quaternary International, 433, 2–4.

Slon, V., Mafessoni, F., Vernot, B., de Filippo, C., Grote, S., Viola, B., Hajdinjak, M., Peyrégne, S., Nagel, S., Brown, S., Douka, K., Higham, T., Kozlikin, M. B., Shunkov, M. v., Derevianko, A. P., Kelso, J., Meyer, M., Prüfer, K., & Pääbo, S. (2018). The genome of the offspring of a Neanderthal mother and a Denisovan father. Nature, 561(7721), 113–116.

Warren, M. (2018). Mum’s a Neanderthal, Dad’s a Denisovan: First discovery of an ancient-human hybrid. Nature, 560(7719), 417–418.

Welker, F., Ramos-Madrigal, J., Gutenbrunner, P., Mackie, M., Tiwary, S., Rakownikow Jersie-Christensen, R., Chiva, C., Dickinson, M. R., Kuhlwilm, M., de Manuel, M., Gelabert, P., Martinón-Torres, M., Margvelashvili, A., Arsuaga, J. L., Carbonell, E., Marques-Bonet, T., Penkman, K., Sabidó, E., Cox, J., … Cappellini, E. (2020). The dental proteome of Homo antecessor. Nature, 580(7802), 235–238.

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here